එල්පීඑල් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවට අලුත්ම පිටුවක්

0
19
Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ඉතිහාසයට නව පිටුවක් එක්කරමින් පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්පීඑල් තරගාවලිය නිමාවට පත්වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කිරුළ අත් කර දෙමිනි.

ඩුබායිහී පිහිටි අයිජීපී සමාගම සමඟ එක්ව සංවිධාන කළ තරගාවලියට ඉන්දියාවේ My11Circle සමාගමේ අනුග්‍රාහකත්වය හිමිවීමත් සමඟ සාර්ථක තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශවල සහයෝගයෙනි. මේ තරගාවලියේ වැඩි දස්කම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙතින් දක්නට ලැබීම තරගාවලියේ සාර්ථකත්වයට කදිම සාධකයකි.

තරගාවලියේ අනුශූරතාව ගෝල් ග්ලැඩියේටර්ස් පිලට හිමි වූ අතර, තරගාවලියේ වීරයා ලෙස තුන් ඉරියව් දස්කම් දැක් වූ වනිඳු හසරංග (ජැෆ්නා) සහ නැඟී එන ක්‍රීඩකයා ලෙස ධනංජය ලක්ෂාන් (ගෝල්) සම්මාන හිමිකර ගත්හ.

කොරෝනාටත් පහරක්

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසයෙන් මේ තරගාවලියට ද බලපෑම් එල්ල විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුලින්ම මේ තරගාවලිය පසුගිය අගොස්තුවේ 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කළ ද කොරෝනා වසංගතයේ බලපෑම සහ නිරෝධායන ගැටලු හේතුවෙන් එය කිහිපවරක් කල් දැමීමට සිදු විය. අනතුරුව නොවැම්බර් මස දෙවරක් පසුපසට ගිය තරගාවලිය අවසානයේ සියලු බාධක ජය ගනිමින් නොවැම්බර් 26 වැනිදා ආරම්භ විය.

වැඩිම ලකුණු

මේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත් විය. ඔහු තරග 10කදී ලකුණු 476ක් රැස් කළේ අර්ධ ශතක 4ක් සමඟිනි. නොදැවී රැස් කළ ලකුණු 94 ඔහුගේ ඉහළම ඉනිම ලෙස සටහන් විය. ලෝරි එවන්ස් (කලම්බු) තරග 8කදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 289ක් රැස් කරමින් ලකුණුලාභීන් අතර දෙවැනියා විය. අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 278ක් රැස් කිරීමට සමත් වූ දසුන් ශානක (දඹුල්ල) තෙවැනි තැනට පත් විය.

හොඳම ඉනිම

ජැෆ්නා කණ්ඩායම සමඟ තරගයේදී කලම්බු කණ්ඩායමේ ලෝරී එවන්ස් රැස් කළ ලකුණු 108 තරගයක වාර්තා වූ ඉහළම ඉනිම මෙන්ම එකම ශතකය බවට ද පත් විය.

දඹුල්ල පිලට එරෙහි තරගයේදී පළමු පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ලකුණු 3කින් ශතකය අහිමි වූයේ ඉනිමේ ඕවර සංඛ්‍යාව අවසන් වීම හේතුවෙනි. ඔහු නොදැවී ලකුණු 97ක් රැස් කළේ පන්දු 44කිනි.

ග්ලැඩියේටර්ස් පිලේ ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් සහ ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූහ.

අර්ධ ශතක 35ක්

මේ තරගාවලියේදී අර්ධ ශතක 35ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ.

එහිදී ගෝල් පිල සමඟ තරගයේදී කලම්බු පිලේ ඇන්ඩ්‍රි රසල් පන්දු 14කින් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය රැස් කළේය. ධනුෂ්ක ගුණතිලක (ගෝල්) අර්ධ ශතක 4ක්, ලෝරි එවන්ස් අර්ධ ශතක 3ක් (කලම්බු), ඇන්ජෙලෝ පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක (දඹුල්ල), අවිශ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා (ජැෆ්නා) සමඟ කුසල් මෙන්ඩිස් (කැන්ඩි), දිනේෂ් චන්දිමාල් (කලම්බු) අර්ධ ශතක 2 බැගින් රැස් කළහ.

