කලාවේ පෙළහර පාන තාත්තයි පුතයි…

0
21
දෙසැම්බර් 17, 2020

මාධ්‍යවේදියෙකු ලෙස ආයතනගතව කලක් සේවය කළ ධර්ම ශ්‍රී තිලකවර්ධන රචනා කළ ගීතයක් පසුගියදා එළි දැක්විණ. තේවා මුරය ලෙසට නම්කොට ඇති එය ගායනා කරනු ලබන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන චමින්ද දමිත්ය. ලාල් වර්ණකුල ගීය සංගීතවත් කොට තිබේ. ධර්ම ශ්‍රීගේ පුතණුවන් සෙනිජ සස්විඳු ළමා නළුවෙකු ලෙස සිය ගමන ආරම්භ කොට තිබේ. මේ දිනවල විකාශය වන කැලෑ හඳ ටෙලි සිතුවමේ ජෝන් ජයපාල නැමැති ප්‍රධාන චරිතයේ ළමා කාලය නිරූපණය කළේ ඔහු විසිනි. ඒ තාත්තා සහ පුතා පිළිබඳ ලියැවෙන සටහනකි මේ…

 

තේවා මුරය ගීතයේ  සම්පූර්ණ පද මාලාව…

 

තේවාමුරයේ හේවිසි නාදේ

දළදා මැදු⁣රේ රැව් දෙන්නා..

උඩුමාලේ ගඳකිළියේ

පරසතු සුවඳක් පැතිරෙන්නා…

 

දළදා සමිඳුන් රැකගත් රජවරු..

සුරලොව සිට වඩිමින්නා..

සත්කරඬුව මැද

වැඩ සිටිනා හිමි…

සුරකැන් වටවි පුදමින්නා….

 

උඩුමාලේ ඝණ්ඨානාදේ..

සාධුනදට මුසුවන්නා..

බුදුගුණ ගයනා කවියන් එක්වි…

උඩැක්කි තාලෙට වයමින්නා….

 

සුරගජ විලසින් වඩිනා ඇත්රජු…

රන්කරඬුව ගෙන පාද තබන්නා..

නුවර අහස යට සුරනා සමඟින්…

සුරකැන් රැස්වි පරසතු ඉසිනා..

 

පෙර රජදරුවන් පිදුව ⁣මගේ රට..

දළදා හිමිටම බාර කරන්නා..

ඉරහඳ ඇතිතුරු බාරයි මගෙ රට..

සමිදුනි සිරි දළදා..//

 

 

 

ඔබ වෘත්තිය ජීවිතය ආරම්භ කළ අන්දම ගැන කතා කළොත්?

මුලින්ම ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වලට පාසල් යන කාලයේ සිට ලිව්වා. පසුව දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස එක්වුණා. පසුව එහි කතෘ මණ්ඩලයට ආවා. 2000 වසරේදි දිනපතා ලක්බිම ආරම්භයේදි එහි උප කර්තෘ, ජ්‍යෙෂ්ඨ උප කර්තෘ, හා ප්‍රධාන උප කර්තෘ වශයෙන් සේවය කළා. 2018 පුවත්පත නතර කිරීමෙන් පස්සේ ආයතනයකට සම්බන්ධ නොවී නිදහස් මාධ්‍යවෙිදියෙකු වශයෙන් කටයුතු කරනවා.

 

තේවා මුරය වගේ ගීතයක් ලියන්නට හිතුණේ ඇයි?

දළදා වහන්සේ කියන්නේ අපේ මුදුන් මල්කඩ. එය කොතරම් කාලයක් කොතරම් පිරිසක් විසින් ආරක්ෂා කරන්නට ඇත්ද.. විශේෂයෙන් ම අපේ රජවරු. ඒ අය මිය ගියායින් පසුවත් දිව්‍ය ලෝකෙන් ඉඳල දළදා වදින්නට එන අන්දම මට එක්තරා අවස්ථාවක දී සිහිපත් වුණා. ඔවුන් තවමත් දළදා වහන්සේ ආරක්ෂා කරන්නට ක්‍රියාමාර්ග ගන්නවා ඇති. අපේ රට දළදා වහන්සේට බාරයි කියලත් මම මේ ගීතයේ එක්තරා තැනක සඳහන් කරනවා. ඒක සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමක්. මේ කාරණා එක්කාසු කරලා තමයි තේවාමුරය කියන ගීතය මම රචනා කළේ. මේ ගීතය ලිවිමේදී මම බොහෝම පරිස්සමෙන් තමයි වචන භාවිතා කළේ. ඒ සඳහා මම මහ සංඝරත්නයෙන් මෙන්ම ගීත රචනා කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙනුත් උපදෙස් ගත්තා.

