ජනතාවට වැඩ කරන පළාත් සභාවක්

    0
    8
    Author(s): 
    අසේල කුරුළුවංශ

    මේ රටේ ජනතාව වෙතින් විමසීමක් කළහොත් ඔවුහු වැඩි දෙනා පළාත් සභාවලට විරුද්ධය. ඔවුන් ඇත්තෙන්ම විරුද්ධ වන්නේ පළාත් සභාවලට වඩා එය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයටය. එසේ නම් අප කළ යුතු වන්නේ එම දුර්වලතා මඟ හරවා ගැනීමට පියවර ගැනීම මිස පවතින ආකාරයෙන්ම පළාත් සභා පවත්වාගෙන යෑම නොවන්නේය. 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහතුන් වැනි සංශෝධනය ගෙන එමින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ බලය විමධ්‍යගත කිරීමේ අරමුණිනි. එම අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වුවේද යන ප්‍රශ්නය අදටත් අප අතර සාකච්ඡාවට බඳුන් වන්නේ මධ්‍යම රජය එක් අතකින් පළාත් සභාවලට බලය අනෙක් අතින් එම බලය ලබා ගැනීම හේතුවෙනි. ඒ සම්බන්ධව උතුරු නැගෙනහිර පළාත් සභා නියෝජිතයන් නිතර විවේචනාත්මක අදහස් පළ කළත් සිංහල බෞද්ධ බහුතරය ජීවත් වන ප්‍රදේශවල පිහිටි පළාත් සභා මගින් එම හඬ උතුරු නැගෙනහිරින් තරම් ප්‍රබලව මතු නොවිණි.එසේ වුවත් එම පළාත් සභාවන්හි ප්‍රධාන ඇමැතිවරුන් මහ ඇමැති සම්මේලනවලදී පළාත් සභාවලට දහතුන් වන සංශෝධනයෙන් පවරා තිබෙන බලතල ඒ අකාරයෙන්ම දී නොමැති බව සෑම අවස්ථාවකදීම සාකච්ඡාවට බඳුන් කර තිබේ.පළාත් සභා මුදල් කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා කරමින් එය අහෝසි කළ යුතු බවට සාමාන්‍ය ජනතාව වෙතින් පමණක් නොව දේශපාලනඥයන් වෙතින්ද විටින් විට අදහස් පළව ඇත. දැන් අපි වසර තුනකට ආසන්න කාලයක් පළාත් සභා නොමැතිව කල් ගෙවන්නෙමු. පළාත් සභා නොමැති වීම අපේ ජීවිතවලට සිදුකර තිබෙන බලපෑම කුමක්ද යන්න සොයා බැලීමේදී එය ප්‍රමාණාත්මකව ඉතාම අඩු අගයක තිබෙන බවට තර්කයක් නොමැත. ජනපතිවරයා විසින් මැතිවරණයට දින නියම කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කොවිඩ් අර්බුදය නිසා මැතිවරණය දිනෙන් දින කල් යද්දී පාර්ලිමේන්තුව යළි රැස් කරන්නැයි විපක්ෂය හඬ නැගීය.ඒ සඳහා අධිකරණය වෙත යෑමට දේශපාලන පක්ෂ මෙන්ම සමාජ කණ්ඩායමක් පියවර ගත්හ.මේ තුළින් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව දේශපාලනය සම්බන්ධ මළ පොතේ අකුරක් නොදන්නා අයට පවා දැනෙන්නට විය.එවැනි අවශ්‍යතාවක් පළාත් සභා සම්බන්ධයෙන් ජනතාව තුළ නොමැත.පළාත් සභා තිබුණත් නැතත් අපට කමක් නැතැයි ජනතාව පවසන්නේ ඒ නිසාය.