ලණුවට උඩින් පහරවල් 272ක්

මේ තරගාවලියේ ඉනිම 46කදී පිතිකරුවන් වෙතින් වාර්තා වී ඇති හයේ පහර සංඛ්‍යාව 272ක් වන අතර, හතරේ පහර 660ක් ද එල්ල කර තිබේ.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු (ජැෆ්නා) හයේ පහර 20ක්, තිසර පෙරේරා (ජැෆ්නා) හයේ පහර 19ක් සහ ලෝරි එවන්ස් (කලම්බු) හයේ 18ක් වාර්තා කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක (ගෝල්) හතරේ පහර 67ක් එල්ල කරමින් වැඩිම හතරේ පහර සංඛ්‍යාවට හිමිකම් කියන අතර, දිනේෂ් චන්දිමාල් (කලම්බු) හතරේ 35ක්, නිරෝෂන් දික්වැල්ල (දඹුල්ල) හතරේ 32ක් එල්ල කර තිබේ.

වැඩිම කඩුලු

තරග 10කදී ඕවර 37ක් යවමින් කඩුලු 17ක් බිඳ දැමූ ජැෆ්නා කණ්ඩායමේ වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලුලාභියා විය. දඹුල්ල පිලට එරෙහිව ලකුණු 15කට කඩුලු 3ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම විය.

ගෝල් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් තරග 9කදී කඩුලු 13ක් දවාගත් අතර, කයිස් අහමඩ් (කලම්බු) සහ ලක්ෂාන් සඳකැන් (ගෝල්) කඩුලු 12ක් බැගින් බිඳ දමා තිබේ.

හොඳම පන්දු යැවීම

කලම්බු පිල සමඟ තරගයේදී ගෝල් කණ්ඩායමේ මොහොමඩ් අමීර් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගැනීම මේ තරගාවලියේ පන්දු යවන්නකු දැක් වූ ඉහළම දක්ෂතාව විය. ජැෆ්නා කණ්ඩායමේ ඩුආන් ඔලිවර් ලකුණු 44කට කඩුලු 4ක් දවා ගෙන තිබේ.

වැඩිම ප්‍රහාරය

දඹුල්ල කණ්ඩායමේ ළහිරු කුමාර ඕවර 4කදී ලකුණු 63ක් දෙමින් තරගයක වැඩිම ප්‍රහාරයට ලක් වූ පන්දු යවන්නා වූ අතර, දුෂ්මන්ත චමීර (කලම්බු) ලකුණු 58ක්, අසිත ප්‍රනාන්දු (ගෝල්) ලකුණු 56ක් දී තිබේ.

වැඩිම උඩ පන්දු

තරගාවලියේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයා ලෙස ගෝල් කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය ඉදිරියෙන් සිටින්නේ තරග 10කදී උඩ පන්දු 8ක් රැක ගනිමිනි.

තිසර පෙරේරා (ජැෆ්නා) උඩ පන්දු 7ක්, ඇන්ඩ්‍රි රසල් (කලම්බු) සහ ෂොයිබ් මලික් (ජැෆ්නා) උඩ පන්දු 6 බැගින් රැක ගැනීමට සමත්ව තිබේ.

වැඩිම දවා ගැනීම්

දඹුල්ල කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල තරග 9කදී කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 10කට දායක වී තිබේ. ඊට උඩ පන්දු 7ක් සහ ස්ටම්ප් කිරීම් 3ක් ඇතුළත්ය. දිනේෂ් චන්දිමාල් (කලම්බු) දවා ගැනීම් 7ක් (උඩ පන්දු 6, ස්ටම්ප් 1), ටොම් මුවර්ස් (ජැෆ්නා), ජොන්සන් චාල්ස් (ජැෆ්නා) සහ කුසල් පෙරේරා (කැන්ඩි) දායක වී ඇති දවා ගැනීම් සංඛ්‍යාව 6කි.

