තාත්තාට සමහරු සැලකුවේ බෝතල් පත්තරකාරයකුට වගේ

0
24
හරේන් සහ චරිත් නාගොඩවිතාන
දෙසැම්බර් 17, 2020

 

මේ වෙද්දි චිත්‍රපට 800ට අධික සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා.

 

500ක පමණ සියලුම අයිතීන් අපට තිබෙනවා.

 

මුලින්ම සිංගප්පූරුවට ගිහින් චිත්‍රපටයක් ඩීවීඩී එකකට පිටපත් කරගෙන ඇවිත් තියෙන්නේ ලක්ෂ 25ක් දීලා.

 

අපේ දරුවන්ටත් මේ සංරක්ෂණ කටයුතු කරගන්න මඟ කියා දෙන්නයි ඕනේ.

 

නෙට්ෆ්ලික්ස් වගේ එකකට අපේ චිත්‍රපටයක් දාගන්න එක ලේසි වැඩක් නෙවෙයි.

 

සරසවිය සම්මාන දිනූ චිත්‍රපට 13ක් රිදී ටීවී ඔස්සේ

 

ලංකාවේ කොහේවත් නැති දියුණු ක්‍රම අපි ගෙනත් තිබෙනවා

 

අපට රූපවාහිනී තිරයේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට නිරන්තර පාවෙනු දක්නට ලැබෙන අකුරු දෙකක් ඇත. ඒ ති.නා ය. තිස්ස නාගොඩවිතාන යනු ඒ කෙටි සංකේතයේ අරුත බව නොදන්නෙකු නැති තරම්ය. මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක සංරක්ෂණ අයිතිය ඇත්තා වන්නේද ඔහුය. කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්ට, නළු නිළියන්ට මෙන්ම තිස්ස නාගොඩවිතානයන්ටද සිය උරුමය පවරන්නට පුතුන් තිදෙනෙක්ම සිටි නිසා ඔහු පසුගිය මාර්තු මාසයේ නිර්භයවම දිවි සිනමාවෙන් සමුගත්තේ සිංහල සිනමාව වෙනුවෙන් ඔහුගේ සංරක්ෂණ කාර්යය බාර ගැනීමට හරේන්, චරිත් මෙන්ම වෛද්‍යවරයකු වන චමිල ත්‍රිමූර්තියක් සේ සූදානම් කළ පසුය. කොරෝනාවත් සමඟ සිනමාවේ ගමන් මඟ වෙනස් වන්නට නියමිත මොහොතක සිනමා සංරක්ෂණය ඔවුන් අතින් සිදු වන්නේ කොයි ආකාරයෙන්ද යන්න දැන ගැනීමට සරසවියට හරේන් නාගොඩවිතාන සහ චරිත් නාගොඩවිතාන උරුමක්කරුවන් දෙදෙනා මෙසේ කැඳවෙමු…

රිදී ටීවී ඔස්සේ සිනමා උලෙළක් පවත්වන්න යන බවට ආරංචියක් ලැබුණා?

හරේන් – ඒක ඇත්ත. සරසවිය සම්මාන උලෙළවලදී ජයග්‍රහණය කළ චිත්‍රපට 13ක් ඩයලොග් රිදී ටීවී චැනල් 18 ඔස්සේ ලබන 22දා සිට ජනවාරි 04 වැනිදා දක්වා ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් නත්තල් දා දෙසැම්බර් 25 හැර සරසවිය උලෙළවලදී හොඳම චිත්‍රපටය හා හොඳම අධ්‍යක්ෂ සඳහා සම්මාන ලැබූ නිර්මාණ තමයි රසික ජනතාවට නරඹන්න ලැබෙන්නේ. ඒවා තෝරාගනු ලැබුවේ අප සතුව ඇති සංරක්ෂිත චිත්‍රපටවලින්. මීට කලිනුත් අපි ආරම්භ කළා අමරණීය මතක කියලා එක් රංගන ශිල්පියකුගේ චිත්‍රපට 7 බැගින් දිනපතා සවස 3.00ට ප්‍රදර්ශනය කිරීම. මේ‌ වනවිට එවැනි ශිල්පීන් 15කගේ පමණ සිනමා කෘති විකාශය කර තිබෙනවා. රිදී ටීවී 2012 වසරේ ඇරැඹුණු නාළිකාවක්. සරසවිය සිනමා සම්මාන උලෙළ කියන්නේ මේ රටේ සුවිශේෂී සම්මාන උලෙළක් නිසාත් එයින් තෝරන කෘති නියත වශයෙන්ම හොඳ ඒවා නිසාත් කොරෝනා උවදුරෙන් පීඩිතව සිටින ප්‍රේක්ෂක ජනතාවට 2020 අවසානය වඩාත් රසවින්දනාත්මක අත්දැකීමක් සමඟ නිම කරන්න අවස්ථාව ලබා දෙන්නයි අපි ඒ සිනමා උලෙළ පවත්වන්නේ.

