ගිහි ඇඳුමේ පළිරෝධ සහ සිවුරේ අනුසස්

    0
    29

    පසුගිය ලිපියෙන් අප අවධාරණය ක‍ළේ ග්‍රන්ථකරණයේ අනුසස් පිළිබදවයි. සමාජයේ විවිධ තරාතිරම්වල වෙසෙන අවිවේකී ජනයාට විවෙකී විටෙක කියවා ධර්ම ඥානය දියුණු කර ගැනීම ගැන එහිදී සදහන් විය. අද ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ ගිහි දිවියේ දුක් කම්කටොළු සහ පැවිදි දිවියෙහි අනුසස් පිළිබද පූජාවලී දෙවන පරිච්ඡේදයෙහි සදහන් ලස්සන විවරණයකි. ගිහි දිවිය කිසිදා සැපක් නම් නොවන බව ඕනෑම කෙනෙකුගේ මතයයි. බකිංහැම් මාලිගාවෙහි වෙසෙන මහ රැජින ද වෙසෙනුයේ බොහෝ සංතාප මධ්‍යයේ විය යුතුය. ඩයනාගේ හදිසි මරණය එදා රජ ගෙදර ද සසළ කළෙහිය. අවශේෂ ගිහි ගෙවල් පිළිබද කවර කථාද? සම්බාධ නැති ගැටුම් නැති දුක් නැති ශෝක නැති ගිහි ගෙදරක් මෙම ලෝකයේ නොව පර සක්වලවත් නැත.

     

    සම්බාධ තරමක් හෝ අඩු තැනක් ලෙස බුදු හිමියන්ගේ නිර්දේශය වූයේ පැවිදි දිවියයි. පැවිදි දිවිය තරම් සරල නිදහස් දිවියක් මේ තුන් ලෝකයෙහි ම නැත. ගිහි දිවියෙහි ඇති කිසිදු සම්බාධයන් මෙහි නොමැත. ගිහි දිවියෙහි බර මොනරෙකුගේ පිල්බරට සමාන වන අතර පැවිදි දිවිය දියේ සැහැල්ලුවෙන් පීනා යන හංසයෙකුට උපමා කළේ එබැවිනි.

    මිට අදාළ වැදගත් විග්‍රහයක් පූජාවලි කතුවරයා අපට ගෙනෙන්නේ බුදු හිමියන්ගේ බෝසත් ආත්ම විවරණයේදීය. සුමේධ තවුසා පිළිබද තොරතුරු අපට ලැබෙන්නේ දීපංකර නියත විවරණයේ ය. මහණ වනු කැමති සුමේධ තවුසන්ට මග කියන්නේ ද තවුස් පිරිකර පුදනු ලබන්නේ ද සක් දෙවිඳු විසිනි. ඒ මෙහොතෙහි තවුසාණන් විසින් තමන් ඇඳ සිටි ගිහි ඇදුමෙහි දොස් නවයක් දකී.

    මේ සළුව මාහැඟි බව තපසට එක් පළිරෝධයෙක. අනුන් නිසාම උපදවා ගැන්ම එක් පළිරෝධයෙක. වහා කිළිටි වීම එක් පළිරෝධයෙක. මාළු වීම එක් පළිරෝධයෙක. සිතූ විට නොලැබිම එක් පළිරෝධයෙක. තපසට අනංග වීම එක් පළිරෝධයෙක. සතුරන්ට සාධාරණ වීම එක් පළිරෝධයෙක. ඇදීමෙන් මද වඩනා බව එක් පළිරෝධයෙක. ලෝබ වඩනා බව එක් පළිරෝධයෙක.

    පූජාවලි කතු බුදුපුත් හිමියන් දක්වන මෙම කරුණු අදටත් අදාළය. ගිහි ඇඳුම සොයා ගැනීම දුෂ්කරය. කවර තරම් විසිතුරු ඇඳුම් මෝස්තර දවසින් දවස වෙළෙද පොළ ආක්‍රමණය කරන විට ඒවා අත්පත් කර ගැනීම අපහසුය. වහාම සේදිය යුතු වෙයි එමෙන්ම සැම ගිහි ඇඳුමක්ම පාහේ මදය මානය වැඩි කරවයි. එසේම තණ්හාව වැඩි කරලන්නේ ද ඇදුමමය. එහෙත් මේ කිසිදු පළිරෝධයක් සිව්රට නැත.ඇතැම් විට සිවුරට පළිරෝධය වන්නේ එය පොරවන්නාගේ අනුචිත බව අපවිත්‍ර බව නොගැළපෙන බව සහ කොටින්ම කිවහොත් පව්කාර බවය. සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයෝ අසූ හාර දහසක් මිනිසුන් මැරූ කෘර චණ්ඩාශෝකයන්ගේ වික්ෂිප්ත මනස සන්සුන් කළෙහුය. දහසක් මිනිසුන් මරා දැමූ අගුල්මල් තෙරුන් මේ සිවුර දරා ගත් විට ප්‍රසව වේදනාවෙන් හඩන මවක ඉදිරියේ හද සසළ කරන්නට සමත් විය. ඒ පිංබර වුන් සිවුර දරා ගත් විට වෙනසයි. පුජාවලියෙහි සිව්රේ අනුසස් දොළහක් විවරණය වෙයි. කවරහ යත්,

