සිනා සලන උන්නච්චිය

    0
    33

    ඊසාන දිග මෝසම් සුළං සමයේ පමණක් වර්ෂාව ලැබෙන, අවුරුද්ද මුළුල්ලේම නියත ඉහළ උෂ්ණත්වයක් සහිත නැඟෙනහිර වෙරළ කලාපය ආසන්නයේ නිසල ජලාශයක් ආස්වාදජනක විනෝද චාරිකාවක් සඳහා කෙතරම් සුදුසු ද යන්න දන්නෝ ඉතා ටික දෙනෙකි. රන්වන් කරලින් නැමී බර වුණු කෙත් යායෙන් වට වූ උන්නච්චිය ජලාශය, ගිණියම් අවු රශ්මිය මැදින් සොරොව්ව මතට ගොඩ වන්නෙකුට ලබා දෙන්නේ මේ මිහිමත දී ලැබිය හැකි සොඳුරුම සැනසීමකි.

    සරුසාර කෙත් යායක් බිහිකරමින්, දහස් සංඛ්‍යාත පිරිසකගේ ජල අවශ්‍යතා සපුරමින්, ආවේණික වෘක්ෂලාතාදියෙන් සමන්විත පරිසර පද්ධතියක් රැක ගනිමින්, පැමිණෙන සංචාරකයකුගේ සිත් සතන් සනසමින්, උණුසුම් මඩකළපුවේ ගිණියම නිවා සිසිල් කරන උන්නච්චිය ජලාශය මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි ආයිත්තමලය, උන්නච්චි ප්‍රදේශයේ පිහිටා තිබේ. මඩකළපුව නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් අතිශය සුන්දර ඉසව්වක පිහිටි සුවිශාල වාරි ව්‍යාපෘතියක් වන උන්නච්චිය ජලාශය මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටි විශාලම වාරි යෝජනා ක්‍රමය ද වේ.

    පතුලේ විශාලත්වය හෙක්ටයාර් 2000 පමණ වන උන්නච්චි ජලාශය කිලෝමීටර් 1.5 පමණ දිගකින් යුත් වේල්ලකින් සමන්විත වේ. මෙම ජලාශය අක්කර අඩි 55,000ක් පමණ ජල ධාරිතාවකින් යුක්ත වන අතර පවුල් 50,000කගේ පමණ ජල අවශ්‍යතා සපුරයි. කිලෝමීටර් 37ක් පමණ දුරක් දක්වා විහිදුණු ජල මාර්ග පද්ධතියක් සහිත උන්නච්චිය ජලාශය මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දරම ජලාශය ලෙස ද නම් දරා සිටී.

    මෙම ජලාශය පිහිටි ප්‍රදේශය උන්නිච්චායි ලෙස හැඳින්වීම නිසා මෙම ජලාශය ද උන්නච්චායි ජලාශය, උන්නච්චිය ජලාශය ලෙසින් හඳුන්වයි. මෙරට බොහෝ ජලාශයන්හි පුරාණය අතීත රජ සමය දක්වා දිව යන මුත් උන්නච්චිය ජලාශය අක්කර 19,000ක ගොවිතැන් වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම වෙනුවෙන් 1900 දී පමණ වැඩ ආරම්භ කරන ලද යෝජනා ක්‍රමයකි. නැඟෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ පළාත පිළිබඳ 1916 පරිපාලන වාර්තාවට අනුව මෙම ජලාශය ප්‍රායෝගික ලෙස නිම කර මුල් වරට පුරවන ලද්දේ 1916 වසරේදීය.

    එතැන් පටන් සොඳුරු ජලාශයක් ලෙස කෙත් වතු සරු කරමින් වන සතුන්ට හා මිනිසුන්ට ජල පහසුව සපයමින් සොඳුරු පරිසර පද්ධතියක් නිර්මාණය කර ගත් උන්නච්චිය ජලාශය පසුකාලීනව ත්‍රස්තවාදී ග්‍රහණයට නතු වූ අතර එහි තිබූ සුන්දරත්වය වියැකී ගොස් අභාවයට පත් විය. නැඟෙනහිර පළාත ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසුව මෙම ජලාශයට යළිත් සංවර්ධනයේ ආලෝකය වැටුණු අතර ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් 2005.12.07 දින මෙම ජලාශයෙහි වැව් බැම්ම නැංවීමේ කටයුතු ආරම්භ කොට 2009.10.30 දින එහි කාර්යයන් නිම කරන ලදී. ඒ සමඟම වැවෙහි තිබූ පැරණි පාලම වෙනුවට මීටර් 6 පරතරයක් සහිත මීටර් 174 දිග නව පාලමක් සහ මධ්‍යම වාන් දොරටුවක් ද ඉදිකරන ලදී. මෙලෙස උන්නච්චිය ජලාශය වඩාත් අලංකාරව හා සුන්දරව ප්‍රතිනිර්මාණය කිරීමත් සමඟ කෘෂි කර්මාන්තයට අමතරව පානීය ජලය ලබා ගැනීම, ධීවර කර්මාන්තය සහ සංචාරක කටයුතු ද ජලාශය අශ්‍රිතව ආරම්භ විය.