 

ඔබේ පවුලේ සිනමා සංරක්ෂණ කටයුත්තේ ඉතිහාසය මඳක් මතක් කරමු?

හරේන් – තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් පටන් අරගෙන දැන් අවුරුදු 40ක් පමණ වනවා.

මුලින්ම තාත්තා ආරම්භ කළේ පිරමිඩ් ෆිල්ම්ස් කම්පනි එක. 1976 වසරේ පමණ එච්. කේ. සිරිසේන අංකල් සමඟ තාත්තා මරුවා සමඟ වාසේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. අංකල් තමයි නිෂ්පාදක තාත්තා අධ්‍යක්ෂ හැටියට ඉන්නේ ටයිටස් තොටවත්ත අංකල් අධ්‍යක්ෂණය කළේ. තාත්තා කොහොමත් සිංහල සිනමාවට කැමැතියි. වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳලා‌ ආව කෙල්ලේ සින්දුව එහෙම තාත්තා ගායනා කළේ ඒ තිබුණු ආසාව නිසා.

හරේන් – 1981 තාත්තා (මහාචාර්ය) සුනිල් ආරියරත්න එක්ක කෝලංකාරයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒකෙත් නිෂ්පාදක හැටියට ඉන්නේ එච්. කේ. සිරිසේන අංකල්මයි. ’84 කැකිල්ලේ රජ්ජුරුවෝ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළා.

චරිත් – රොබින් තම්පො අංකල්ගෙන් ඉන්සානියන් හින්දි චිත්‍රපටයට හඬකවා හැදූ මනුෂ්‍යත්වය චිත්‍රපටය සල්ලි දීලා අරගෙන තිබුණේ 1981 වගේ කාලේ යාපනයේ ගෙදරට ගිහින්. එතකොට තම්පො අංකල්ගේ ළමයි අකමැත්තට රීල් හංගලා තිබුණා. සංජය තම්පො අය්යත් කිව්වා, රොබින් අංකල් සංජය අය්යාට ඉඩමක් අරගෙන දෙන්නම් කිව්වාට පස්සෙයි ඒවා හොයලා දීලා තියෙන්නේ.

 

ඒ කියන්නේ මේ කටයුත්ත ලේසි පහසු එකක් වෙලා නැහැ?

දෙදෙනාම – ඔව්. සමහර චිත්‍රපට නිෂ්පාදකවරු අගුපිල්වල, ගරාජ්වල, ඇඳන් යට තියෙද්දි වුණත් තාත්තා ඉල්ලුවාම ‘ඔයා බෝතල්පත්තරකාරයෙක් වගේ මගේ ළඟට ඇවිත් චිත්‍රපට ඉල්ලන්න ලැජ්ජා නැද්ද?’ කියලා අහලා තියෙනවා.

හරේන් – හැබැයි අන්තිමට ඒ අයම ඇවිත් තමන්ගේ චිත්‍රපට තාත්තාට දීලත් තියෙනවා. නිෂ්පාදකවරු මොන අගුපිල්වල තියලා තිබුණත් තාත්තා ඒවා ගත්තේ මුදල් දීලා ලිඛිත අයිතිය පවරගෙන.

 

එහෙම එකතු කළ චිත්‍රපට කොපමණ සංඛ්‍යාවක් ඔබ සතුව තිබෙනවාද?

හරේන් – මේ වෙද්දි චිත්‍රපට 800ට අධික සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා. ඉන් 500ක පමණ සියලුම අයිතීන් අපට තිබෙනවා.

 

ඔබට පුළුවන්නේ ඒවායේ සංයුක්ත තැටි මඟින් විශාල ආදායමක් ලබන්න?

