දීඝවාපී රන් සන්නස හෙළි කළ වසර 1800ක ඉතිහාසය

    0
    37

    දීඝවාපී වෙහෙර සොළොස්මස්ථානවලින් එකකි. තුන්වැනි ලංකාගමනයේදී කැලණිය, සමන්ගිර සහ දිවාගුහාවට වැඩම කළ බුදුන් වහන්සේ අනතුරුව සමාපත්ති සුවයෙන් වැඩ සිටීම සඳහා ‘දිගාවැවට’ වැඩම කළ බව වංශ කතා හෙළි කරයි. පසුගියදා දීඝවාපියෙන් හමුවූ කරඬුවල නෙ‍ළුම් මල සහ ශ්‍රී පාද ලකුණු සටහන් කර තිබේ. එබැවින් ඒවා සර්වඥ ධාතුන් විය හැකි යැයි අනුමාන කෙරේ.සියවස් ගණනාවක අතීතය කියැවෙන ඉකුත් දා හමුවූ කරඬු සහ රන් සන්නස පිළිබඳ අනාවරණයකි මේ.

     

    නැගෙනහිර පළාතේ අම්පාර දිසාවේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර තීරයේ දීඝවාපි රජමහා වෙහෙර පිහිටා ඇත. අම්පාර – අක්කරපත්තුව මාර්ගයේ කිලෝ මීටර් 6 ක් පමණ ගමන් කොට වරිපතන්වේන හන්දියෙන් හැරී නැවත කිලෝමීටර් 12 ක් ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැකිය.

    අක්කර පන්සියයකට අධික භූමිප්‍රදේශයක් පුරා පැතිර ගිය විවිධ ආරාමික නටබුන් මෙහි දැකිය හැකි අතර දීඝවාපිය, අම්පාර දිසාවේ පිහිටි නටබුන් සහිත ස්ථාන අතරින් වැදගත්කමක් උසුලයි. අතීතයේ රුහුණට අයත්ව පැවති දීඝවාපිය “දිග් වූ වැව”, “දිගා වැව” “දීඝවාපිය” ලෙසින් ජන ව්‍යවහාරයේ පැවත ඇත. එමෙන්ම ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙන පරිදි දිගාවැව, දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ, දිගාමඩුල්ල ආදී වශයෙන් දැක්විය හැකිය. අම්පාර, කොණ්ඩවට්ටවන වැවට නුදුරින් 1953 දී හමු වූ ටැම් ලිපිය අනුව දිගාමඩුල්ල ලෙසින් හැඳින් වූ පැරණි භූමිය නිශ්චිතවම හඳුනාගත හැකි විය.

    සොළොස්මස්ථානවලින් එක් ස්ථානයක් වන දීඝවාපිය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධාන දාගැබ වශයෙන් සැලකේ. දීඝවාපිය පිළිබඳව ප්‍රථමයෙන්ම ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය පිළිබඳ තොරතුරුවලිනි. දීපවංශය හා මහාවංශය සඳහන් කරන්නේ බුදුහිමියන් කැලණිය, සමන්තකූටය හා දිවාගුහාව යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩම කර සමාපත්ති සුවයෙන් වැඩ සිටි බවයි.

    දීඝවාපි වෙහෙරට තරමක් දුරකින් පිහිටි නටබුන් සහිත අප්‍රකට භූමියක වූ බ්‍රාහ්මී සෙල්ලිපියක “දිගවපි පොරණ” ගැන හා එහි විසූ වෙළෙන්දන් විසින් කරන ලද පූජාවක් පිළිබඳව සඳහන් කර ඇති බව එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. එය ක්‍රි.ව. 2 වන සියවස දක්වා අතීතය නියෝජනය කරන අතර “දිගවපි පොරණ” යනු දීඝවාපි නගරය ලෙස ද එය දීඝායු ජනපදයේ නුවරක් වූ බවත් එය දියුණුව පැවති බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ධාතුවංශයේ කාවන්තිස්ස රජු සේරුවිලයාදි දීඝනඛය පිහිටන තැන දිගාමඩුල්ලෙහි සද්ධාතිස්ස කුමාරයා නැවැත් වූ බව දැක්වේ. එහෙත් අභිලේඛන සාධක අනුව ඊට පෙර කාවන්තිස්ස කුමරු ද ඔහුට පෙර ගෝඨාභය කුමරුද දීඝවාපියේ සිට ඇත. වංසකථා අනුව දීඝවාපියේ සංවර්ධන කටයුතු හා ආගමික කටයුතු සම්බන්ධව වැදගත් තැනක් හිමි වනුයේ සද්ධාතිස්ස රජුටය.(ක්‍රි.පූ. 137–119) ඔහු දීඝවාපියේ සිට ගොවිතැනින් රට සංවර්ධනය කරමින් දීඝවාපි විහාරය කළ බවත් ස්තූපයට සත්රුවන් සැට්ටයක් කරවා රත්තරනින් කරත්ත රෝද සමාන මල් සාදා එහි සන්ධියක් පාසා එම මල් අමුණා පූජා කළ බවත් මහාවංශයේ සඳහන්ය. එල්ලාවල මේධානන්ද හිමියන් සොයා ගන්නා ලද මාදනකන්දේ ලෙන් ලිපිය අනුව සද්ධාතිස්ස, අනුරාධපුර රජකමට පත් වීමට ප්‍රථම පචී බුමියේ (ප්‍රාචීණ භූමිය, නැගෙනහිර පළාත) රජු ලෙස කටයුතු කර ඇතැයි දැක්වේ.