    සීමා නිර්ණ ගැටලු

    ්‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි.එයට අනුව පළාත් සභා ක්‍රියාත්මක විය යුතුය.පළාත් සභා මැතිවරණයට අදාළ වූ 1988 අංක 2 දරන පැරණි පනතට අනුව පළාත් සභා විසුරුවා හැරියායින් පසුව මාස දෙකක් තුළ මැතිවරණය පවත්වා මහ ඇමතිවරයකුත් පළාත් ආණ්ඩුවකුත් පත් කරගත යුතුය.යහ පාලන ආණ්ඩු සමයේ ගෙනා 2017 අංක 17 දරන පනත මගින් පළාත් සභාවක් විසුරුවා හැර සති 8 ක් තුළ මැතිවරණය පැවැත්විය යුතුය යන නීතිය ඉවත් කරනු ලැබීය.එතෙක් පැවැති මැතිවරණ ක්‍රමය වෙනුවට මිශ්‍ර හා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර ඒ සඳහා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කිරීම අත්‍යවශ්‍යය කාරණයක් විය.සීමා නිර්ණයේදී ඇතිවූ ගැටලු හේතුවෙන් දිනෙන් දින පළාත් සභා මැතිවරණය කල්ගිය අතර වත්මන් ආණ්ඩුව පැරණි ක්‍රමය යටතේ මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.මේ සඳහා හැකි ඉක්මණින් පක්ෂ නායකයන් එකතු වී යම් එකඟතාවයකට පැමිණ කැබිනට් මණ්ඩලය වෙත නැවත ඉල්ලීමක් කරන්නැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද පවසා ඇත.එකී ඉල්ලීම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ නව නියෝජිතයන් හමු වූ අවස්ථාවේ අගමැතිවරයාද ඔවුන්ට පවසා තිබුණේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාව සොයා බලන ලෙසය. මේ අනුව වත්මන් ආණ්ඩුව තුළ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උනන්දුවක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

    ඉන්දියාවේ උනන්දුව

    ඉන්දියාවේ අවශ්‍යතාවක් මත අපට පළාත් සභා බලහත්කාරයෙන් පැටවූවක් බව රටම දන්නා කරුණකි.පළාත් සභා සියල්ල අක්‍රීයව පවතිද්දී ඉන්දියාව ඒ සම්බන්ධයෙන් හඬ අවදි කිරීම තුළින් පෙනෙන්නේ ඔවුන් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ හැසිරීම සම්න්ධව දක්වන උනන්දුවේ ස්වභාවයයි.කෙසේ වුවත් පළාත් සභාවලට නිසි බලය බෙදීමක් සිදුවුණේද යන ප්‍රශ්නයට එහා ගිය තවත් ප්‍රශ්න රැසක් තිබේ.එනම් පළාත් ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධව පළාත් සභා නියෝජිතයන් තුළ නිසි අවබෝධයක් තිබුණේද යන ප්‍රශ්නයයි.ඔවුන් පළාත් සභා තුළින් ජනතාවට අවශ්‍ය වැදගත් ව්‍යාපෘති දියත් කරනු ලැබුවේද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. පසුගිය කාලය පුරා පළාත් සභා ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තු සිහින දකින මහජන නියෝජිතයන්ගේ තාවකාලික නවාතැනක් ලෙසිනි.පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනකු ඊළඟට නතර වන්නේ පළාත් සභාවේය. එතැනට ගියදා පටන් ඔවුන් සිහින දකින්නේ පාර්ලිමේන්තු යෑමට මිස පළාතේ ජනතාවට වැඩක් කරන්නට නොවන්නේය.පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බොහෝ පිරිසක් දැන් දතකට මදිමින් සිටින්නේ කෙසේ හෝ පළාත් සභාවට යෑමටය.පළාත් සභා ස්ථාපිත කිරීමේ අරමුණු බිඳ වැටීමට මෙයද එක් හේතුවකි. ජනතාව තුළ පළාත් සභා සම්බන්ධව ප්‍රසාදයක් ඇති නොවන්නේ මේ නිසාය. අදද මේ රටේ ජනතාව වෙතින් විමසීමක් කළහොත් ඔවුන් වැඩි දෙනා පළාත් සභාවලට විරුද්ධය.ඔවුන් ඇත්තෙන්ම විරුද්ධ වන්නේ පළාත් සභාවලට වඩා එය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයටය. එසේ නම් අප කළ යුතු වන්නේ එම දුර්වලතා මඟ හරවා ගැනීමට පියවර ගැනීම මිස පවතින ආකාරයෙන්ම පළාත් සභා පවත්වාගෙන යාම නොවන්නේය.