චරිත් – සමහර ඒවා එහෙම කරනවා. ඒත් ඩීවීඩී මාකට් එක එතරම්ම සාර්ථක නැහැනේද. ඒ වගේම ඩීවීඩී හෝ ඩිජිටල්කරණය නිසා සිනමා කර්මාන්තය වැටුණා කියලත් සමහරුන්ගේ මතයක් තිබෙනවා. ඒ නිසා අපි ගුණාත්මකබව ගැන වැඩිපුර හිතනවා.

හරේන් – අපි කොයිතරම් හොඳ ගුණාත්මක ඩීවීඩී එකක් පිට කළත් ඒවා හොරට පිටපත් කරලා විකුණන අය නිසා අවසානයේ රසිකයාට නියමිත ගුණාත්මකබවින් යුතු පිටපතක් නොලැබෙන්න පුළුවන් නිසා සහ ඒවා වළක්වන්න ඕනේ නිසා තමයි අපි ඒ සඳහා එතරම් උනන්දු නැත්තේ.

 

ඔබ දෙදෙනා මේ කටයුත්තට සම්බන්ධ වුණේ?

හරේන් – සංරක්ෂණය සහ සිංහල චිත්‍රපට කියන දේ අපි පොඩි කාලේ ඉඳන්ම දැක්ක දෙයක්නේ. තාත්තා හැමතැනම අපිව එක්කගෙන යනවා. හැමදේම පෙන්වලා කියලා දීලා සංරක්ෂණය කරන්න ඕනේ කියලා තේරුම් කරනවා. තාත්තාගේ අදහස තිබුණේ පරම්පරා දාහකටවත් මේවා සංරක්ෂණය කළ යුතුයි කියලයි. කොහෙන්වත් කිසිම ආධාරයක් නැතිවයි තාත්තා තනිවම මේ දේ කළේ. මිලිමීටර 35 සිට ආරක්ෂා කළ යුතු විධි තිබෙනවා. තාක්ෂණය වෙනස් වෙනකොට අපිත් එක්ක එකතු වෙලා අපට ලෝකෙ අලුත් ක්‍රම හොයන්න කියලා දියුණු ක්‍රම යොදාගෙන සංරක්ෂණ කටයුතු කරන්න තාත්තා මහන්සි වුණා. අපිත් ඒවාට දායක වුණා. ලංකාවේ කොහේවත් නැති දියුණු ක්‍රම අපි ගෙනත් තිබෙනවා චිත්‍රපට අවුරුදු සියයකට හෝ ආරක්ෂා කරන්න පුළුවන් වන විදිහට.

චරිත් – උදාහරණයකට සිංගප්පූරුවේ තිබෙන බ්‍රෝඩ්කාස්ට් ඒෂියා ප්‍රදර්ශනයට හැම අවුරුද්දෙම තාත්තා අපිව යවනවා. හරේන් අය්යා ගිහින් ඒ අදාළ අයත් එක්ක කතා කරලා අලුත් ක්‍රම අපට ගැළපෙන ඒවා සොයාගන්නවා. ඒ කාලේ ඩීවීඩී තමයි හොඳම ක්‍රමය කියලා ලෝකෙම හිතුවේ. ඉතින් තාත්තා මුලින්ම සිංගප්පූරුවට ගිහින් චිත්‍රපටයක් ඩීවීඩී එකකට පිටපත් කරගෙන ඇවිත් තියෙන්නේ ලක්ෂ 25ක් දීලා. ඒ ’96 විතර කාලේ. ඒක ලොකු දෙයක් නිසා එදා තාත්තා කීවා මේක හොඳීන් පරිස්සම් කරගන්න මේ තමයි අලුත්ම තාක්ෂණය කියලා. දැන් රුපියල් සීයටත් ඩීවීඩි රයිට් කරනවා.

හරේන් – ඇමෙරිකාවේ තිබුණා ආකයිවල් ගෝල්ඩ් කියලා ඩීවීඩී එකක් අවුරුදු සියයක් තියන්න පුළුවන් කියලා. අපි කාලයක් එහෙමත් කළා. ඒ ගැන පත්තරේකත් ගියා තිස්ස නාගොඩවිතානලා චිත්‍රපට සංරක්ෂණය කරන්නේ විශේෂිත ඩීවීඩී වර්ගයකට පිටපත් කරලායි කියලා.

