ක්‍රීඩා සමාජ හිමි ධන කුවේර කතා වස්තුව

0
6
19 දෙසැම්බර්, 2020

වර්තමාන ක්‍රීඩා ලෝකය කිසිදිනෙක නොසිඳෙන මහා ධන උල්පතක් බඳුය. ඕනෑම ක්‍රීඩාවක් තුළින් ජාත්‍යන්තරයට යෑමට කිසියම් රටක ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට අවස්ථාව ලැබෙන්නේ නම් ඔවුනට මෙම මහා ධන උල්පතින් කිසියම් ප්‍රමාණයකට හිමිකම් පෑමට අවස්ථාව හිමිවෙයි. එහෙත් ඒ වෙනුවෙන් ඔවුන් සිය හැකියාව නිසියාකාරව පෙන්විය යුතුම ය.

මෙම නොසිඳෙන ක්‍රීඩා ධන උල්පතෙන් විපුල ඵල නෙලාගන්නා තවත් පිරිසක් වෙයි. ඒ ලොව පුරා ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින මහා ධන කුවේරයන්ය. විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් උපයා ගනිමින් ධනවතුන් බවට පත්වූ ඔවුන් ක්‍රීඩා ලොවට සම්බන්ධව ඇත්තේ ප්‍රධාන හේතූන් ත්‍රිත්වයක් කරණ කොටගෙන ය.

ඉන් පළමුවැන්න ඔවුන් සතු ක්‍රීඩාව කෙරේ පවතින අසම සම බැඳීමයි. දෙවැන්න වනුයේ ක්‍රීඩා ලෝකය සමඟ බද්ධ වීම මගින් ඔවුන්ට අතිරේක වශයෙන් හිමිවන කීර්ති නාමයේ වර්ධනයයි. තෙවැන්න වනුයේ තමන් විසින් උපයා ගත් මුදල් තවදුරටත් වැඩි වර්ධනය කරගැනීමට ඔවුනට තමන් ආදරය කරන ක්‍රීඩාවම යොදාගත හැකි වීමය. ඒ අනුව ලොව පුරා විවිධ රටවලින්, විවිධාකාරයේ ධනවතුන් විවිධ ක්‍රීඩාවන්හි ප්‍රධානතම කණ්ඩායම්වල හිමිකාරිත්වය තමන් සතු කරගනිමින් ධන උල්පතේ සිහිල විඳ ගනිති.

ෆෝබ්ස් යනු දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන අමෙරිකානු ව්‍යාපාරික සඟරාවකි. මෙම සඟරාව ලොව ප්‍රකට වීමට ප්‍රධාන හේතුවක් වනුයේ එම සඟරාව මගින් ලොව ධනවතුන් පිළිබඳ වාර්තා පළකිරීම හේතුවෙනි. පසුගියදා 2020 වසරට අදාළව ක්‍රිඩා කණ්ඩායම් හිමිකාරිත්වය හිමි ලොව ධනවත්ම පුද්ගලයන් විසි දෙනා පිළිබඳ එම සඟරාව අනාවරණයක් සිදුකර තිබුණේ ය.

මෙම වාර්තාවට අනුව අති බහුතරයක් වන ධනවතුන් ඇමෙරිකාව නියෝජනය කිරීම විශේෂත්වයකි. එසේ වුවත් එහි දකුණු ආසියානු නියෝජනයක් ද මෙම වසරේ වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. ඔහු අන්කවරකුවත් නොව මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු මුකේෂ් අම්බානිය.

ඉහත වාර්තාවට අදළාව ක්‍රීඩා කණ්ඩායමක හිමිකාරත්වය දරන ලොව ධනවත්ම පුද්ගලයන් විසිදෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ එකම පුද්ගලයා අම්බානිය. අනෙක් බහුතරයක්ම ඇමෙරිකානු පාපන්දු, පැසිපන්දු සහ අයිස් හොකී කණ්ඩායම් හිමිකරුවෝ ය.

මෙමගින් තවත් කරුණක් පැහැදිලි ය. එනම් ක්‍රීඩාව වාණිජ්‍යකරණයවීම පිළිබඳ ඇමෙරිකාව සතු බලපෑම් ය. බොහෝ ක්‍රීඩා බලධාරීන් සිය ක්‍රීඩා ඇමෙරිකාව හා චීනය තුළ ජනප්‍රිය කරමින් ව්‍යාප්ත කරන්නට උත්සහ කරන්නේ මේ නිසාවෙනි. ඊට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද අයත්ය.

මේ වනවිට 20-20 ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව රටවල් කීපයකම වාර්ෂික ලීග් තරග මාලාවන් පැවැත්වේ. ඊට අලුතිනම් එක්වූයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි. එහිදීත් කණ්ඩායමේ හිමිකරුවන් බවට පත්වූයේ ධනවතුන්මය.

 

ස්ටීව් බෝල්මර්

(ඇමෙරිකානු ඩොලර් බිලියන 52.7)

බෝල්මර් අමෙරිකාව තුළ සැලකෙන්නේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක් හා ධනපතියෙක් වශයෙනි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ ධනවත් භාවය අමෙරිකානු ඩොලර් බිලියන 52.7 කි. ඔහු 2000-14 කාලය තුළ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ය. ලොව ධනවතුන් අතර දසවැන්නා ද වෙයි. බිල් ගේට්ස් බෝල්මර් මයික්‍රොසොෆ්ට් සමාගමට බඳවාගෙන ඇත්තේ 1980 වසරේදී ය. මේ අතර ඇමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන ලොස් ඇන්ජලීස් ක්ලිපර්ස් හිමිකරුවා වනුයේ ඔහු ය.

