තවමත් නොවිසඳුණු පළාත් සභාවල ඉරණම

    0
    32
    Author(s): 
    ධනුෂ්ක ගොඩකුඹුර

    පළාත් සභා ඡන්දය කඩිනම් කිරීමට පක්ෂව මෙන්ම විපක්ෂවත් මත ඉදිරිපත් වීමෙන් පෙනී යනුයේ මේ ආණ්ඩුව එක් අයකුගේ තීරණයක් මත පමණක් පදනම්ව කටයුතු නොකරන විවිධ අදහස්වලට ගරු කරන ආණ්ඩුවක් බවය. එපමණක්ද නොව පළාත් සභා අහෝසි කළ යුතු යැයි හඬ නඟන්නට පවා ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට දැන් අවස්ථාව හිමිව තිබේ. මේ සියලු අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව වඩාත් සුදුසු තීරණයක් ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි. 

    පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් නැවත වරක් කතාබහට ලක්වෙමින් වෙමින් තිබේ. ඒ අලුතෙන් පත් කෙරුණු මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයන් පසුගිය සතියේ හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයත් සමඟිනි. අග්‍රාමාත්‍යවරයා කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දී තිබුණේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ ඉඩකඩ සොයා බලන ලෙසය. පැරැණි හෝ නව ක්‍රමවේදයකට අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකි බවත් අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේය. මෙවර පළාත් සභා ඡන්ද විමසීම පැරැණි ක්‍රමයටම හෝ පවත්වා අදාළ නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව ඉදිරි ඡන්ද විමසීම් නව ක්‍රමයකට අනුව පැවැත්විය හැකි බව සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පෙන්වා දී තිබිණි. මැතිවරණ නීති සංශෝධනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පිළිබඳ සාමාජිකයන් මතු කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසින් අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ මේ වන විටත් කථානායකවරයාගෙන් ඒ සම්බන්ධ ඉල්ලීමක් කර ඇති බවය. පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එවන් අදහස් දරන අතරතුරේ මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවත් සමඟ නැවත වරක් සමාජයේ අවධානය ඒ කෙරෙහි යොමු විය.

    කැබිනට් මණ්ඩලයට ඒ යෝජනාව ඉදිරිපත් කළේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය. දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට එමඟින් යෝජනා කර තිබිණි. පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරුණු බව ද වාර්තා විය.

    ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට පක්ෂව මෙන්ම විපක්ෂවත් එහිදී අදහස් ඉදිරිපත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ට පැවරීමට අවසානයේදී කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීමේ ඉරණම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අතට පත් වී තිබේ.

    මේ වන විට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම වසර තුනකටත් වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ. ඡන්දය නොපවත්වා ගෙවී ඇත්තේ වසර තුනක් වුවත් අවසන් වරට පළාත් සභා ඡන්දයක් පවත්වා වසර හයකට අධික කාලයක් ගතව ඇත. පළාත් සභා ඡන්දය මෙසේ ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය බව රහසක් නොවේ. ඒ ආණ්ඩුව ආරම්භයේ සිටම ඡන්ද කල්දැමීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔවුන් ඡන්ද කල්දැමීම ආරම්භ කළේ මහ මැතිවරණය කල්දමමිනි. මැතිවරණ කල්දැමීමේ අපවාදය ප්‍රධාන වශයෙන් පැටවුණේ මැතිවරණ කොමිෂන් සභාව මතය. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවලින්ද දිගින් දිගටම උපහාසයට ලක්කෙරෙනු දක්නට ලැබිණි. මැතිවරණ නොපවත්වන කොමිසම ලෙසින් කොමිසමට නම් පටබැඳුණි.

    යහපාලන මැතිවරණ

    දින සියයක කාලයකින් අනතුරුව මහ මැතිවරණය පවත්වන බව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වී තිබිණි. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය පවත්වන්නට මාස හතක කාලයක් ගත විය. නොයෙක් හේතු ඉදිරිපත් කරමින් මැතිවරණය කල්දැමීමට උත්සහ කළත් අවසානයේදී 2015 වසරේ අගෝස්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට යහපාලන ආණ්ඩුවට සිදු විය.

    ඊළඟට පැවැත්වීමට නියමිතව තිබුණේ පළාත් පාලන මැතිවරණයය. පළාත් පාලන ආයතනවල නිල කාල සීමාව වසර පහකි. ඒ අනුව 2011 වසරේදී තෝරා පත් කර ගැනුණු පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ කාලසීමාව 2016 වසරේදී නිමාවට පත්වීමට නියමිතව තිබිණි. එහෙත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව කියමින් පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දැමීමට එවකට ආණ්ඩුව කටයුතු කළේය. සමානුපාතික මැතිවරණ ක්‍රමයේ පවතින දුර්වලතා මඟ හරවා ගැනීම සඳහා සමානුපාතික සහ කේවල මැතිවරණ ක්‍රමවල එකතුවෙන් යුත් නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කරන ලද්දේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කාරක සභාවක් විසිනි. ඒ 2012 වසරේදී ය. එම සභාවෙන් යෝජනා කෙරුණු මැතිවරණ ක්‍රමවේදය යළි සලකා බැලීමට 2015 වසරේදී සිවු පුද්ගල කමිටුවක් පත්කෙරිණි. එම කමිටුවේ වාර්තාව 2017 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් විය. එහෙත් විවිධ තාක්ෂණ ගැටලු හේතුවෙන් ඡන්ද විමසීම 2018 වසරේ ජනවාරිය දක්වා කල් ගියේය.