චරිත් – ඒ වගේ බොහෝමයක් ක්‍රම අත්හදා බලලා දැන් අපට ඒ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ හොඳ දැනුමකුත් තිබෙනවා. දැන් අලුත්ම ක්‍රම වන්නේ එල්ටීඕ සහ සෝනිවලින් හදන අලුත්ම උපාංගයක්. අපි මේ වෙද්දි සංරක්ෂණය කරන්නේ ඒ ක්‍රමවේදවලට. අනෙක අපේ ගෙදර පමණක් නෙවෙයි තවත් තැන් කීපයක, පිටරට පවා අපි මේ චිත්‍රපට පිටපත් සංරක්ෂණය කර තිබෙනවා හදිසි අනතුරක්වත් වුණොත් සිදුවිය හැකි විනාශයෙන් බේරාගන්න ක්‍රමයක් විදිහට.

 

සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව සිනමා ක්ෂේත්‍රයේ අයගේ ආකල්පය?

හරේන් – සමහර අධ්‍යක්ෂවරුන්ට ඒ ගැන අදහසක් තිබෙනවා. ඒත් සමහර නිෂ්පාදකවරුන්ට එහෙම අගයක් නැහැ. මුලින් වියදම් කළා. එච්චරයි.

තාත්තාට ආර්ථීක විද්‍යා උපාධියක් තිබෙන්නේ. ඉතින් ඒ මොළේ පාවිච්චි කරලා මුලින්ම චිත්‍රපට සියයක් පමණ එකතු වන තුරු රූපවාහිනියටවත් නොදුන් බව තමයි තාත්තා කීවේ. ඒකට හේතුව “මට වඩා සල්ලි තිබෙන අය ආවොත් මට ඒ අය සමඟ තරග කරන්න බැහැ. ඒ වගේම ඔවුන් එද්දි මම චිත්‍රපටවල නීත්‍යානුකූල අයිතිය අරගෙන අවසන් නිසා කාටවත් අතගහන්න බැරි වෙනවා. තව අය චිත්‍රපට හොයන්න ගත්තට ඒවායේ අයිතිය ඒ වෙද්දි මම අරගෙන ඉවරයි.” කියලා තාත්තා දුර දිග සිතූ නිසා.

පරණ නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් මේ සංරක්ෂණ ක්‍රමය ගැන බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. අනෙක තාත්තා අපට කියා දුන් දෙයක් තමයි පරණ චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් විකාශය කරද්දි අදාළ නළු නිළියන්ගේ රූපය මත ඒ නළු නිළියන්ගේ නම යොදන්න කියන දෙය. ඒ පරණ නළුනිළියන් අලුත් පරම්පරාවලට හඳුන්වා දෙන්න පුළුවන් වන්න. අපට එය තේරුණෙත් ඉදිරියට කොපමණ වැදගත්ද කියලා මාසයකට විතර පස්සේ.

චරිත් – අනෙක විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපේ ගෙදර ඇවිත් පරණ චිත්‍රපට බලලා විභාගවලට අවශ්‍ය පිළිතුරු ලියාගෙන යනවා.

රූපවාහිනී නාළිකාවල වැඩසටහන් ලස්සන කරගන්නත් අපි ඒ කොටස් ලබා දීලා උදවු කරනවා.

 

ඔබ තිදෙනාගේම අධ්‍යාපන විෂයය ධාරා සිනමා කර්මාන්තයට සම්බන්ධ නැහැ?

චරිත් – එත් මේක තාත්තම පුරුදු කරපු දෙයක්. අපි පොඩි කාලේ ඉඳන්ම දැක්ක, බැලූ දේ ඇඟටම කා වැදුණා. අපි චිත්‍රපට මුදල් දී අයිතිය ලබා ගත්තාම ඒවා අපේ කියන හැඟීම තිබෙන නිසා අපි එය රකිනවා.

හරේන් අය්යත් ඇමෙරිකාවේ හිටියේ පස්සේ වැටුපක් දෙන්නම් කියලයි තාත්තා ලංකාවට ගෙන්වාගත්තේ.

විදේශයක පදිංචි චමිල අය්යා වෛද්‍යවරයෙක් වුණත් අපේ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්. අපේ කටයුතු ගැන, සංරක්ෂණ ක්‍රම ගැන අපිත් එක්ක මාසෙකට සැරයක්වත් කොහේ හිටියත් කතාවෙනවා.

හරේන් – මාව තමයි මුලින්ම තාත්තා රට යවලා මෙයට යොමු කළේ. අපි ව්‍යාපාර පරිපාලනය කළත් පස්සේ මේ දේට යොමු වුණා. චරිත් මල්ලි දිගටම තාත්තත් එක්කම වැඩ කළා.