    මේ වන විට උන්නච්චිය ජලාශය කෙත්වතු පෝෂණය කරමින්, පානීය ජලය සපයා දෙමින්, මඩකළපුවේ දාහය නිවමින්, සංචාරකයන්ගේ දෑස් පිනවමින් සොබාදහමේම කොටසක් බවට පත් වී තිබේ. කෘත්‍රිම ජලාශයක් වුව ද අද එය සොබාදහමේ නිර්මාණයක් තරමටමට පරිසරය හා බැඳී පවතී. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ලක්ෂණ සහිත අක්කර 67,840 ජල පෝෂක ප්‍රදේශයකින් මේ ජලාශය සමන්විත වන අතර එය වන අලි, පක්ෂි විශේෂ, ජලජ ජීවීන් ඇතුළු ජීවීන් රැසකට වාසස්ථාන සපයයි. මෙම ජලාශය හා ඒ වටා පිහිටි ජල පෝෂක කලාපය නිසා, වියළි කලාපයේ පිහිටිය ද උන්නච්චිය ප්‍රදේශය තුළ නිරතුරු සිසිලසක් පවතී.

    සුන්දර පරිසරයක් පවතින නිසා කෘෂිකාර්මික හෝ පානීය ජල ප්‍රභවයකට වඩා මෙය ප්‍රකට වී ඇත්තේ සංචාරක ගමනාන්තයක් වශයෙනි. පානීය ජල ප්‍රභවයක් නිසා ජලාශයෙහි දිය නෑම තහනම් නමුත් සොරොව්ව ඉදිරියේ ජලය ගලා යන සීමාව සංචාරකයන්ගේ ප්‍රකට දිය නෑමේ ස්ථානයක් බවට පත් වී තිබේ. පිහිනීම හා කුරුල්ලන් නිරීක්ෂණයට පැමිණෙන්නන් ද විශාල වශයෙන් මෙහිදී දැකිය හැකිය. වසරේ ඇතැම් කාලයන්හිදී කුරුළු රෑන් බහුල ලෙස දැකිය හැකි උන්නච්චිය පක්ෂි නිරීක්ෂණයට කදිම ස්ථානයකි. ජලාශය ආශ්‍රිත ග්‍රාමීය ජනතාව ධීවර කර්මාන්තයෙහි නිරත වන අතර මෙහි එන සංචාරකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ද ඔවුහු සැදී පැහැදී සිටිති. ධීවර නිෂ්පාදන හා ගම්මානයෙහි හේන්වලින් නෙළා ගත් කෘෂි භෝගයන් යොදා ගනිමින් ගමේ මිනිසුන් විසින්ම සකස් කරන ප්‍රණීත ආහාර වේලක රස විඳීමට මෙන්ම ජලාශය හා බැඳුණු ගැමි ජීවන රටාව හා මුසුව ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මෙහි පැමිණෙන විමසිලිමත් සංචාරකයකුට උදා කර ගත හැකිය.

    ත්‍රස්තවාදයට නතුව අභාවයට ගිය ද එම කාලයේ පරිසර සුන්දරත්වය තවත් ඉහළ ගියේ පරිසර ත්‍රස්තවාදීන් එකල නොසිටි බැවිනි. එහෙත් ත්‍රස්තවාදයේ උණුසුම නිවී සිසිල් වන උන්නච්චියේ සුන්දරත්වය විඳීමට පැමිණෙන පිරිස ක්‍රමයෙන් ඉහළ යෑම නිසා පරිසර ත්‍රස්තවාදීන්ගෙන් බේරීමට ද උන්නච්චියට සිදු වී තිබේ. උන්නච්චිය සුන්දරත්වය විඳීමට ඇති තැනක් මෙන්ම එදිනෙදා අවශ්‍යතා සපුරන ජල මුලාශ්‍රයක් ද නිසා වඩාත් වගකීම් සහගත පරිසරලෝලීන් ලෙස හැසිරීම අත්‍යවශ්‍ය කරුණකි. එලෙස පරිසර ත්‍රස්තවාදීන් නොවී සැබෑ පරිසර හිතකාමීන් විය හැකි නම් උන්නච්චි ජලාශය, උණුසුම් මඩකළපුව සිසිල් කරමින් ඔබේ හදවත ද සදා සිසිල් කරනු ඇත.

    අසිරු වේදිත කරුණාරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here