    මේ මාහැගි නොවීම එක් ගුණයෙක. අනුන්ගෙන් උපදවා ගන්නක් නොවීම එක් ගුණයෙක. ස්ව හස්තයෙන් ම උපදවා ගත හැක්කේ එක් ගුණයෙක. වහා නොකෙළෙසෙන්නේ එක් ගුණයෙක. සොරුන් මීට ලෝභ නොකරන්නේ එක් ගුණයෙක. ගිය ගිය තැන සුලභව ලැබෙන්නේ එක් ගුණයෙක. තපසට ඉතා සරු බව එක් ගුණයෙක. අනුභව කරන්නාට කෙළෙස් නූපදීම එක් ගුණයෙක. ඉතා අල්පේච්ඡ බව එක් ගුණයෙක. අනුභවයට ලඝු වීම එක් ගුණයෙක. අනුන්ගෙන් නොඉල්වා ලැවීම එක් ගුණයෙක. නට කළ ලෝභ සිත් නූපදීම එක් ගුණයෙක.

    මේ අනුව සිවුර මේ ලෝකයේ නොබැදුණු වස්ත්‍රය වෙයි. මීය වඩා නිදහස් වස්ත්‍රයක් තවත් වෙයිද? සිවුරේ වටිනාකමක් නැත. එයට වටිනාකම එක් වන්නේ සුදුස්සෙකු එය පොරවා ගත් විටය. සිවුරක් මසා ගන්නට තමන්ටම හැකි වෙයි. පැරණි සම්ප්‍රදාය වුයේ එයයි. සිවුරක් ලෙහෙසියෙන් කෙලෙසා ලන්නට ද නොහැකිය. සොරුන් කිසිදා සිවුරු පැහැර ගෙන යන්නේ ද නැත. එසේම රාග දෝස මෝහාදී කෙළෙස් දුරු කරලීමට උචිතම වස්ත්‍රයයි. පරිහරණය ඉතා පහසු වන සිවුර අල්පේච්ඡ බවේද සංකේතයයි. භික්ෂුවට ඇත්තේ තුන් සිව්රයි. දෙපට සිවුර, තනිපට සිවුර හා අදන සිවුරයි.

    සිවුරක් දිරා ගිය විට එය භාවිතයෙන් ඉවත් නොකරයි. ආනන්ද හිමියන් කොසොල් රජුට කළ විග්‍රහයක දැක්වෙන්නේ පොරවන සිවුර පරණ වූ කල්හි යහනේ ඇතිරිල්ල බවට පත් කර ගන්නා බවයි. අනතුරුව බිම බුමුතුරුණක් කර ගන්නා බවයි. ඉන්පසු කුටියේ පාපිස්නාවට ගන්නා බවයි. එය දිරා ගිය කල දැලි පිහියෙන් කුඩාවට කපා මැටි සමග අනා කුටි සාදා ගන්නා බවයි. ලෝකයේ එලෙස පරිහරණය කෙරෙන වෙනත් ඇඳුමක් තවත් ඇත්ද? ප්‍රතිචක්‍රීකරණ සංකල්පය මුලින් ම ලොවට අනාවරණය කළෝ භික්ෂුන් වහන්සේලාය. නාගරික පංසලක මෙම කාර්ය මෙලෙස සිදු නොවූව ද ඈත ගමක හෝ අරණ්‍යයක තවමත් මෙම සංකල්පය දැකිය හැකිය. මේ අනුව පුජාවලිය විග්‍රහය රසබරය.( ලබන සතියට )

     

     මහාචාර්ය 
    අගලකඩ සිරිසුමන හිමි
    සිංහල අංශය 
    කොළඹ විශ්වවිද්‍යාලය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here