 

දැන් ඔබ දිගින් දිගටම ගීත රචනයේ යෙදෙනවාද?

ඔව්. මගේ දෙවැනි ගීතය

“ඔබේ සුසුම් දවටා”. එය ප්‍රේම ගීතයක්. ගායනා කරන්නේ සංගීත විශාරද ශ්‍රීමාලි තිලකවර්ධන. චමින්ද සමරනායක සංගීතවත් කළා. අපේ ගම නවගමුව. ඓතිහාසික පත්තිනි දේවාලය තියෙන්නේ අපේ ගමේ. ඉතින් අපේ ගමටම උරුමවු දේවාලය හා බද්ධවු උප සංස්කෘතියක් අපට තියෙනවා. පත්තිනි දෙවඟන ගැන ගීතයක් මම මේ දිනවල රචනා කරගෙන යනවා. ඒ ගීතය මම ගායනා කරවන්නේ මගේ අක්කාගේ හා ගායන ශිල්පි අමිත් වල්පොලගේ දියණිය මෙන්ම ලතා ධර්මදාස වල්පොල යුවළගේ එකම මිනිපිරියවු නව පරපු⁣රේ ගායිකා වූ ගඟුලි වල්පොලට කියලයි.

 

 

ඊළඟට ධර්ම ශ්‍රී ගේ පුතණුවන් වන සෙනිජ එක්කයි අපි කතා කළේ.

 

සෙනිජ පුතා ගැන අපට විස්තර කියන්න?

මම ඉගෙන ගන්නේ රණාල කණිෂ්ඨ විදුහලේ පහ වසරේ. මට වයස අවුරුදු 10 යි. පෙර පාසල් කාලයේ සිට නාට්‍යවල හිටියා. පසුව පාසලේ විවිධ ප්‍රසංගවල, නාට්‍යවල මම රඟපෑවා.

ඒ අතරේ තමයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර අංකල්ගෙන් ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබුණේ. ටෙලිනාට්‍ය මේ දවස්වල සෙනසුරාදා ඉරිදා ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. මෙහි ප්‍රධාන චරිතයක්වු ජෝන් ජයපාල නැමැති චරිතයේ ළමා කාලය රඟපාන්නයි අවස්ථාව ලැබුණේ. එහි තරුණ කාලය රඟපාන්නේ අරවින්ද දොඹගහවත්ත අයියා.

 

කාත් එක්කද පුතා මුලින්ම රඟපෑවේ?

අපේ ප්‍රවීණ නිළි වීනා ජයකොඩි මහත්ම්ය සමඟ. ඇය සහ රටගෙදර මහත්මයව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔවුන් මට ලොකු සහායක් ලබා දුන්නා. පුංචි ජෝන්ගේ චරිතය රඟපාන්න. ඒ වගේම අංග රචනා කරන මාමලා ඇතුළු සියලු දෙනාම මේ මොහොතේ මම මතක් කරනවා.

 

කැමරාව ඉදිරියේ රඟපාද්දී බයක් හිතුණෙ නැද්ද?

පළමු දෙබස ගන්න දහපාරක් විතර පටිගත කළා. ඒත් කිසි කෙනෙක් දොස් කිව්වේ නැහැ. පුතා මේ විදියට කරන්න මේ විදියට කරන්න කියලා ආදරෙන් කියලා දුන්නා.

 

දැන් පුතා දිගින් දිගටම රඟපානවද?

තවත් නාට්‍ය කීපයකටම ආරාධනා ආවත් පාසලේ වැඩ නිසා ඒ කිසිවකට යොමු වුණේ නැහැ. නමුත් ඉදිරියේදි පාසල් වැඩවලට අවහිර නොවන ආකාරයට රඟපාන්න කැමැතියි.

මාව දයාරත්න රටගෙදර මහතාගේම ළමා නාට්‍යයකට දැනටමත් තෝරාගෙන ඉන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here