අවසන් මහා තරගය ලොව පුරා මිලියන 185ක් නරඹයි

0
15
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 අවසන් මහා තරගය ලොව පුරා මිලියන 185ක පමණ ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇතැයි සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ විකාශ අයිතිය හිමිව තිබූ ස්වාධීන රූපවාහිනියෙන් පමණක් ප්‍රේක්ෂකයන් ලක්ෂ 65කට ආසන්න පිරිසක් ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 අවසන් මහා තරගය නරඹා ඇත.

මේ තරගාවලිය පසුගිය මස 26 වැනිදා ආරම්භ කෙරුණු අතර, එහිදී සමාරම්භක උලෙළ ලොව පුරා මිලියන 100 ඉක්මවා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නැරඹූ බව අමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණ දත්ත තහවුරු කළේය. ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ උණුසුම එන්න එන්නම වැඩිවීමත් සමඟ අවසන් මහා තරගය වෙත විශාල ආකර්ශනයක් ගොඩනැඟීමෙන් රූපවාහිනිය වටා එක් වූ පිරිස අධික විය.

ඉන්දියාවේ සහ එහි උප මහ­ාද්වීපයේ (බංග්ලාදේශය, භූතානය, මාලදිවයින සහ නේපාලය) රටවල සජීව විකාශය සෝනි සික්ස් සහ සෝනි සික්ස් එච්ඩී ඔස්සේ සිදු වූ අතර, සෝනිලයිව් ඩිජිටල් වෙබ් අඩවිය ඔස්සේ ද සජීවීව විකාශය විය. සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා (එස්පීඑන්), ස්කයි ස්පෝර්ට්ස්, ලංකා ප්‍රිමියර් ලීග් විකාශන අයිතිය ගෙනසිටි අතර, පාකිස්තානයේ ජියෝ සහ පීටීවී ඔස්සේ එරට විශාල පිරිසක් අවසන් මහා තරගය නැරඹූහ.

එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ස්කයි ස්පෝර්ට්ස් වෙතින්, ඕස්ට්‍රේලියාවේ ෆොක්ස් ක්‍රීඩා ඔස්සේ හා දකුණු අප්‍රිකාවේ සුපර්ස්පෝට් වෙතින් මේ තරගාවලිය විකාශය විය. එමෙන්ම නවසීලන්තයේ ස්කයි ස්පෝර්ට් එන්එස්, කැරිබියන් දුපත්වල ෆ්ලෝ ස්පෝර්ට්ස්, කැනඩාවේ විලෝ ටීවී හා හොට් ස්ටාර් කැනඩා, බංග්ලාදේශයේ චැනල් 9 හා ගාසි ටීවී මෙන්ම ඇෆ්ගනිස්ථානයේ රේඩියෝ ටෙලිවිෂන් ඔස්සේ ද ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය විකාශය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here