ඉතිහාසයේ සැඟවූ උපුලිය හමුවෙයි

    0
    36

    නිල් කමල් උපුල් ලියගේ ලවන් තුඩක රස රහසට ලොබ බැඳ එ රස ගී කියවමින් ඇවිද ගියෙමි. එවිට හද මැවුණේ උත්පලායය. ඒ අප දන්නා පුරාණතම උපුල් ලියය. තථාගතයාණන් වහන්සේගේ පාමුල නිවී පහන් ඈ තෙමේ වාම මහ රහත් තෙරණී වන්නීය . එ රහත් උපුලියව සිවුර ගලවා සළලෙකු දුෂණය කළ හද කම්පිත පුවත ඇසිල්ලේ සිහිවිය. දැන් ගල මුදුනට අව් රැල්ල විත් ඝන සැරේට රස්නය. ඒ කෝමළ ලාලිත පිය ගැට පියමැන ශෛල ගුහාවට වැදුණි. මම මහාවංශයේ තිස්නම වන පරිච්ඡේදයේ පහළව – දහසය ගාථා සිහි කළෙමි . ඒ එසේ නම් මම විත් සිටියේ මහානාම මහ රහතුන් වැඩ විසූ ලෙන තුළටය.

    තැනින් තැන අමුතු ලතාවෙන් තනිව රහස් ගැබ සඟවා ගත් ගුහා තලාව දිස්වේ. නිල් ගුවන් ගැබ නීල වා කැරළි ගොමුව නෙත රසින් පුරවයි. මොහොතින් කඩා හැලූනේ මහ වැස්සකි. ශෛල ගුහා පියස්ස මතට ඇද හැලෙන වැසි දිය ගයන්නේ අමුතු ගීයකි. එ ගීයත් ඈ වගේමය. තේරුම් ගත නොහැකි රහසකි. යළිත් උපුල් ලිය සිහිවේ. සැබවින්ම බුදුන්ගේ වාම දහරාවට නායකත්වය දුන් ස්තී‍්‍ර මහ තෙරණිය උපුලිය හෙවත් උප්පලවන්නාය. එවිට එ දහරාවේ පුරුෂ මහ තෙරිඳු කෝළිත හෙවත් මුගලන්ය. එ මුගලන්ද උපුලිය සේම උපුල් පැහැයේය. මම සොයන උපුලිය ද උපුල් පැහැයේය.

    ඒ මියුරු පද අතරින් ඒ නදුන් සිත්තම් මැදින් ඈ සොයන්නට විමි. වඳින්නට කඳු තරණය කරන රටක බලන්නට නඟින එකම කන්ද මේ කන්දය .ඒ සීගිරියයි. සීගිරිය සිරිලක්දිව සිවු වන අගනුවරය. එනමුත් එකම එක රජෙක් විතරක්ම රජ පද සිරිත් දැරූ මෙරට දෙවන අගනුවර සීගිරියයි. එක රජෙක් රජ පදවි දැරූ ඊට පෙර නුවර තම්මැන්නා නුවරය. පුදුමය විජය රජු සිංහල රජ සිරිත ඇරඹු තම්මැන්නා නුවරට දිගු රාජ යුගයක් විය නොහැකි වු සැටිය . එ වගේම සිංහලයා ලෝකේ මුදුනට රැගෙන ගිය සීගිරියට ද දිගු ගමනක් රාජ්‍ය පාලනයේ හිඳින්නට බැරි වූ සැටිය.

