දිව ඔසුවක් වන් ලාවුළු පානය

    0
    37

    ‘ලාවුළු (Canistel)’, වර්තමානයේදී අපගේ මතකයෙන් බොහෝ සෙයින් ඈත්ව ගොස් ඇති පෝෂ්‍යදායි ගුණයෙන් අනූන වූ රසවත් දේශීය පලතුරකි. අපේ මුතුන් මිත්තන් අතර ඉතාමත් ජනප්‍රිය, වස විසෙන් තොර වූ මෙම දිව්‍ය භෝජනය මවුබිමේ ඕනෑම පළාතකම පාහේ සෑදෙන අතර, ඕනෑම කෙනකුට පහසු මිලකට ගත හැකි වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව පමණක් නොව මධ්‍යම අමෙරිකාවේ දකුණු මෙක්සිකෝවේ, ඉන්දියාවේ, පිලිපීනයේ, තායිවානයේ, වියට්නාමයේ සහ බ්‍රසීලයේ ඉතා සරුවට වැඩෙන ලාවුළු තැම්බූ බිත්තර කහ මදයේ වර්ණයෙන් දිස් වන නිසා බො‍හෝ දෙනෙක් ‘බිත්තර පලතුර’ ලෙස ද හඳුන්වනු ලබයි. ඒ වගේම ලාවුළුවලින් අපට ලැබෙන ප්‍රයෝජන ඇසු‍ව හොත් ඔබ පුදුමයට පත්වනවා නොඅනුමානයි. කිමද එය විස්මිත ගුණාංග රාශියක් දෙන පලතුරක් නිසාවෙනි. 

    පෝෂණ ගුණයේ උල්පත වන මෙම ලාවුළු පලතුරෙහි විටමින් A හා B ඉතා බහුලව අඩංගු වන අතර, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ පමණක් නොව බීටා කැරොටීන් ද නොමඳව සපයා දෙයි. සමස්ත මිනිස් සිරුරම නිරෝගි කරන ප්‍රබල බලයක් තිබෙන මෙම ලාවුළු රක්තහීනතාවය වැළැක්වීමට, මොළයේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට ඇල්සයිමර් හා ඩිමෙන්ශියාව වැනි ස්නායු පද්ධතියේ රෝග වැළැක්වීමට උපකාර කරයි. එපමණක් නොව වර්තමානයේ බහුලව දක්නට ලැබෙන දියවැඩියාව, කොලෙස්ටරෝල් යන රෝග සඳහා අනර්ඝ පලතුරකි.

    ඔබ ලාවුළු ආහාරයට ගන්නේ කෙසේද? බොහෝ විට ඉදුණු පසු ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වනවා ඇති. එසේත් නැති නම් වෑංජන, පෑන් කේක්, කස්ටඩ්, අයිස්ක්‍රීම්, ජෑම් සහ මාමලේඩ් සෑදීමට ද විය හැකියි. එහෙත් ඔබ ලාවුළු බීම ගැන අසා තිබෙනවා ද? පහසුවෙන් නිවසේදී සාදාගත හැකි ග්‍රීෂ්මය නිවන කදිම පානයක් වන මෙම ලාවුළු පානය 2012, 2013, 2014 යන වසරවලදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ගෘහ ආර්ථික විද්‍යා කලාප සහ මධ්‍යම පළාත් තරගාවලියේ නොකඩවා තෙවරක් ප්‍රථම ස්ථානය ගත් පානයකි. එසේ නම් ඔබත් මෙහි රසය සහ පෝෂණය අත්විඳින්න.

    අවශ්‍ය ද්‍රව්‍ය (බීම වීදුරු 2ක් සඳහා)

    • හොඳින් ඉදුණු ලාවුළු ගෙඩියක්

    • සුදු කිරිපිටි මේස හැඳි 3ක්

    • ජලය කෝප්ප 2ක්

    • සීනි මේස හැඳි 2 – 3 ක් (අවශ්‍ය පමණට රස අනුව යොදාගන්න. දියවැඩියා රෝගීන් සඳහා සීනි භාවිතා නොකරන්න)

    • වැනිලා බිංදු කිහිපයක්

    • ලුණු ස්වල්පයක්

    • අයිස් කැබලි

    සාදන ආකාරය –

    පළමුවෙන්ම හොඳින් පිරිසුදු කරගත් ඉදුණු ලාවුළු ගෙඩිය පොතු සහ ඇටය ඉවත් කර කැබලිවලට කපා බඳුනකට දමා ගන්න. අනතුරුව කිරිපිටි, ජලය සහ සීනි වෙනත් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය සහ ලාවුළු කැබලි බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කර ගත් පසු එයට ලුණු ස්වල්පයක් සහ වැනිලා බිංදු කිහිපයක් යොදන්න. උකු ස්වභාවය වැඩි නම් ජලය ස්වල්පයක් එක් කළ හැකිය. දැන් ඔබ පෝෂ්‍යදායී ලාවුළු පානය සාදාගෙන අවසානයි. ඔබට එය අයිස් කැබලි කිහිපයක් දමා පිළිගැන්විය හැකියි. මෙය ප්‍රධාන ආහාරවේලෙන් පසුව අතුරුපසක් ලෙස හෝ තේ වේලාව වෙනුවට වුව ද සදා ගත හැකි කදිම පානයකි.

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here