නිල් කටරොළු පැහැයෙන් ජීවිතය වර්ණවත් කරන මධු

    0
    37

    ගස්වල පිපෙන ඇතැම් මල් ආහාර පාන සඳහා යොදා ගනී. කතුරුමුරුංගා මල් එවැනි ආහාරයට ගන්නා මල් වර්ගයකි. බෙලි මල් සහ රණවරා මල් ද රසවත් පානයක් ලෙස සකස් කර ගත හැකිය. එහෙත් කටරොළු මල් යොදා ගෙන රසවත් අතුරුපසක් සකස් කර ගත හැකි බව පැවසුවහොත් ඕනෑම කෙනකු පුදුමයට පත් වනු ඇත. සෑම නිවෙසකම පාහේ නිල් පැහැති කටරොළු මල් වැලක් වවා තිබෙන්නේ බුදුන් පුදට ගෙන යෑම සඳහාය. අනුරාධපුරයේ වෙසෙන කාංචනා මධුවන්ති ද කොස්තා මහත්මිය කටරොළු මල් වවන්නේ ඉන් රසවත් මෙන්ම ගුණදායක ජෙලි සකස් කිරීම සඳහාය. මෙරට මෙන්ම විදෙස් රටවල ද මේ සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව ඇය පවසන්නීය.

     

     ඔබ කරන්නේ අමුතුම දෙයක්. ඔබ රසවත් අතුරුපසක් සෑදීම සඳහා මලක් යොදා ගන්නවා. කොහොමද ඔබ මේ දේ කරන්නේ?

    නිල් කටරොළු මලට වටිනාකමක් දෙන්නයි මට ඕනෑ වුණේ. ශ්‍රී ලංකාවෙ අපිට මේ මල ගැන ලොකු වටිනාකමක් තිබුණේ නැහැ. ඒත් විදෙස් වෙළෙඳපොළේ මේ නිෂ්පාදනවලට පුදුම වටිනාකමක් තිබෙන්‍නේ. නිල් කටරොළු නිෂ්පාදන වැඩිපුරම තිබෙන්නේ තායිලන්තයේ. අමෙරිකාවේ සහ ඩුබායිවල මේවායින් කොක්ටේල් පවා හදනවා. පසුගිය දිනවල අපේ රටේ නිල් කටරොළු මල් ගැන පොඩි රැල්ලක් තිබුණා. මේ නිසා මමත් කල්පනා කළා මේ වගේ ජෙලි එකක් හදන්න ඕනෑ කියලා.

     

     නිල් ක‍ටරොළු මල්වල කිසියම් විශේෂිත රසයක් හෝ ඖෂධීය ගුණයක් තිබෙනව ද?

    මේ මලට ආවේණික රසයක් නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය ඇඟ නිවෙන පානයක් ලෙස සකස් කර ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ ගර්භාෂගත රෝගාබාධවලට සහ හිස කෙස්වලට ද බො‍හෝ ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. පිළිකා නසන ගුණයක් තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා. නාවින්න දේශීය වෛද්‍ය පීඨයේ පී. හේවාගම මහතාත් මෙය සත්‍යයක් බව පැවසුවා. ඒ වගේම ශරීරයේ විස නසන ගුණයක් ද මෙහි තිබෙනවා. ඇත්තටම නිල් කටරොළුවල ගුණ පිළිබඳව කියා නිම කරන්න බැහැ. මේ වැලේ පස් පංගුවම ඖෂධයක් ලෙස ගන්න පුළුවන්.

     

     ඔබ එය විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවද? මෙය ශරීරයට හිතකරයි කියලා ඔබ හරියටම කියන්නෙ කොහොම ද? ඒ පිළිබඳව තිබෙන තත්ව සහතිකය කුමක් ද?

    ඒ පිළිබඳව විද්‍යාත්මකව පර්යේෂණ කර තහවුරු කර තිබෙන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ජපානයේ සංගමයක් හරහා මේ දිනවල පර්යේෂණ සිදු කරමින් යනවා. මේ පිළිබඳ තත්ව සහතිකය සඳහා මම IDB ආයතනයට ඉල්ලුම් කර තිබෙනවා.

     ඔබේ ඉලක්කය දේශීය වෙළෙඳපොළ ද? විදේශීය වෙළෙඳපොළ ද?

    මම ඉලක්ක කර ගෙන ඉන්නෙ දේශීය වෙළෙඳපොළ. අනාගත පරම්පරාව වන දරුවන්ට අද කන්න බොන්න තිබෙන්නේ තනිකරම රසායනික විස සහිත දේවල්. පාසල් ආපන ශාලාවලට මේ ජෙලි එක හඳුන්වා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මෙහි කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ විස සහිත කිසිවක් අඩංගු වන්නේ නැහැ. කෘත්‍රිම වර්ණකාරක කිසි දෙයක් මම භාවිත කරන්නේ නැහැ. ජෙලටින්වත් යොදා ගන්නේ නැහැ.

    මේ ජෙලි එකේ අඩංගු වන්නේ කෝමාරිකා, කස ඇට සහ මී පැණි. ඒවා ශරීරයට ගුණදායකයි. වර්ණකාරකය ලෙස තමයි නිල් කටරොළු යොදා ගන්නේ.