    ආණ්ඩුකාර පාලනය

    එහෙත් ඒ වන විට වසර දෙකක් ඉක්ම ගොස් තිබිණි. පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරමින් සිටින අතරතුරේදී පළාත් සභාවලද කාලය ඉකුත් වන්නට පටන් ගත්තේය. පළාත් සභාවලද නිල කාල සීමාව වසර පහකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට පළාත් සභාවක පළමු රැස්වීම පැවැති දිනයේ සිට වසර පහකට පසුව පළාත් සභාවේ කාලය අවසන් වෙයි. පළාත් සභා ඡන්ද විමසීම අවසන් වරට පවත්වා තිබුණේ කඩින් කඩ වීම හේතුවෙන් ඒවායේ කාලයද අවසන් වූයේ එකම අවස්ථාවක නොවේ. අවසන් වරට කාලය අවසන් වූයේ ඌව පළාත් සභාවේය. ඒ 2019 ඔක්තෝබර් මාසයේදීය.

    පළාත් සභාවල කාලය අවසන් වීමත් සමඟ ඒවා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටත්විය. ඒ අනුව බලන විට මේ වන විට පළාත් සභා සියල්ල වසර තුනක කාලයක් තිස්සේ පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය. පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය යුතු බවට යෝජනා කරන අයගේ අදහස වී ඇත්තේ පළාත් සභාවල සභිකයන් පත්ව නොසිටීම ඒවායේ පාලනය ගෙනයාමට ගැටලුවක් වී ඇති බවය. ඊට ප්‍රතිවිරුද්ධ මතද කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත්ව ඇත. ප්‍රධාන වශයෙන් ඉදිරිපත්ව ඇත්තේ ඡන්ද ක්‍රමය විධිමත් කිරීමෙන් අනතුරුව මිස හදිසියේ ඡන්ද විමසීමකට යෑම නුසුදුසු බවය.

    ආණ්ඩුවේ ස්ථාවරය

    පළාත් සභා ඡන්දය කඩිනම් කිරීමට පක්ෂව මෙන්ම විපක්ෂවත් මත ඉදිරිපත් වීමෙන් පෙනී යනුයේ මේ ආණ්ඩුව එක් අයකුගේ තීරණයක් මත පමණක් පදනම්ව කටයුතු නොකරන විවිධ අදහස්වලට ගරු කරන ආණ්ඩුවක් බවය. එපමණක්ද නොව පළාත් සභා අහෝසි කළ යුතු යැයි හඬ නඟන්නට පවා ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට දැන් අවස්ථාව හිමිව තිබේ. මේ සියලු අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව වඩාත් සුදුසු තීරණයක් ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි.

    කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව කලින් ආණ්ඩුව මෙන් මැතිවරණ කල්දමන මානසිකත්වයක නොසිටින බව පැහැදිලිය. එහෙත් වඩා විධිමත් ආකාරයකට මැතිවරණ පැවැත්වීමේ අදහසකින් ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද සිටින බවක් පෙනෙන්නට තිබේ. වර්තමාන ආණ්ඩුවේ මුල් පුටු හොබවන්නන් සියලු දෙනා යහපාලන ආණ්ඩු සමයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා පෙරට පැමිණියෝ වෙති. එවකට ආණ්ඩුව මැතිවරණ කල්දමන විට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් සටන් කරන්නට ඔවුහු කිසිවිටෙකත් ප්‍රමාද නොවූහ. 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිනාගනු ලැබුවේ එවන් සටන් ගණනාවකින් පසුවය.

    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති බැවින් අවශ්‍ය නම් එම බලය භාවිත කරමින් මැතිවරණ කල්දැමීමට වත්මන් ආණ්ඩුවටද හැකියාවක් තිබේ. පසුගිය ආණ්ඩුව තමන් සතු බලය භාවිත කළේ එවැනි කටයුතුවලටය. ජන මතය නොතකමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්නට ඒ ආණ්ඩුව කටයුතු කළ ආකාරය ජනතාවට තවමත් අමතක නැත. 2015දී වෙනසකට කතිරය ගැසූ අයම 2019දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කරන්නට ඉදිරිපත් වූයේ යහපාලන ආණ්ඩුවේ පැවැති එවැනි දුර්වලකම් නිසාය. එබැවින් ඒ අඩි පාරේ නොයෑමට කටයුතු කිරීම වත්මන් ආණ්ඩුවේ පැවැත්මට හානිකර වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here