    ඒත් විජයත් කාශ්‍යපත් අපට සිටින පරම රමණීය රොමැන්ටික් රජ සිරිත් දෙපළය. මේ රොමැන්ටික පෙම්වතුන් දෙදෙනාටම තම දරුවන්ට කිරුළ උරුම කර දෙන්න බැරි වූයේ පුදුම ලෙසය. ඒ අතින් තමන් තැනු අගනුවරටත් තමන් තැනු දරුවන්ටත් රාජ උරුමය උරුම කර දීමට මේ දෙන්නාම අපොහොසත් වු හද කම්පිත හැඟුම්බර කථා වේදනාවට සිංහලයන් තවමත් ඇහුම්කන්දී ද නැත. මේ කිමදැයි සිතමි . වැස්ස තවත් දිගුව ගී ගයයි . සීගිරි මස්තකය පුරා ඒ දැකුම්කළු සුරතළිය උපුලි කුමරිය දුව පැන යන කළ මේ ගුහා ද්වාරය පාමුලට විත් උන්වහන්සේ බලා හිඳින්නට ඇත. සැබවින්ම රති සුව ඉහිරෙන කස්සපයන්ගේ බෞද්ධ රාජ පව්ව අසබඩට වී ලොවුතුරු දැහැන් වඩමින් උන්වහන්සේ කෙතරම් නිරාමිස ප්‍රීති සුවයක් විඳින්නට ඇත් ද . ඒත් විජයගෙන් පටන් ගෙන මහසෙන්ගෙන් මහාවංශය අවසන් කළ මහානාම තෙරිඳු කස්සප අරභයා වදනක් හෝ කොහේ නමුත් ලියා තිබිය යුතුයැයි සිතේ.

    නිවන සාක්‍ෂාත් කරගත් මේ ඉතිහාසඥයා සීගිරි ආලකමන්දාවේ බවුන් වැඩුවේ නොවේනම් කුමටද? අඩුම තරමින් කැටපත් පවු‍ෙරහි ඉතිහාස කවියක් නොලියා සිටියැයි කෙසේ සිතන්නද? . ඉතිහාසඥ කවියෙකු ගැදි පැදි පද ශූරයෙකු එලෙස නොකොට සිටිය හැකි යැයි කොහොම සිතන්නද? . රහතුන් වියතුන් මග නොයතත් මේ රහතුන්ට එවන් වියත් වත පුරන්නට හේතු වේ . ඒ සීගිරිය තම්මැන්නා නුවර සේ නොව භික්‍ෂු දේශපාලනයේ පළමු ලාංකික ගොදුර වූ නිසාය . සීගිරිය බිඳ දමන්නට අන්තවාදී දේශපාලනික ආගමිකයන්ගේ “පත්තනිකුජ්ජන කර්මය” සිදු කරන්නේ මහ රහත් මහනාහිමියන් එහි වැඩ විසු සමයේය .

    පියා මැරූ නිසා කස්සපයන්ට සඟුන් වහන්සේලා එරෙහි වූ බව කියයි . එසේ නම් තම පියාට ස්ත්‍රී සළු යවා චරිත ඝාතනය කළ දුටුගැමුණු හෝ බෝසත් සිරි සඟබෝ ඝාතනය කළ ගොළු අබා හෝ එක දිගට තම සැමියන් මරමින් රජ අසුන රති යහනක් කළ අනුලාව හෝ රජ බලයෙන් පහ කරන්නට අන්තවාදී දේශපාලනික ආගමිකයන් කි‍්‍රයා නොකළේ මන්ද? පත්තනිකුජ්ජන කර්මය’’ කළ දා පටන් ලක්දිව දේශපාලනය අසුරුවන මේ සඟුන් වහන්සේලාට ලොව මුදුනට යළිත් රට රැගෙන යාමට නොහැකි වූයේ කිමද . ගුහා දොරින් තුරුල් වැහි දිය රටාවකට ගලා වැටේ . එ මද වැහි වතුරින් මුහ සනසා ගෙන සීගිරිය වැව් ඉවුරට විත් සිතන විට යළිත් ඈ සිහි විය.

    සීගිරි කාස්සප මැරුණු පසු ඔහු දුව උපුලියට කුමක් වුවාද? ශෛල මත ඇඳි සිත්තම් ගැන ඇති පදමට වාද සරුකර ඇතද උපුලිය ගැන සොයා බලන තරමට කරුණාවක් හෝ වුවමනාවක් නැත්තේ ඇයි දැයි සිතෙයි. ගල් තලාව පුරා සිත්තම්ව ඇති උපුල් මල් තවමත් නීල නිලිනව මේ කියාපාන්නේ උපුලි කුමරිය ගැන කඳුළු කථාවද? .