 

රටක් හැටියට චිත්‍රපට සංරක්ෂණයේ අපට ඇති අඩුපාඩු ඔබ දකින්නේ කොහොමද?

හරේන් – අපට මිලිමීටර 35 මුද්‍රණ ටික හරියට රැක ගන්න තිබ්බා නම් ඒ කාලෙම කියලා හිතෙන අවස්ථා තිබෙනවා. මොකද අපි ගන්නකොටත් නයිට්‍රේට් සහිත සමහර චිත්‍රපට විනාකිරි සුවඳ ඇවිත් නරක් වෙලා. සමහර නිෂ්පාදකවරු චිත්‍රපටය පෙන්නුවාට පස්සේ ඇති වැඩකුත් නෑනේ කියලා රිදීවලට කිලෝ ගාණට විකුණලත් තිබුණා.

රජය පැත්තෙන්, චිත්‍රපට සංස්ථාව පැත්තෙනුත් මේ දේවල් කරන්න උත්සාහ කළත් නියමිත සම්බන්ධීකරණයක් හොඳ ක්‍රමවේදයක් ඇති වුණේ නැහැ.

චරිත් – මේ වෙද්දි ජාතික චිත්‍රපට සංස්ථාව එක්ක දම්මිත් ෆොන්සේකා අය්යා යම් සංරක්ෂණ කටයුත්තක් කරගෙන යනවා.

වැලිකතර එහෙමත් සංරක්ෂණය කර තිබුණා. බඹරු ඇවිත් චිත්‍රපටය ඉන්දියාවට යවලා 2ම් කරලා තිබුණා. ඒවා අපේ අවසරය අරගෙන තමයි ඒ අය කළේ. අපි ඒ වගේ දේවල් කරනවාට කැමැතියි. එනිසා උපරිම සහාය දෙනවා. ඒත් සංඛ්‍යාව තවමත් බ්ලූ රේවලයි සංරක්ෂණය කරන්නේ. එය එතරම් ගුණාත්මක තත්ත්වය හෝ නිවැරැදි ක්‍රමවේදය නෙවෙයි. හාරලක්ෂය චිත්‍රපටය ටයිටස් තොටවත්ත අංකල් එවෙලේ පිටපත කියමිනුයි චිත්‍රපටය කරලා තියෙන්නේ. ඩී. බී. නිහාල්සිංහ අංකල් ඒ තිරපිටපත පොතක් ලෙස මුද්‍රණය කරන්න කියලා අවසර ඉල්ලා තිබුණා. අපි ඒවාටත් උදවු කළා. හැම වසරකම සිංහල සිනමාවේ ආරම්භය සමරන හැම වතාවකම අපි ඒ අවශ්‍ය චිත්‍රපට ලබා දෙනවා.

 

ඔබ දෙදෙනාම ව්‍යාපාර පරිපාලනය හැදෑරූ අය හැටියට මේ ව්‍යාපාරය දකින්නේ කොහොමද?

හරේන් – තාත්තා මුල ඉඳලාම කියන කතාව “අපි මෙය සංරක්ෂණය කරන එක හරි, හැබැයි මේක මගේ ව්‍යාපාරය. අපට වෙන කඩ හෝ ව්‍යාපාර හෝ මුකුත් නැහැ.” ඉතින් තාත්තාට තිබුණු ව්‍යපාරය අනුව ශාලාවලට හෝ දැන් අන්තර්ජාලයට චිත්‍රපට ලබා දෙනවා. ඒ ලැබෙන මුදල්වලින් කොටසක් යළි වැය වන්නේ චිත්‍රපට ලබාගැනීමට සහ සංරක්ෂණයටයි. අපි මුදල් දී අයිතිය ලබාගෙන එය රැකගැනීම කරද්දි ඉබේම එයින් සංරක්ෂණයත් සිදුවෙනවා.

 

සිනමා සංරක්ෂණ තාක්ෂණයේ අනාගතය කොයිවගේ වෙයිද?

හරේන් – දැනට ඇති හොඳම ක්‍රම ලෙස එල්ටීඕ සහ තව ක්ලවුඩ් බේස් ක්‍රමවේදයකුත් සොයා ගත්තා. අපට ඒ මෘදුකාංග ආදිය ලබා දෙනවිට අවුරුදු සියයකට කීවාට අපි දන්නේ නැහැනේ ඇත්තටම එය අවුරුදු සියයක් තියෙයිද කියලා. ඒ නිසා අලුත් අලුත් දේ අපි අත්හදා බලනවා අදටත්. එමඟින් අපේ දරුවන්ටත් මේ සංරක්ෂණ කටයුතු කරගන්න මඟ කියා දෙන්නයි ඕනේ. ඔවුනුත් ඒ කටයුතුවලට සම්බන්ධ වෙයි ඉදිරියට. ඒ වෙද්දි තාක්ෂණයත් බොහෝ වෙනස් වෙලා තියෙයි.

