කොවිඩ් මැද යළි නැඟිටින සංචාරක කර්මාන්තය

    0
    12

    සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර PCR පරීක්ෂණය සිදු කරනු ලබන අතර, ඔවුන් වෙනුවෙන් එක් මාසයකට පමණක් වීසා ලබාදීමක් සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය මඟිනි. මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අදාළ ගුවන් තොටුපළවලදී PCR පරීක්ෂණයට ලක් නොකර එම සියලුදෙනා තම හෝටල වෙත ගෙන යන අතර, PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ තමා නවාතැන් ගන්නා ‍සංචාරක හෝටලය තුළදීමය. මෙම සංචාරක හෝටල් කලාපයක් ලෙසින්ම සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඇති අතර, යම් හෙයකින් යම් සංචාරකයකු PCR පරීක්ෂණයෙන් පොසිටිව් තත්ත්වයට පත් වුව හොත් ඒ ආශ්‍රිතවම පවතින එක් සංචාරක හෝටලයක් වෙන් කර ඇත්තේ ඔවුන් වෙනුවෙන් නිරෝධායන කටයුතු උදෙසාය. 

    විදෙස් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති බලවත්ම උවදුර වන්නේ කොවිඩ් වසංගතයයි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට විශාල ආදායම් මාර්ගයක් ගෙන දුන් සංචාරක කර්මාන්තය බිඳවැටෙමින් තිබේ. එලෙස අවදානමට ලක්ව පවතින සංචාරක කර්මාන්තය සක්‍රිය කිරීම සඳහා ගෙන එන විශේෂිත වූ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.

    වර්තමානයේදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට ඇති වූයේ සුළුපටු හානිකර තත්ත්වයක් නොවේ. සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා එයින් ලැබීමට තිබූ ආදායම මෙන්ම ඒ ආශ්‍රිත රැකියා සඳහා යොමුව සිටින්නෝද අර්බුද රැසකට මුහුණ දුන්හ. තනි තනිව ගත් කල එය පෞද්ගලික කාරණාවක් වුවද සමස්තයක් ලෙසින් ගත් කල එහි බැරෑරුම් ගැටලුව මතුව ආවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටය. 2018 වසරේදී සංචාරකයන් මිලියන 233ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීම නිසා එයින් ‍අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආදායමක් ලබන්නට හැකි විය. නමුත් ඉන්පසු වසරේදී පාස්කු ප්‍රහාරය හේතු කරමින් සංචාරක කර්මාන්තයේ බිඳවැටීම ආරම්භ වූ අතර, 2020 වසරේදී සිදු වූයේ ද කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් සංචාරක කර්මාන්තයේ කිසිදු දියුණුවක් නොලැබීමයි. එහෙත් මෙම තත්ත්වය තුළ සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇති කිරීමේ අභිලාෂයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය මුල් කර ගනිමින් විශේෂිත වූ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් කෙරිණි. මෙහිදී මූලික අවධානය යොමු වූයේ රුසියානු ජාතිකයන් සම්බන්ධවය.

    රුසියාවෙන් ලක්ෂයක්

    රුසියානු ජාතිකයන් සංචාරක කටයුතු සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වන අතර, පසුගිය සංඛ්‍යාලේඛනයන්ට අනුව එක් වර්ෂයකදී රුසියානු ජාතිකයෝ මිලියන 20 – 25ක ප්‍රමාණයක් විදේශීය රටවල සංචාරක කටයුතු සඳහා යොමු වෙති. මේ අතුරින් බහුතරයක් ශ්‍රී ලංකාව වෙත ද පැමිණෙන අතර, දළ වශයෙන් ගත් කල එය වසරකට ලක්ෂයකට වඩා වැඩි අගයක් ගනී. 2006 වසරේ සිට සංචාරකයන් ඇදී එ්මේ ක්‍රමවේදය මත එම වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 4500ක් වූ අතර, 2014 වසර වන විට එය 1,20,000කට වඩා වැඩි අගයක් ගත්හ. එම විශේෂිත වූ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ සඳහා රුසියන් ජාතිකයන් මූලික කර ගනු ලැබුවේ එම කරුණු නිසාය. මේ ආකාරයට රුසියන් ජාතිකයන් වැඩි ප්‍රමාණයක් ලංකාවට පැමිණීමේ ක්‍රමික වර්ධනයක් සිදු වූයේ උදයංග වීරතුංග මහතා එහි තානාපතිවරයා ලෙසින් පත් වූ පසුය.