    සීගිරි අසිරිය නොහොබිනා අතපෙවීමක් කොට බිම දැමූ අන්තවාදී දේශපාලනික ආගමිකයන්ගේ නොපනත්කමට මහ රහතුන් ඉඩ හළේ මන්ද? විජය කුමරුගේ සිට මහසෙන් කුමරු දක්වා ලක්රාජ කතා වත ලියා තබන විට සිංහලයාගේ පරම සතුරා ලෙස දුටුගැමුණු පෙන්නූ එළාරයන් ගැන පවා මැදහත්ව ලියූ මහානාම තෙරිඳු මේ උපුලි දුව ගැනවත් ලියා නොතැබුවේද? ඒ නිසා සොයන්නට ඉතිහාසයක් ඇති බැව් සිතමින් අතීතකාමයේ දිගු දුරක් ඇවිද යන පරහිතකාමි වෙ‍ෙහස ඇරඹිය යුතුයැයි සිතුණි . ගලින් හෙළට බැස හෙළින් වන වැද “වියවුල්” පොතට ආයේ එ බැවිණි . එ අන්තවාදී දේශපාලන ආගමිකයන් සෙත් පිරිත් කියවමින් දකුණු භාරතයෙන් ගෙන්වා ගත් මුගලන් කුමරු හා කස්සප රජ තෙමේ සටන ඇරඹුතැනය. වියවුලේ පෙත ‘‘වියවුල් පොත’’ ලෙස ඉතිහාස රිද්මයට අනුව පද ගත් වූ ගම් දොරය. එහි ඇති “සෙල් ලිපිය” කි‍්‍ර. ව. අටවන සියවසේය. ඒ කියන්නේ පස්වන සියවසට අයත් ගැටුමේ භුමියට අටවන සියවසේ විත් සතරවන කාශ්‍යප සෙල් ලිපියක් ලියා තබා යන්නේය.

    මේ කථාවේදි සිහි වන්නේ කාස්සප ඇරඹි රාජ නාම සිරිත කෙතරම් ජනපි‍්‍රය වුවාද යන්නය. ඒ කාස්සප නමින් ලක් සිහසුනට රජුන් අට දෙනෙකුම බිහිව ඇති නිසාය. මේ සිතුවිලි වියවුල් පොත දුටු කල උනන විට සිතුණේ මේ කස්සපලා අට දෙනා වෙනම අරන් කියවා බැලිය යුතුය කියාය. කස්සප පැරදවු මුගලන් පෙරමුණට එරෙහිව ඒ සමයේ මතුවන මතවාදි රැල්ල මෙ‍ෙලස අට වතාවක් කස්සපලා අට දෙනෙකුම රජ සිරිතට ඔසවා තබා ඇත්තේ හරිම පුදුම විදියටය.

    මේ අපූරු නාම රැල්ල ගැන සිතමින් සීත මාලිගාවේ උත්තර පස්සයට පිවිසීමි. එවිට දක්‍ෂිණ සීත මාලිගාව යළිත් දැක බලා ගන්නට සිතුණි. දකුණු උතුරු සීත මාලිගාවල නීල උත්පල – ශ්වේත උත්පල ලලිත ලියන් සමඟ කස්සපයන් තැනූ ඉසුරු බර ලෞකික රජ වරුණ සිහිවේ. සැබවින්ම අට වතාවක් කස්සප නමින් රජුන් බිහිව ඇත්තේ මේ ඉසුරු බර යුග මතකයේ ආනන්දයට වන්නට ඇත. මෙ‍ෙලස අපිට යළිත් ඇත්තේ අග්බෝලා නම දෙනෙකු සහ පරාක්‍රමබාහුලා අට දෙනකි. පරාක්‍රමබාහුලා රණ විරුවන්ය . අග්බෝලා සැදැහැවතුන්ය. කස්සපලා ලෞකික රසවතුන්ය .

