අපේක්ෂා වරුසා මැද රිදී රේඛාවලින් හැඩ වුණු එල්.පී.එල්. ගමන

0
6
19 දෙසැම්බර්, 2020

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ වෙනුවෙන් උතුරත් දකුණත් අතර පැවැති සටනේදි පිතිකරුවන්ගේ මෙන්ම පන්දු යවන්නන්ගේත් විශිෂ්ඨ දස්කම් හමුවේ කිරුළ දිනා ගැනීමට යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. හම්බන්තොට සුරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඔවුහු ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් වාර්තා කළහ.

මෙම තරගාවලිය අනාගතය සම්බන්ධයෙන් සුබ පෙර නිමිති පළ කළ තරගාවලියක් සේ සැලකිය හැකිය. එවන් විශිෂ්ට අනාගත අපේක්ෂා මල් ඵල ගැන්වූ මෙම එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ප්‍රවෘත්තිමය පසුවිපමරකි.

කවුරුත් නොසිතූ සටන්කාමීන් හමුවූ අවසන් තරගය

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුයේ, දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 කින් දඹුල්ල වයිකිංස් පිල පරාජය කරමිනි.

ගමනක වඩාත් වැදගත්ම කොටස වන්නේ ආරම්භය ද? අවසානය ද? යැයි කදිමට කියා දුන් ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු අවසන් පූර්ව තරගයකින් අනතුරුව තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

තරගාවලියේ පළමු තරගයත් ජයගනිමින්, මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොළඹ කිංග්ස් කණ්ඩායමේ සියලු උත්සාහය අවසන් පන්දුවාරයේදී ගිළිහුණු උඩපන්දුවෙන් සැඟව ගියේය.

පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ‍කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කරවා ගත්හ.

ක්‍රීඩා ඇමැතිගෙන් යෝජනාවක්

මේ අතර My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් කළ යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉල්ලිමක් කර තිබේ. තරගාවලියේ පෙරමුණේ සිටි කොළඹ කිංග්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ගාල්ල ගැලැඩියේටර්ස් කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳ සඳහන් කර තිබිණි.

තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 8න් 6ක ජය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසි කොළඹ කණ්ඩයාමට ගාල්ල කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමගින් තරගාවලියෙන් ඉවත් විණි. මේ අනුව එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි කොළඹ කණ්ඩායම තරගාවලිය පුරා දස්කම් දැක්වූවද අවසනාවන්ත ලෙස ඔවුන්ට අවසන් මහා තරගය අහිමි වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරයි. අවසන් පූර්ව තරග වෙනුවට අවසන් වටයේ තරග සඳහා නව ක්‍රමවේදයක් (ප්ලේ ඕෆ්) හඳුන්වා දිය යුතු බවත් ඒ පිළිබඳ සංවිධායකයන් අවධානය යොමුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේදී ක්‍රියාත්මක වන ක්‍රමවේදය අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක වෙනුවෙන් අවසන් තරගයට පිවිසීමට අමතරව අවස්ථාවක් ලබාදීම සුදුසු බවද ඔහු එහිදී යෝජනා කරයි. මෙවැනි ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මීට පෙර කොළඹ කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් ද ප්‍රකාශ කර තිබිණි.

බෑ කියද්දී හා කියන අය සමඟ ඉදිරියට

දහසකුත් එකක් බාධක මැද තුන් වතාවක් ප්‍රමාද වූ ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සංවිධානය වුණේ දැඩි සෞඛ්‍ය නීතිරීති යටතේයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ප්‍රබලම පසුබෑම ඇති වූයේ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තරු තරුවක් වු ක්‍රිස් ගේල් ආබාධයක් හේතුවෙන් තමාට තරගාවලියට සහභාගි විය නොහැකි බව පැවැසීමයි. එංගලන්ත සංචාරය සඳහා දකුණු අප්‍රිකානු පිතිකරු ෆැෆ් ඩු ප්ලෙසිස් ද සිය ජාතික කණ්ඩායම සමඟ සිටිය යුතු බැවින් ඉවත්ව ගිය බව තරග සංවිධායකයෝ පැවසූහ.

මේ ආකාරයට බලද්දී තරගාවලිය දියත් වුණේ බෑ කියන අය හැරී යද්දී හා කියන අය එකතු කරගනිමින් ඉදිරියට යාමෙනි. එහෙයින් මෙය දැක්විය හැක්කේ යම් පමණකට අසීරු වෑයමක් ලෙසය.