    මධ්‍යම රජයේ පාසල්වල ගුරු අතිරික්තයක් තිබියදී පළාත් සභා පාසල්වල දැඩි ගුරු හිඟයක් පවතී. රෝහල් පද්ධතිය ගත්තද පළාත් සභා යටතේ ඇති රෝහල් ක්‍රියාක්මක වන්නේ අවම පහසුකම් මධ්‍යයේය. මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභාවලට වෙන් කරන මුදලින් 60% කටත් වැඩි ප්‍රමාණයක් වැය කරනු ලබන්නේ රාජ්‍ය සේවක වැටුප්වලටය. පළාත් මට්ටමින් ආණ්ඩුකාරවරු, මහ ඇමැතිවරු, ඇමැතිවරුන් හා මන්ත්‍රීවරු සිටියදී පළාත් සභා සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට මධ්‍යම රජයේ ඇමැතිවරයෙක්ද සිටී. මෙය එක්තරා අන්දමකින් පළාත් සභාවලට නාස් ලණුව දැමීමකි.ඒ ඒ පළාත්වල සිදු කෙරෙන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පවතින්නේ අගනුවරය.පළාත් සභා සතුව ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ වැඩපිළිවෙළක් නොමැති නිසා පළාත් මට්ටමින් කෙරෙන නිෂ්පාදන වල ලාභය එකතු වන්නේ බස්නාහිර පළාතටය. එක් පුටුවක් මිලට ගැනීමට රුපියල් ලක්ෂ පහ හය වියදම් කරන්නට බස්නාහිර පළාත් සභා නියෝජිතයෝ කටයුතු කරත්දී සෙසු පළාත් සභා නියෝජිතයන්ට මුදල් නොමැති බව පවසමින් මැසිවිලි කියන්නට සිදුවී ඇත්තේ මේ නිසාය.නිර්මාණශීලිත්ව අතින් පළාත් සභා සිටින්නේ බිංදුවේය.මධ්‍යම රජයේ අතකොලුවක් බවට පත්ව ඔවුන්ගේ අඬ හැරයට සීසාන තත්ත්වයකට අද පළාත් සභා පත්ව තිබෙන්නේ ඒවාට පත්වූ මහජන නියෝජිතයන්ගේ වරදිනි. පළාත් සභා පිහිටුවා බලය විමධ්‍යගත කිරීම යනු උතුරු පළාත් සභාවේ දෙමළ අයකු මහ ඇමැති වීම නොවේ. තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා තමන් පත්කළ නියෝජිතයන් ඒ සඳහා කටයුතු කරන්නේය යන හැඟීම එම ප්‍රදේශයේ ජනතාව තුළ ඇතිවිය යුතුය. එය උතුරේ තබා දකුණේද ජනතාව තුළද ඇතිවී නොමැති බව කනගාටුවෙන් වුව කිව යුතුව තිබේ.

    යහ පාලන සමයේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා එම පළාතේ බිඳ වැටී තිබෙන අධ්‍යාපනය නගා සිටුවීමට වැඩසටහනක් සකස් කරනු ලැබීය. ප්‍රාථමික පාසල් වල ගණිත,විද්‍යා හා ඉංග්‍රීසි ගුරු හිඟය නිසාත්, එම විෂය ක්ෂේත්‍රවලට අදාළ ප්‍රතිඵල පළාත් සභා පාසල්වල පහළ මට්ටමක තිබීම නිසාත් ඔහු පළාත තුළින් පුහුණු ගුරුවරු හා ගුරු සහකයන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් දියත් කළේය. නමුත්යහ පාලන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් නිසා එම වැඩපිළිවෙළ අතර මඟ නැවතිණි.මේ අකාර කකුළෙන් ඇදීම් මධ්‍යම රජය විසින් සිදුකරන අවස්ථා බොහෝය.පළාත් සභාව යටතේ සිටින ඉංජිනේරුවරයෙකුට වසරකට වැඩ කිරීමට ලැබෙන්නේ රුපියල් මිලියන 10 කි.මෙම මුදල කිසිසේත් ප්‍රමාණයත් නොවන්නේය.පළාත් සභා තුළට කොටු වී අති විශාල මානව සම්පත් ප්‍රමාණයක් නිකරුණේ නාස්ති වන බව අප දැන් හෝ තේරුම් ගත යුතුය.පළාත් සභා නඩත්තු කිරීමට වැය කරන මුදලට සරිලන සේවාවක් ඉන් නොලැබෙන නිසා පළාත් සභා සුදු අලියකු ලෙස හඳුන්වාදීමට ජනතාව පෙලඹී සිටිති.ගින්නක් නොමැතිව දුමක් නොනගින්නා සේ මෙම කතාවේද පැහැදිලි සත්‍යයක් තිබේ.එවැනි පසුබිමක් තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමටත් ඉන් අනතුරුව ඇමැති මණ්ඩලයක් සහ මන්ත්‍රී කණ්ඩායමක් නඩත්තු කිරීමත් කොවිඩ් වයිරස් ව්‍යාප්තිය හමුවේ ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අපට කළ හැකිද යන්න සම්බන්ධව ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය.