තරගයේ වීරයා

පළමු වරට සංවිධාන වූ මේ තරගාවලිය යටතේ තරග 23ක් පැවැත්විණි. එහිදී එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වූ අතර, අනෙක් තරගවලදී දෙවරක් බැගින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා සමඟ දිනේෂ් චන්දිමාල් (කලම්බු) සහ දසුන් ශානක (දඹුල්ල) සමත් වූහ.

ඇන්ඩ්‍රි රසල්, දුෂ්මන්ත චමීර, ලෝරි එවන්ස් සහ කයිස් අහමඩ් (කලම්බු), ඇන්ජෙලෝ පෙරේරා, අන්වර් අලි සහ ශමියුල්ලා ශින්වාරි (දඹුල්ල), මොහොමඩ් අමීර්, ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ලක්ෂාන් (ගෝල්), බ්‍රෙන්ඩන් ට්‍රේලර් සහ අසේල ගුණරත්න (කැන්ඩි), ජොන්සන් චාල්ස් සමඟ ෂොයිබ් මලික් (ජැෆ්නා) එක් වරක් බැගින් මේ සම්මානයට හිමිකම් කීහ.

නවකයෝ තිදෙනෙක් පිටියට

ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයෝ රැසක් මේ තරගාවලියට එක් වූහ.

ඒ අතරින් මේ තරගාවලියෙන් විස්සයි20 තරග වරම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබුණේ ක්‍රීඩකයන් තිදෙනකුට පමණි. ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් 19 හැවිරිදි විජයකාන්තන් වියස්කාන්ත්, දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් 20 හැවිරිදි ඩිල්ෂාන් මදුසංක සහ 19 හැවිරිදි කවිඳු නදීෂාන් නවකයන් ලෙස විස්සයි20 පිටියට පිවිසියහ.

ක්‍රීඩකයෝ 15ක් බංකුවේ

මේ තරගාවලියේ කණ්ඩායම් 5 සඳහා ක්‍රීඩකයන් 108 දෙනකු සංචිතගතව සිටි අතර, ඊට දේශීය ක්‍රීඩකයෝ 76ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 32ක් එක්ව සිටියහ. ඔවුන් අතරින් ක්‍රීඩකයන් 15කට එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවීය.

හදිසියේම ගෙදර ගිය අය

මේ තරගාවලියට එක් වූ විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනකුට තරගාවලිය නිමවීමට පෙර යළි සිය රටවල් බලා යෑමට සිදු විය.

පාකිස්තාන ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි (ගෝල්) සහ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක අෆ්ටාබ් අලාම් (දඹුල්ල) පෞද්ගලික හේතු මත තරගාවලිය අතරමැද දී සිය රටවල් බලා යළි පිටත්ව ගිය අතර, තරගාවලියට එක්වීම සඳහා මෙරටට පැමිණි ක්‍රීඩකයන් දෙදෙනකු කොරෝනා වයිරස් ආසාදිතයන් බවට පත් වීමෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූහ. ඒ කැනඩා ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංට සහ පාකිස්තාන ක්‍රීඩක සෙ⁣හයිල් තන්වීර්ටය.


ජැෆ්නා ශූරයන්ට මිලියන 18.5ක්

එල්පීඑල් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 53කින් පරාජය කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ශූරතා කුසලානය සමඟින් රුපියල් මිලියන 18.5ක (රු. 1,850,000) මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා පිල කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 135ක් පමණි.

අනුශූරයන් වූ ග්ලැඩියේටර්ස් කණ්ඩායමට රුපියල් මිලියන 9.2ක් (රු. 9,250,000) මුදලක් හිමිවිය.

මේ තරගයේදී ජැෆ්නා පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක් වූ ෂොයිබ් මලික් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. ඔහු පන්දු 35කින් ලකුණු 46ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය. මේ තරගාවලිය පුරා තුන් ඉරියව් දස්කම් දැක් වූ වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ඔහුට රු. 1,850,000ක ත්‍යාග මුදලක් ද තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා ලෙස නම් කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්ට රු. 370,000ක මුදලක් ත්‍යාග ලෙස පිරිනැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here