 

නෙට්ෆ්ලික්ස් වගේ ක්‍රම ගැන මොකද හිතන්නේ?

චරිත් – නෙට්ෆ්ලික්ස් වගේ එකකට අපේ චිත්‍රපටයක් දාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒ අය අපි චිත්‍රපටයකට භාවිත කරන කැමරාවේ ඉඳන් කලර් ග්‍රේඩින්වලට කලින් තිබෙන විදිහ පවා විමසලා විවිධ ප්‍රවර්ග (ජෝනර්) ඒ ඒ කාලෙට තෝරනවා. ඒ නිසා හැම චිත්‍රපටයක්ම තෝරගන්නේ නැ. ඒත් අපේ රටේ නරඹන්නන් වැඩි වෙද්දි සමහර විට සිංහල චිත්‍රපට ගන්න ඕනෙ කියන තැනට ඔවුන් ආවොත් හොඳයි.

 

එවැනි ක්‍රමවේදයකට ලංකාවේ අපට යන්න බැරිද?

චරිත් – දැන් ලංකාවේ ඇප් තිබෙනවා. අපේ චිත්‍රපට ඍර්‍ණච්.තඬ මඟින් බලන්න පුළුවන්. එය අපි අලුතින් නම් කරනවා ඊඩ්ධ්ව්ඒ කියන නාමයෙන්. තාත්තාගේ වර්ෂ පූර්ණ සංවත්සරය වෙනුවෙන් අපට අයිති චිත්‍රපට නව ක්‍රමවේදයක් අනුව ලෝකෙ ඕනෙම කෙනකුට බලන්න පුළුවන් විදිහට ප්‍රදර්ශනය පුළුල් කරන්න කටයුතු කරමින් යනවා.

හරේන් – තාත්තා එදා ඉඳන්ම කියූ දේ තමයි කලාකරුවන්ගේ සුබසාධන වැඩපිළිවෙළක් කළ යුතුයි කියලා. එනිසා මේ ඇප් එකෙන් අපි උත්සාහ කරන්නේ ඒ අයට සාධාරණයක් ඉටු කරන්නයි. සින්දු ලියූ කියූ තනු නිර්මාණය කළ විදුලි ආලෝකය සැපයූ ආදී සිනමාවට සම්බන්ධ ඕනෑම කෙනකුට යම් අවශ්‍යතාවක් තිබුණහොත් අප ඒ ඇප් එකෙන් උපයන මුදලේ ලාභයෙන් කොටසක් යොදවමින් ඔවුන්ගේ සුබසාධනයට යොමු කරවන්න කටයුතු යොදා‌ගෙන යනවා. ගමෙන් මුදල් එකතු කරලා දන්සැල් දෙනවා වගේ නෙවෙයි මේ වැඩේ ඍජුවම තාත්තාගේ නමින් ඇති පදනමෙන් කරන්නේ. අන් අයට කළ හැක්කේ ඒ සඳහා චිත්‍රපට නැරඹීමෙන් උදවු දීමයි. එවිට ඒ කෘතිවල සිටි ශිල්පීන්ට ගෞරවාන්විතව, අභිමානයකින් යුක්තව තමන් කළ සේවය අනුව ලැබෙන සුබසාධනය ලබාගත හැකියි. හැබැයි ඉතින් එහෙම උදවු කරන්න ගිහින් වඳීන්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණු අවස්ථාත් නැතුවාම නෙවෙයි.

 

කවදාද තිස්ස නාගොඩවිතාන පදනම සහ ඒ ක්‍රමවේදය අරඹන්නේ?

දෙදෙනාම – අපි හිටියේ දෙසැම්බරයේ පටන් ගන්න. ඒත් කොවිඩ් ප්‍රශ්නය නිසා කල් දාන්න වුණා. තාත්තගෙ අවුරුද්දේ අනුස්මරණය යෙදෙන්නේ මාර්තු 25 වෙනිදාට. එදාට කරගන්න පුළුවන් වෙයි කියා විශ්වාස කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here