    අඩුපාඩු හඳුනා ගැනීම

    පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් පලක් නැත. පළාත් සභාවල පවත්නා අඩුපාඩු අප මුලින් තේරුම් ගත යුතුය.එසේ නොකර මැතිවරණයක් පවත්වන්නට ඕනෑ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම මඟින් පාර්ලිමේන්තු වරම් අහිමි වූ දේශපාලනඥයන් කිහිප දෙනෙකු සතුටු වනවා මිස ජනතාව ලබන සතුටක් නම් නොමැත.පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාවද නව මැතිවරණ ක්‍රමය යටතේ විශාල ලෙස ඉහළ ගොස් ඇත.ඒ අතරට එකතුවන පළාත් සභා මන්ත්‍රීවරුන් නඩත්තු කිරීම සඳහා වැය කිරීමට සිදුවන්නේද ජනතා බදු මුදල්ය.ජනපතිවරයා වැය තම වැය ශීර්ෂ කපා හරිමින් වියදම් අඩු කිරිමට මුල පුරා සිටියදී සෙසු පාර්ශව වෙතින්ද ජනතාව අපේක්ෂා කරන්නේ එවැනි කැප කිරීමකි.පවතින තත්ත්වය තුළ වඩා ප්‍රායෝගික වන්නේ පළාත් පාලන ආයතන තවත් ශක්තිමක් කර එම ආයතනවලට වැඩ කිරීම සඳහා පසුබිම සැකසීමය.පළාත් සභා ක්‍රියාත්මක කළ යුතුම නම් එය ක්‍රියාත්මක කළ යුත්තේ එහි ආරම්භක අරමුණු බිඳ නොවැටෙන ආකාරයටය.

    විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරමින් එවකට ආණ්ඩුව පැවසුවේ කඩිනමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බවය.දැනට සිදු කර තිබෙන ව්‍යවස්ථා සංශෝධන මගින් අත්විඳි කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් හොඳ ශක්තිමක් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම රජයේ අරමුණ වී තිබේ.එහිදී පළාත් සභා සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ.තව දුරටත් පළාත් සභා පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන්නේ නම් මධ්‍යම රජයේ ඔඩොක්කුවෙන් පළාත් සභා ඉවතට ගත යුතුය.නැතහොත් සිදුවන්නේ මධ්‍යම රජයේ අවශ්‍යතාව අනුව පළාත් සභා ක්‍රියාත්මක වීමය.ජනතා මුදල් අති විශාල ප්‍රමාණයක් වැය කරමින් මධ්‍යම රජයේ සෙවණැල්ලක් නඩත්තු කිරීමෙන් රටට අත්වන සුගතියක් නැත.පළාත් සභාවලට තනිව නැගී සිටීමට ශක්තිය දිය යුතුය.විධායක ජනපති ධූරය මගින් යම් ආකාරයකට මේවා පාලනය කිරීම වරදක් නැත.එසේ නොකර පසුගිය තිස් අවුරුද්ද තුළ ක්‍රියාත්මක වූ ආකාරයට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නම් සිදුවන්නේ පළාත් සභා සුදු අලියෙක් බව තව තවත් සමාජය තුළ තහවුරු වීමය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here