    මේ කථාව සීත මාලිගාඋතුරු දොරටුවේදී සිහි වු විට වැටහුණේ තවත් මතකයකි. එනම් සිංහලයන්ට අතීතයේ හිමිව තිබී ඇත්තේ දහරා තුනක් බවය. ඒ රණකාම දහරාව සැදැහැවත් දහරාව සහ ලෞකික දහරාවය. ඒත් සිංහලයන් දැන් බොහෝ කලක සිට රණකාම දහරාවද සැදැහැවත් දහරාවද වැළඳගෙන ලෞකික දහරාව බියෙන් සඟවාගෙන ඇත්තේය.

    ඒත් පුදුමය හැමදාමත් ආච්චිලා ද සීයලා ද අම්මලා ද තාත්තලා ද මාමාලා ද නැන්දලා ද අයියලා ද මල්ලිලා ද නංගිලා ද අක්කලා ද ගමේ පන්සලේ ලොකු හාමුරුවන් ද ඉස්කොලේ ලොකු සර්ලා ද සමග විත් සීගිරිය නරඹන නැරඹිල්ලය. අතීත ලලිත ලියගේ පයෝධර ද නිතඹ ද නැබ ද වසාරොද ද උකුල ද ළැම සහ මුවරදද දිගැස් ද බලා එකට විත් එකට ගලින් බැස රාග විරෝධී මත වපුරන වැපිරිල්ලය . ඒත් සිංහලයන් නොදන්නේ තමුන් ලොවේ පුදුම ජාතියක් වූයේ ලෞකික රාජ රැල්ලේ පිහිටෙන් බවය.

    මේ නොදන්නා කම දන්නා කමක් නොවන්නේ මන්ද . මෙ‍ෙහම සිතාගෙන උපුල් වෙහෙර බලන්නට ගියෙමි . එය අද පිදුරංගල රජ මහ වෙ‍ෙහරයි නම් තබා ඇත . තම සාර දියණි උපුලි නමින් කස්සපයන් තැනු වෙහෙරෙහි නමත් මැකී ගොස්ය . මේ වෙ‍ෙහරට ආ විට වැටහුණේ ලක් සිහසුන කාස්සපයන්ගේ දියණි උපුලිය අතට පත් වුවේ නම් සීගිරියෙන් ඹබ්බට ලක් රාජ කතාවත දිව යන දිගු ගමනය. ක‍්‍රි. ව. 898 දී සීගිරිය සිංහ‍ෙලන් අමතක කර දැම්මේය . ඉන් සියවස් හතක් හෙවත් වර්ෂ හත්සිය විසි හයක් ගෙවී ඉංග්‍රීසි ජාතික එච් .ෆෝබස් මෙහි යන තුරා සීගිරිය අමතක වූයේ මන්ද . පුදුමය කි‍්‍ර. ව. නමවන සියවසෙන් මෙපිට කිසිම රජෙක් සීගිරියට පා නොතැබුවේ මන්ද කියාය .

    ඒ අතර තුර සීගිරිය තම මිතුරන්ට පැවරු සීගිරිය හා බැඳුනු එකම රජ සීතාවක රාජසිංහය . ඒ ඔහු ද එකළ අන්තවාදී දේශපාලනික ආගමිකයන්ගේ මාරක විරෝධයට හසු වු රජු වූයේ ද දෛවෝපගත ලෙසය. මෙ‍ෙලස සිතා බලාගෙන ඇවිද යන කළ සිතුනේ සීගිරි මිතුරන් සොයා යන්නටය.