 

මුකේෂ් අම්බානි

(ඇමෙරිකානු ඩොලර් බිලියන 36.8)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකරුවා වන මුකේෂ් ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ ද ධනවතා සේ සැලකෙයි. 2013,15,17,19 හා 2020 යන වසරවල අයි.පී.එල්. ශූරතාව දිනුවේ අම්බානිගේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි. මෙම කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග වන අතර එහි පුහුණුකාරිත්වය දරන්නේ මහේල ජයවර්ධනයි.

 

ෆ්‍රෑන්කොයිස් පිකෝල්ට්

(අමෙරිකානු ඩොලර් බිලියන 27)

ප්‍රංශයේ සුප්‍රකට ස්ටාඩ් රෙනෙයි පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා ය. එරට වෙසෙන ප්‍රබල ව්‍යාපාරික ධනවතකු වශයෙන් ප්‍රචලිත ෆ්‍රෑන්කොයිස් සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිකරණය සම්බන්ධයෙන් කීර්ති නාමයක් උසුලන සමාගමකි.

 

ඩියිට්රිට් මාටෙසායිට්ෂ්

(අමෙරිකානු ඩොලර් බිලියන 16.5)

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකි. ලෝ ප්‍රකට රෙඩ්බුල් සමාගමේ සම නිර්මාතෘවරයා ය. එමෙන්ම එහි සියයට 49ක කොටස් ප්‍රතිශතයක හිමිකරුවා ය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද ප්‍රධාන අනුග්‍රාහකයකු වශයෙන් කටයුතු කරයි. ෆෝමියුලා මෝටර් රථ කණ්ඩායමක හා නිව්යෝර්ක් රෙඩ් බුල් පාපන්දු කණ්ඩායමේ හිමිතරුවා වනුයේ ද ඔහු ය.

හාසෝ ප්ලැට්නර්

(ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6)

ජර්මානු ජාතික ධනකුවේරයකි. ඇමෙරිකානු අයිස් හොකී කණ්ඩායමක් වන සැන් ජෝසේ හර්ක්ස්හි හිමිකරුවාය.

 

ඩේවිඩ් ටෙපර්

(ඇමෙරිකානු ඩොලර් මිලියන 12)

කැරොලිනා පැන්තර්ස් සහ චාර්ලට් පාපන්දු හිමිකරුවා වන ටෙපර් ඇමෙරිකානු ව්‍යාපරිකයෙකි.

 

රෝවන් එබ්රාමොවිච්

(අමෙරිකානු ඩොලර් බිලියන 11.3)

රුසියානු ජාතික ව්‍යාපාරිකයකු වන රෝවන් එංගලන්තයේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චෙල්ෂි පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා ය.

 

පිලිප් ඇන්සුට්ස්

(ඇමෙරිකානු ඩොලර් බිලියන 11)

තවත් සුප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාර අතර ක්‍රීඩා, පුවත්පත් වැනි ව්‍යාපෘතීන් ද වෙයි. ලොස් ඇන්ජලීස් කිංග්ස් නමැති අයිස් හොකී කණ්ඩායමේ හිමිකරුවා වනුයේ ඔහු ය. ඊට අතිරේකව ලොස් ඇන්ජලීස් ගැලක්සි පාපන්දු කණ්ඩායම ද ඔහුට අයත් ක්‍රීඩා සමාජ අතර වෙයි.

ස්ටැන්ලි ක්‍රොන්කේ

(ඇමෙරිකානු ඩොලර් බිලියන 10)

ක්‍රීඩා හා දේපළ වෙළෙඳාමට සම්බන්ධ ව්‍යාපාරිකයකු වශයෙන් සැලකෙන ඇමෙරිකානු ව්‍යාපාරික ධනවතෙකි. එංගලන්තයේ ආර්සනල් පාපන්දු සමාජය, ඩෙන්වර් නගෙට්ස් පැසිපන්දු කණ්ඩායම, ලොස් ඇන්ජලීස් රැට්ස් ඇමෙරිකානු පැසිපන්දු, කොලරාඩෝ ඇවලාන්ච් – අයිස් හොකී සහ කොලරාඩෝ රැඩේස් නමැති පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා ය.

 

ජෝශප් ට්සායි

(ඇමෙරිකානු ඩොලර් මිලියන 10)

අලිබබා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන මොහු බෘකක්ලික් මොට්ස් පැසිපන්දු කණ්ඩායමේ හිමිකරුවා ය.

ෆෝබ්ස් සඟරාව විසින් මෙවැනි ප්‍රධාන ධනපති ක්‍රීඩා සමාජ හිමිකරුවන් විසි දෙනෙක් ගැන ලැයිස්තුවක් සකසා තිබේ. එහෙත් බොහෝවිට සෙසු ක්‍රීඩා සමාජ හිමිකරුවන් වැඩි සංඛ්‍යාවක් පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ආයෝජනය කරනු ලැබූ ව්‍යාපාරිකයන් ය. මේ ආයෝජනයන් මගින් පැහැදිලි වන්නේ වර්තමාන ක්‍රීඩාව තුළ ඇති ආර්ථික කාරණාවන් ය. මෙම ධනපති ක්‍රිඩා සමාජ හිමිකරුවන් කියන්නේ ද ඒ පිළිබඳ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here