     

     ඉල්ලුම කොහොම ද?

    දැනට කොළඹ වෙළෙඳපොළවලට තමයි දාන්නේ. ‍ ඉල්ලුමක් හැදිලා තිබෙනවා. කේටරින් සේවයේ අයගෙන් වැඩි ඉල්ලුමක් තිබෙනවා. ජෙලි කිලෝග්රෑම් 4-5ක කුට්ටි විදියට එයාලා ඉල්ලන්නේ සැරසිලි සඳහායි. ඒත් විදේශ වෙළෙඳපොළේ ලංකාවට වඩා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඩුබායි, එංගලන්තය, අමෙරිකාව, කැනඩාව සහ ඉතාලියෙ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා.

     

     ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න තරම් නිල් කටරොළු වගාවක් ඔබ සතුව තිබෙනවද?

    දැනට වගාවන් ස්ථාපිත කරගෙන යනවා. බෙලිඅත්ත සහ අතුරුගිරියෙ කාන්තාවන් කිහිපදෙනෙක් එකතු කරගෙන ගෘහස්ථ වගාවක් ලෙස මෙය කරගෙන යනවා. මගේ ඉලක්කය නිවෙස්වල සිටින කාන්තාවන් හවුල් කරගෙන එයාලට අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වන ආකාරයට මෙම වගාවන් කරගෙන යන්නයි. තම නිවෙස් අවට මේ වැල් 25ක් වත් වගා කරන්න කියලයි මම කියන්නේ. මේවා පෝච්චිවල, වැට මායිමේ සහ කොන්ක්‍රීට් ස්ලැබ්වල වවන්න පුළුවන්. මේක රනිල කුලයේ ශාකයක් නිසා මේ සඳහා කිසිම පොහොරක් ඕනෑ නැහැ. වාණිජ වගාවක් ලෙස කර ගෙන යෑම සඳහා මල ටිකක් ලොකුවට හැදෙන්න ඕන නිසා කොම්පෝස්ට් ටිකක් එකතු කළාම ප්‍රමාණවත්.

     

     මේ මල් වැවීමෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන් ද?

    කාන්තාවන්ට මාසිකව අමතර ආදායමක් ලෙස මේ වගාව කර ගෙන යන්න පුළුවනි. අමු මල් කිලෝග්රෑම් එකක් වෙනුවෙන් රුපියල් 300ක් ගෙවනවා. මල් කිලෝ එකක් වේළලා දුන්නොත් රුපියල් 5000ක් ගන්න පුළුවන්. වේළුණු මල් කිලෝ එකක් ගන්න නම් අමු මල් කිලෝ 13ක් වේළන්න ඕනෑ. දවස් 15කින් මල් කිලෝ එකක් වේළන්න පුළුවනි. කාන්තාවන්ට මාසෙකට රුපියල් 10,000ක ආදායමක් නිකන්ම ලැබෙනවා. ඉදිරියේදී තිබෙන ඉල්ලුමත් සමඟ මෙ මුදලේ වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

    සකස් කරන ලද ජෙලි

     

     

     අපේ රටේ මේ කටරොළු මල් වවන්න කැමති අය ඔබගේ මේ නිෂ්පාදනයට හවුල් කර ගන්න ඔබට අදහසක් තිබෙනව ද?

    මේ මල් වවන්න කැමති අය ඉන්නවා නම් තනිකර වාණිජ වගාවක් ලෙස මෙය වගා කරන්න එපා. අපේ වගාවක අතුරු වගාවක් ලෙස මේක කරන්න. මමත් පේර වගාවක් කරන අතර තමයි මේ මල් වවන්නේ. ඒ ආකාරයට වවනවා නම් ඕනෑම කෙනකුට මාත් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

     මේ මල් වගාව සාර්ථක කර ගන්න තිබෙන ක්‍රමවේද මොනවා ද ?

    විශේෂ ක්‍රමවේදයක් නැහැ. වැට ක්‍රමය අනුගමනය කරන්න ඕනෑ. පෝච්චියක සිටෙව්වත් ආධාරකයක් සවි කර වැල උඩට යවන්න ඕනෑ. මේක ආහාරයකට ගන්නා දෙයක් නිසා පිරිසුදුවට තියෙන්න ඕනෑ. බිම ගෑවුණාම වැලි මිශ්‍ර වී අපිරිසුදු වෙනවා.

     

     කාන්තාවක් විදියට මේ නව ව්‍යාපාරය සාර්ථක කර ගත්තේ කොහොමද?

    මට රජයේ අනුග්‍රහයක් ලැබෙනවා. අනුරාධපුරයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, විදාතා මධ්‍යස්ථානය, IDB ආයතනය උදවු කළා. කුඩා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ සුධීර මහතාත්, පන්නල මාකඳුරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නාලක රාජපක්ෂ මහතාත් නිසා මම දැන් මේ ව්‍යාපාරයේ පියවරක් ඉදිරියෙන් සිටිනවා.

    නිල් කටරොළු වවන්නත් ඉන් අමතර ආදායමක් ගැනීමටත් කැමති කාන්තාවන්ට madu de costa මුහුණු පොත හරහා ඒ සම්බන්ධවී නොමිලේ උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබේ.

     

    චතුමී පිටිපන

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here