කටුවාපිටිය ප්‍රහාරකයාගේ විවාහය මා සිදු කළත් බිරිය ගැන දන්නේ නෑ

0
39
Author(s): 
සුභාෂිණී සේනානායක

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවාස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයා සහ ඔහුගේ බිරිය වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් අතර විවාහය තමා විසින් සිදු කළද ඇය සිටින ස්ථානයක් ගැන තමන් දන්නේ නැතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් රසික් රෆික්ඩීන් හෙවත් අබ්දුල් රාසික් මහතා ඊයේ (16) පැවැසීය.

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානයේ නායක පී. ජනුල් අබ්ඩීන් මහතා සහ එම සංවිධානය අනුගමනය කරමින් ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය මෙරට කටයුතු කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

ජෙනුල් ආබ්ඩීන් මහතා පරිවර්තනය කළ අල් කුරාණය තමා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ බවත් කියා සිටි අබ්දුල් රාසික් මහතා එම උත්සවයට ජෙනුල් ආබ්ඩීන් මහතා පැමිණීමට නියමිතව තිබූ බවත් කීවේය. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ඔහුගේ පැමිණීම නැවැත්වූ බවත් කියා සිටියේය.ඔබට බලයක් තියෙනවාද කෙනකුගේ ආගම වෙනස් කිරීම සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න යනුවෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සිදු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “ස්වාමිනි, ඉස්ලාමය වැළඳ ගන්නවා කියන එක, ඒකට කැමැත්තක් සහ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් පැය භාගයකින් වගේ කරන්න පුළුවන්. දෙදෙනකු ඉස්සරහා පාඨයක් කියවීම පමණයි අවශ්‍ය. ඉතිං අපි සාම්ප්‍රදායිකව එසේ කැමැත්ත ප්‍රකාශ කරන අයව ඉස්ලාමයට ඇතුළත් කර ගැනීම සිදු කළා. කෙනකුගේ නම වෙනස් කරපුවාම පත්තරේ දැන්වීමක් දාන්න ඕනේ. ඒකට අදාළ ආගමික ආයතනයෙන්, සංවිධානයෙන් සහතිකයක් ඕනේ. ඉතිං අපි ඒ සහතිකයත් නිකුත් කළා. අපි ඒ වගේ ඇතුළත් කර ගැනීම් සිය ගණනක් කරලා තිබෙනවා“ යනුවෙනි.

“ 2015 අගෝස්තු 04 වැනිදා ඔවුන් දෙදෙනා මාලිගාවත්තේ පිහිටි ශ්‍රී ලංකා තවුහිද් ජමාත් ප්‍රධාන කාර්යාලයට ආවා. හස්තුන් සමඟ එකට අධ්‍යාපනය කළ කෙනකු ලෙස සාරාව ඔහු හඳුන්වා දුන්නා. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තියෙනවා කියලත් කිව්වා. සාරා ජෙස්මින් ඉස්ලාමය වැළඳගැනීමට කැමතියි. ඇයව ඉස්ලාමයට හැරවිය හැකි දැයි ඉල්ලීමකුත් කළා“යැයිද සාක්ෂිකරු කියා සිටියේය.

“ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ දිව්රුම් පිට. ඒ නිසා කරුණා කර ඇත්ත කියන්න. ඔබ ඔවුන් දෙදෙනාම එකට ආවයි කිව්වට කොමිසම හමුවේ දැනට සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙන්නේ හස්තුන් ඒ වෙද්දිත් ඔබේ කාර්යාලයේ හිටියේ. සාරා ජෙස්මින් විතරයි තනියම ආවේ කියලා “

එයට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් කියා සිටියේ ” නැහැ ස්වාමිනි, හස්තුන්ගේ ගම ඔට්ටමාවඩි, සාරාගේ ගම කලවන්චිකුඩි ඔවුන් දෙදෙනාම එකට ආවේ, ලෙස ඔහු පිවිතුරු දුන් අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාරා ජෙස්මින් මේ වන විට සිටින ස්ථානය ඔබ දන්නේ දැයි විමසීමක් කළද අබ්දුල් රාසික් එයට නැහැ යනුවෙන් පිළිතුරු දුන්නේය.එසේම මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඔබ හස්තුන් මාර්ගයෙන් සහරාන් හෂීම්ව දැන සිටියේද කෙදිනක හෝ සහාරාන් හෂීම් සමඟ එකම සංවිධානයක වැඩ කළේ දැයි විමසා සිටි අතර එයට අබ්දුල් රාසික් පිළිතුරු දුන්නේ තමා කිසිම දිනක සහාරාන් හෂිම් හඳුනාගෙන සිටියේ නැති බවයි. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ මව් සංවිධානය ලෙස ඉන්දියාවේ තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානය පිළිගෙන තිබූ බව කියා සිටි ඒ මහතා එහි නායක පී. ජෙනුල් ආබ්ඩීන් මහතා සහ සංවිධානය අනුගමනය කරමින් කටයුතු කළ බවත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here