    එවිට කැටපත් පවුරට විත් සීගිරි ලියන් ගැන කාම රාගී පද බැඳි යුරෝපීය මිතුරන් හමුවූයේ ඈත යුගයෙන්ය . ග්‍රීසියෙන් මිසරයෙන් මැසිඩෝනියාවෙන් විත් මේ කවි ගෙතු අපරදිග රසවතුන් ගැන මෙ‍ෙනහි වු විට පුදුමය මෙදත් සීගිරි හා බැඳුණු අපරදිග මිතුරු කැළ සිහිවු විටය. ෆෝබස්, බේල්, මැක්ස්මුලර්, හියු නෙවිල් සහ ‍ෙගෙගර් වන් මෙම යුරෝ කේන්ද්‍රීය ජාන සිංහල රූ සිත්තම පද පොකුරු හා ගෘහ නිර්මාණ මෙපමණට වැලඳ ගත්තේ පුදුම ලෙසය.

    සැබවින්ම මේජර් ෆෝබස් තම සුකුමාල කුමාර ජීවිතය අතහැර සීගිරියට පෙම්බැන්දේය. බේල් ශී‍්‍රමතානෝ සීගිරියට තම දිවියෙන් විසි දෙවසරක් කැප කරමින් මියෙන තුරා ඒ හා කැපවුයේ ප්‍රේමණීයවය. මහත් පුදුමය දනවන්නේ කි‍්‍ර. ව. 1962 දී ලාංකික අමනයන් සීගිරි කුමරියන් තාර ගා දූෂණය කළ විට ඈ කුමරි බඹසර යළිත් පෑදුවේ ඉතාලි පුතෙකු වූ මොරේන්ච්චෝ වූ අසිරියය. මේ කථාව කොතරම් යුරෝ දිග ඇසුරින් පිරී ගියේද යත් ලෝක කලා සමුළු සියල්ලට සීගිරිය රැගෙන ගියේ යුරෝ වියතුන්ය .

    කෙතරම් යුරෝ දේශීන් මේ විස්කමට හද බැඳ ගත්තේ ද යත් උපුලි කුමරිය ගැන අනුවේදනය මතු කරන්නේ ද ඒ අපරදිග සුර කුමරෙකි . ඒ ජර්මන් රාජ සිටු පුත්‍රයෙකු වු වෙඩ්මන් කාට්ර් හිබන්සන්ය. ලක්දිව ලෞකික බුදුදහම සහ තාපස බුදු දහම අතර මතවාදී අරගලයට බිලිව උපුලි ද ඝාතනය වී ඇතැයි ඔහු ශෝක ගීයක් ලියන්නේ යුනෙස්කෝ සංස්කෘතික සඟරාවටය . මෙලෙස සීගිරි කාස්සපයන්ගේ දිගැස් මනකල් දැකුම්කළු දූ කුමරියට ලෝක දෙනෙත යා වන්නේ එලෙසය.

    ඈ වෙනුවෙන් සීගිරි ගල මත නැග සියවස් ගණනාවක් කවි ගෙතු හුදී ජන කවි කිවියන් පද බැඳි පද වැල් දැන් තෝරා බේරා ගත යුතුය. ඒ වෙනුවෙන් ආනන්ද කුමාරස්වාමින්ද, පරණවිතාරනයන් ද, ආචාර්ය බෙනිල් ප්‍රියන්ක සහ රාජා ද සිල්වා මෙන්ම කේ.ජයතිලකයන් ද විජමු ලොකුබණ්ඩාරයන් ද අරුත විනිස කළ පද අරුත් බලන්නට සීගිරි ගලින් බැසවිත් දැහැන් ගතවීමි . එවිට වැටහුනේ සීගිරි කස්සපයන්ට පසු තවත් කස්සපලා සත් දෙනකු රජ වුවද ඒ සියල්ලෝ ද උපුලි කුමරිය ඉතිහාසෙන් මකා දැමූ හැටිය . මෙහෙම සිතුන විට විජය රජුගේ නීල උපුල් පුත්‍ර ජීවහත්ථද කාස්සපගේ උපුලි දුවද ඉතිහාසෙන් මැකී යෑමෙන් මේ රජුන් දෙදෙනාම එකම තාලේ යැයි සිතුනි.

     

    සුජිත් අක්කරවත්ත

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here