ආයෝජනයක් වූ එල්.පී.එල්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්විම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් මහ මෙරකි. එය අගය කළ යුතුය. තරගාවලියේ අඛණ්ඩත්වය සෑම වසරකම පවත්වා ගත යුතුයමය. එය දේශීය ක්‍රීඩයකයන්ට ජාත්‍යන්තර අත්දැකීම්‍ වඩ වඩාත් ලබාදෙන තරගකාරී මට්ටමට රැගෙන ආ යුතුය.

එසේම මෙම තරගාවලිය මගින් ලබන වසරේ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රි ලංකා කණ්ඩායමට නායකයෙක් තෝරා ගැනීම අතින් අතිශය වැදගත්ය. ශ්‍රී ලංකා විස්සයි 20 නායක ලසිත් මාලිංග ක්‍රීඩාවෙන් සමුගන්නා කාලය ළංවෙමින් ඇතැයි පෙනෙන්නට තිබේ. එහෙයින් අනාගතයට දැන් සිටම සුදානම් විය යුතුය. තිසර පෙරේරාට හෝ අවසන් පුර්ව තරගයේදි එළියට විසිවු දඹුල්ල වයිකිං කණ්ඩායමේ දසුන් ශානකට මිළඟ විස්සයි 20 නායකත්වය වඩා සමීපය.

තිසර ඉදිරියට ආවේ දක්ෂයන් නිසාද?

තිසර පෙරේරාගේ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම මේ තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම ය. සෙසු කණ්ඩායම්‍වල සංචිත පිළිබඳ අවධානය යොමු කිරිමේ දී සාපේක්ෂව ඔවුන් දුර්වල බව පැහැදිළිය. මේ ක්‍රීඩකයන් තෝරා ගත්ත ආකාරය අනුව යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ලීග් ක්‍රිකට් ක්‍රිකට් යනු ව්‍යාපාරිකයන් අතර දෝලනය වන සෙල්ලමකි. ඒතුළ දක්ෂයන් එළියට විසි වි නිකමුන් ඇතුළට එන අවස්ථාද තිබේ. ලොව පුරා විස්සයි 20 ක්‍රීඩා කරන ඩිල්ෂාන් මුණවීරට දොරටු වැසෙන්නෙත් එවන් පසුබිමකය.

දසුන්ගේ නායකත්වය

මුලික වටයේ තරග අවසන් වනවිට කොළඹ කිංග්ස්, යාපනය ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිං සහ ගාල්ල ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා තිබිණි. කණ්ඩායම් පහක් එක්වු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලයෙන් මහනුවර ටස්කර්ස් කණ්ඩායම ඉවතට විසිවුණේ තරගයේ මුලික වටයෙන්ම ය. ලොකු නම් ඇති ක්‍රීඩකයන් නැතිවුව ද, ඉන්න අය එකමුතු කරගෙන දක්ෂ නායකත්වයක් ඉස්මතු කරගෙන දසුන් ශානක පෙන්වූ තරගකාරිත්වය අමතක කළ නොහැකිය.

ඒ අනුව කණ්ඩායම එකතු කළ හැකි නායකයෙක්, ගන්නා ලද තීරණ බහුතරයක් සාර්ථක වන, ජාත්‍යන්තර තරගවල ඉතා සාර්ථක ලෙස ප්‍රතිවාදීන් මෙල්ල කරගත හැකි නායකයෙක් වටා හෙට දවසේ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම ගොඩ නැගිය යුතුය.

තරගාවලියේ වීරයා – වනිඳු හසරංග (යාපනය ස්ටැලියන්ස්)

තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා – ධනංජය ලක්ෂාන් (ගාල්ල ග්ලැඩියේටර්ස්)

අවසන් තරගයේ විරයා – ෂොයිබ් මලික් (යාපනය ස්ටැලියන්ස්)

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා- ධනුෂ්ක ගුණතිලක (ගාල්ල ග්ලැඩියේටර්ස් /476)

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා – වනිඳු හසරංග (යාපනය ස්ටැලියන්ස් /17)

තරගාලියේ ශතකලභියා – ලෝරි එවන්ස් (කොළඹ කිංග්ස්/ නොදැවි 108)

ඉනිමක කඩුලු පහක් බිඳ දැමුවේ – මොහොමඩ් ආමීර් (ගාල්ල ග්ලැඩියේටර්ස් 26/05)

තරගාවලියේ වැඩිම හයේ පහර – අවිශ්ක ප්‍රනාන්දු (යාපනය ස්ටැලියන්ස්/20 )

කඩුල්ල පිටුපස වැඩිම දවා ගැනිම් – නිරෝෂන් දික්වැල්ල (දඹුල්ල වයිකිං/10)

පිටියේ වැඩිම උඩපන්දුලාභියා – ෂෙහාන් ජයසුරිය (ගාල්ල ග්ලැඩියේටර්ස්/08 )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here