    මේ වැඩසටහන මඟින් ජාත්‍යන්තරයට ගෙන යෑමට අවැසි වූ පණිවිඩය වූවේ කොවිඩ් වසංගත තත්ත්වය පැවතිය ද ලංකාවේ සංචාරක කටයුතු සඳහා එය බාධාවක් නොවන බවයි. මන්ද විදෙස් සංචාරකයන් නොපැමිණීම හේතු කර ගනිමින් ලංකා‍වේ මූලිකම ආදායම් මාර්ගය වූ සංචාරක කර්මාන්තය බිඳවැටීම ලංකාවේ ආර්ථිකයට දැඩිව බලපාන බැවිනි. එහෙත් අවාසනාවකට මෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී එම කටයුතු සාර්ථකව කර ගැනීමට නොහැකි වූයේ නැවත වරක් කොවිඩ් වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ හිස එස වූ බැවිනි. එහෙත් එම කටයුත්ත යළිත් වරක් විශේෂිත වූ ක්‍රමවේදයන් මත ඉටුකිරීමට කටයුතු මේ වන විටත් සූදානම්ව පවතී. මේ සඳහා රුසියානු ගුවන් සමාගම් 4ක් කැමැත්ත පළ කර සිටීම අගය කළ යුත්තකි.

    ඒ අතුරින් Aeroflot ගුවන් සේවය සතියකට වාර තුනක් පැමිණීමට නියමිත අතර, ඔවුන් තෝරාගෙන ඇති දිනයන් වන්නේ අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා යන දිනයන්ය. ඔවුන් සඳහන් කර ඇති අන්දමට මගීන් 335ක් පමණ වරකට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබේ. අනෙක් ගුවන් සේවය වන්නේ Sky up ගුවන් සේවයයි.

    විධිමත් සැලැස්මක්

    මෙම ගුවන් සේවය මඟින් මගීන් ගෙන එනු ලබන්නේ සඳුදා, සෙනසුරාදා, අඟහරුවාදා, සිකුරාදා යන දිනයන් හිදී මත්තල ගුවන් තොටුපළ වෙතයි. Ukrain Airline මඟින් ද මගීන් ගෙන එනු ලබන්නේ මත්තල ගුවන් තොටුපළට වන අතර, වරකට මගීන් 215 පමණ ඔවුන් ගෙන එනු ලබන්නේ සතියේ සෙනසුරාදා, අඟරුවාදා යන දිනයන්වලදීය. Scat ගුවන් සේවය මඟින් ද මගීන් 235ක් පමණ ගෙන එනු ලබන්නේ රුසියාවේ අල්මතී සිටයි.

    කෙසේ වෙතත් සංචාරකයින් පැමිණීමට පෙර පැය 72කට පෙර PCR පරීක්ෂණය සිදු කරනු ලබන අතර, ඔවුන් වෙනුවෙන් එක් මාසයකට පමණක් වීසා ලබාදීමක් සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය මඟිනි. මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අදාළ ගුවන් තොටුපළවලදී PCR පරීක්ෂණයට ලක් නොකර එම සියලුදෙනා තම හෝටල වෙත ගෙන යන අතර, PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ තමා නවාතැන් ගන්නා ‍සංචාරක හෝටලය තුළදීමය. මෙම සංචාරක හෝටල් කලාපයක් ලෙසින්ම සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඇති අතර, යම් හෙයකින් යම් සංචාරකයකු PCR පරීක්ෂණයෙන් පොසිටිව් තත්ත්වයට පත් වුව හොත් ඒ ආශ්‍රිතවම පවතින එක් සංචාරක හෝටලයක් වෙන් කර ඇත්තේ ඔවුන් වෙනුවෙන් නිරෝධායන කටයුතු උදෙසාය. මෙම ක්‍රියාදාමය ආරම්භ වීමත් සමඟ සංචාරක හෝටල්වල සේවය කරන පිරිස් ද එම හෝටලය තුළම සිටිය යුතු අතර කිසිදු මොහොතක ඔවුන් පිටස්තර සමාජයත් සමඟ එක්නොවී සිටිය යුතු බවට තීරණවලට පැමිණ තිබේ.

