එල්පීඑල් ක්‍රිකට් තරගාවලියෙන් රු. කෝටි 112ක් ශ්‍රී ලංකාවට

0
15
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 6කට ආසන්න ආදායමක් (රුපියල් කෝටි 112ක්) ශ්‍රී ලංකාවට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසයි. එයට අමතරව තවත් වක්‍ර ආදායම් මාර්ග රැසක් ද එල්පීඑල් තරගාවලිය හරහා විවෘත වූ බව ඒ මහතා පැවසීය.

“වහලා තිබුණු හෝටල් අපි යළිත් ඇරියා. සියලු ක්‍රීඩකයන්, විනිසුරුවන් ඇතුළු විශාල පිරිසක් තරු පහේ හොටල්වල නවාතැන් ගැනීමෙන් විශාල ආදායමක් හිමි වුණා. විශාල අනුග්‍රාහකයන් පිරිසක් මේ තරගාවලියට එක්ව සිටියා, එමෙන්ම කණ්ඩායම් අයිතිකරුවන් ඇතුළු සෘජුවම සම්බන්ධ පුද්ගලයන්ගෙන් ආදායම් බිහි වුණා. මේක ක්‍රීඩාව පැත්තෙන් වගේම ක්‍රීඩා ආර්ථිකය පැත්තෙන් අතිශය සාර්ථක තරගාවලියක්” වික්‍රමරත්න මහතා පැවසීය.

කොරෝන් වයිරසය හේතුවෙන් මාසයක පමණ කාලයක් ක්‍රීඩකයන් හා තරගාවලියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ජෛව බුබුලක රැඳී සිටි අතර, ඔවුන්ට තරගාවලියෙන් පිටත කිසිදු ස්ථානයකට යෑමේ අවසරය හිමි නොවිණි. එමෙන්ම පිටස්තර කිසිදු අයකු සමඟ ඇසුරක් පැවැත්වීම හෝ මේ පිරිසට තහනම්ව තිබිණි. මේ හේතුවෙන් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයට පහසුවෙන් යා හැකි ෂැංග්‍රිලා, ග්‍රෑන්ඩ් උඩවලව හා හිල්ටන් ඇතුළු හෝටල් එල්පීඑල් තරගාවලියේ නවාතැන් වෙනුවෙන් පිරී ඉතිරී ගියහ. මේ හෝටල්වලට අමතරව කාර්ය මණ්ඩල සඳහා වසා තිබූ තවත් හෝටල් කිහිපයක්ම විවෘත කිරීමට සිදු විය. “එල්පීඑල් දෙවැනි අදියර ලබන වසරේ ජූලි 27 වැනිදා සිට ආරම්භ කරනවා. ඒ තරගාවලිය මෙයට වඩා වෙනස් අත්දැකීමක් වෙයි. අලුත් කණ්ඩායමක් එක් කරනවා. ඒ ත්‍රිකුණාමලය කණ්ඩායමයි. තරග නීතිරීතිවල යම් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිතයි. ඒත් ඒ පිළිබඳ තවම අවසන් තීන්දුවක් ගෙන නෑ. බොහෝ විට අවසන් මහා තරගයට පෙර ‘ප්ලේ ඕෆ් තරගයක්’ පවත්වන්න අපේක්ෂා කරනවා” එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here