පාස්කු දා ප්‍රහාරයෙන් මැරුණු අයට වඩා බේරුවල-දිගන වින්දිතයන්ට වන්දි දීලා

0
35
Author(s): 
සුභාෂිණී සේනානායක

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට ගෙවූ වන්දි මුදලට වඩා වැඩි වන්දි මුදලක් බේරුවල සහ දිගන ආශ්‍රිත සිදුවීම්වලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ඊයේ 16 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ හානි පූර්ණ දේපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ එස්. එම්. බදුර්දීන් මහතා ඊයේ (16) කොමිසම හමුවේ දුන් සාක්ෂි අනුව මේ තීරණය ගනු ලැබීය.

දිගන ආශ්‍රිතව හටගත් නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම් යන ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී බවත් අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් සඳහා ගෙවිය යුතු වන්දියට අදාළව මුදල් තීරණය කිරීම දේශපාලනික වශයෙන් සිදුවූ බවත් වැඩ බලන අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ පැවැසුවේය.

දිගන සහ බේරුවල ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ විස්සක් ගෙවූ නමුත් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලෙස ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ දහයක් පමණක් බව කියා සිටි ඒ මහතා එක් එක් සිද්ධිවලදී වන්දි ගෙවීම මෙලෙස තීරණය කිරීම අසාධාරණ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

” පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට සහ දිගන හා බේරුවල සිදුවීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සඳහා ගෙවන ලද මුදල අතර අසාධාරණයක් තිබෙනවා නේද” යන්න මෙහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

දිගන හා බේරුවල සිදුවීම් හේතුවෙන් ජීවිත හානිවූ පුද්ගලයන් වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සමඟ සලකා බැලීමේදී අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට ගෙවූ වන්දි මුදලේ යම් අඩුවක් ඇතැයි තමන් පිළිගන්නා බව හානි පූර්ණය සඳහාවූ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ එස්. එම්. බදුර්දීන් මහතා කියා සිටි අතර විවිධ සිදුවීම්වලින් ජීවිතක්ෂයට පත්වූවන්ට විවිධ ප්‍රමාණවලින් වන්දි මුදල් ගෙවීම සාධාරණ හා නිවැරදි නොවන බවද කියා සිටියේය.

මෙරට තුළ හානි පූර්ණය සඳහා වන්දි මුදල් ගෙවීමේ නිශ්චිත පිළිගත් ක්‍රමවේදයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් මෙන්ම නිලධාරීන් දුෂ්කරතාවට පත් කරවන්නක් බවද හානි පූර්ණය සඳහා වූ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂ එස්. එම්. බදුර්දීන් මහතා කොමිසම හමුවේ පැවැසුවේය.

එබැවින් දේපළ සහ ජීවිත හානිවූවන් සඳහා වන්දි ගෙවීමේදී සැමට සාධාරණත්වය ඉටු වන නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සාක්ෂිකරු කොමිසම හමුවේ අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here