    මෙම විශේෂ සංචාරක ප්‍රවර්ධන කටයුත්ත සිදු කිරීමට නියම කර ඇති දිනයන් වන්නේ දෙසැම්බර් මස 29 දින සිට ජනවාරි 19 දක්වා කාලයන්ය. මෙම සංචාරකයන් තම ර‍ටේදී පැය 72 කට පෙර කරනු ලබන PCR පරීක්ෂණයෙන් නෙගටිව් තත්ත්වයට පත්වුවහොත් සංචාරක වීසා නිකුත් කරන අතර, ඔවුන් වෙනුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ද ආවරණය වන අයුරින් පූර්ණ සෞඛ්‍ය රක්ෂණයක් ලබා දේ.

    මේ යටතේ සංචාරකයන් පැමිණි පසු එක්කර ඇති විශේෂිත වැඩසටහන් යටතේ චාරිකා තුනක් සංවිධානය කර තිබේ. ඉන් එක් චාරිකාවක් වන්නේ පින්නවල අලි අනාථාගාරය නැරඹීමයි. මේ යටතේ සංචාරක හෝටලයේ සිට අලි අනාථාගාරයට යන මාර්ගයේ කිසිදු තැනක බස් රථය නැවැත්වීමක් සිදු නොකරන අතර, එයින් සංචාරකයින් දේශීය පිරිස් සමඟ සම්බන්ධතාවයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වගබලා ගනී. තව ද අනාථාගාරයේ කොටසක් විදේශීය සංචාරකයින් නරඹන අවස්ථාවේදී එම කොටස දේශීය සංචාරකයන්ට වසා දමා තහනම් කලාපයක් බවට පත් කරනු ලබයි. එයින් සම්පූර්ණ වශයෙන්ම විදේශීය සංචාරකයන් හා දේශීය සංචාරකයින් මුණ නොගැසීමෙන් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය ආරක්ෂාව නිසි ආකාරයෙන් පවත්වා ගැනීමයි.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක්

    මෙහි වැඩසටහන් අංක 2 යටතේ ගාලු නගරයේ චාරිකාවක් සිදු කරනු ලබන අතර, මෙහිදී ද ප්‍රධාන මාර්ගයේ බස් රථ නැවැත්වීමක් සිදු නොකරන අතර සංචාරකයන් බස් රථවලට නංවාගැනීම සිදු කරනු ලබන්නේ කොග්ගල, අහුන්ගල්ල සහ බෙන්තොට පිහිටි සංචාරක හෝටල්වලදීය. මේ යටතේ කැස්බෑ පැටවුන් බෝකිරීමේ මධ්‍යස්ථානය, අම්බලන්ගොඩ රූකඩ හා වෙස් මුහුණු නිෂ්පාදන කර්මාන්තශාලා නැරඹීම, ගාලු කොටුව නැරඹීම ආදිය ඇතුළත් වේ. තෙවැනි චාරිකාව වෙන්ව ඇත්තේ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමටය. මෙම චාරිකා අවසානයේදී රියැදුරු මහතුන් හා මාර්ගෝපදේශකයන් ස්වයං නිරෝධායන කටයුතුවලට ද යොමුකිරීම සිදු කරනු ලබයි. එමෙන්ම සංචාරකයන් නවාතැන් ගන්නා හෝටල තුළ අවම වශයෙන් මාර්ගෝපදේශකයින් තිදෙනෙකු හෝ ඇතුළත් විය යුතු බවට සංචාරක හෝටල් සඳහා දැනුම් දී තිබේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය ගොඩනැඟීම වෙනුවෙන් මූලික ප්‍රයත්නය ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ වුව ද එය ‍ඉටුකර ගත නොහැකි වූයේ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙනි. එහෙත් දෙවන වර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ පෙරටත් වඩා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මතය. විදෙස් සංචාරකයින් පැමිණීම තුළ රට අනාරක්ෂිත වනවා යයි මහජනතාව තුළ මතයක් පැතිර ගිය ද නිසි පිළියම් මත ඒවා සිදු කළහොත් කඩාවැටෙමින් තිබෙන සංචාරක කර්මාන්තය තුළින් යළිත් වරක් අහිමිව ගිය විශාල මුදල් ආදායමක් ලබාගත හැකි වනු ඇත. මේ ඒ වෙනුවෙන් ඇති හොඳම හා මුල්ම අවස්ථාවයි.

    රජිත බස්නායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here