    අංගුත්තර නිකාය අට්ඨකථාවෙ දීඝවාපියේ වැඩ වාසය කළ මහාජාතක භාණක තෙරුන් ගැන සඳහන් වන අතර එම තෙරුන් වෙස්සන්තර ජාතකය දේශනා කරනු ඇසීමට මාගම සිට සාමණේර නමක් පැමිණි බව දක්වා ඇත. එසේම මලය මහාදේව තෙරුන් ධජග්ග සූත්‍රය දෙසූ විහාරස්ථාන අතුරින් දීඝවාපිය ද එක් තැනක් විය.

    මහාවංශයේ සඳහන් පරිදි මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව.1153-1180) දීඝවාපී ප්‍රදේශය මානාභරණ රජු හා සුගලා දේවියගේ බල ප්‍රදේශයක් ලෙස පැවත ඇත. එමෙන්ම දිගාමඩුල්ල ප්‍රබල රාජ්‍යයක් ලෙස පරිපාලනය වූ බව ද දීඝවාපියෙ ඇති වූ කැරලි මර්දනයට ‘එකල් හි මහ බලැති සියලු ඇමැතියෝද ප්‍රධානීහු ද දිගා වෑ මඩුලු රට ගන්නට නික්මුණේ…’ යනුවෙන් ද මහාවංශයේ සඳහන් වීමෙන් සනාථ වනුයේ දීඝවාපි විහාරය ද එකල ඉතා සශ්‍රීක තත්ත්වයක පැවති බවයි. එසේම වංශකතාවල දැක්වෙන්නේ මහා පරාක්‍රමබාහූ රජුගේ බලඇණි මේ ප්‍රදේශය මුළුමනින්ම විනාශ කළ බවය. 18 වන සියවසේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව.1747-1780). ‘නඛ’චේතිය නම් ස්ථානයට පැමිණි බව මහාවංශයේ දැක්වෙන අතර එය දීඝවාපිය ලෙස තහවුරු විය. මෙම දාගැබ හා විහාරය නඩත්තු කිරීම සඳහා ගවමහීෂාදීන් හා වී බීජ අමුණු දහසක වපසරියකින් යුත් ගම්බිම් ප්‍රදානය කිරීමක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදුකර ඇත. ඒ බැව් සඳහන් සෙල්ලිපිය දාගැබට නැගෙනහිරින් පිහිටි අතර එය පූජ්‍ය බණ්ඩිගොඩ බුද්ධරක්ඛිත හිමියන් විසින් පිටපත් කර ඇත.

    දීඝවාපිය හා තදාසන්න ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගවේෂණය කර ඇති අතර දීඝවාපිය පැරණි ජනාවාසය වර්ග කිලෝමීටර් 64 ක භූමිභාගයක විසිරී ඇති බව සඳහන්ය. ජනාවාසයේ කේන්ද්‍රය ලෙස දීඝවාපිය සැලකේ. ආරක්ෂිත ස්මාරක 35 ක් පමණ මෙම භූමිය පුරා ව්‍යාප්තව ඇත. අනුරාධපුර මුල් අවධියේ ඉතිහාසය දක්වා දිවෙන දීඝවාපි ස්තූපයේ වර්තමානය වන විට උපරිභාගය දක්නට නොලැබේ. එහි උපකල්පනය කර ඇති උස මීටර් 112 ක් වුවද දැනට විද්‍යමාන වන ස්තූපයේ උස මීටර් 22.41 කි.

    දීඝවාදි දාගැබ ක්‍රි.පූ. 137 -119 ත් අතර කාලවකවානුවේදී ඉදිවෙන්නට ඇතැයි යන්න ද දාගැබ නිර්මාණයෙන් අවුරුදු 200 කට පමණ පසු වාහල්කඩ ඉදිකරන්නට ඇති බවට ද සාධක පවති. දකුණු වාහල්කඩ පිහිටි ස්ථානයේ සලපතළ මළුවේ ඇති සෙල්ලිපියක් අනුව තහවුරු වන්නේ එම සලපතළ මළුව ක්‍රි.ව.2 වන සියවසේ දී නිර්මාණය කර ඇති බවයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 1964 වර්ෂයේ සිදුකරන ලද කැණීමේ දී ස්තූපයේ ඊසාන දෙස පිළිම ගෙයක තිබී කාසි කිහිපයක් ලැබී ඇත. එමෙන්ම මෙම දාගැබ වටා ප්‍රාකාර බැමි දෙකක් තිබුණු බවත් ඒවා ඇතුළු බැම්ම සහ පිට බැම්ම ලෙසින් හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රාකාරවලින් ඇතුළු මාලකයට ප්‍රවේශ වීමට පුළුල් දොරටු තිබූ බව සඳහන්ය. එම අවස්ථාව වන විට පස්වලින් වැසී තිබුණු බැවින් දාගැබේ ස්වරූපය හඳුනා ගැනීම දුෂ්කර වී ඇත. හමු වූ නටබුන් අනුව එම වාහල්කඩ ඉතා කලාත්මක වූ බව දැක්වේ.

    ස්තූපය පිහිටි භූමිය අවට පුරාවිද්‍යාත්මක සාධක බහුල ලෙස හඳුනාගත හැකිය. ගොඩනැගිලිවලට සම්බන්ධ වූ ගල් කණු හා පාදම් කොටස් ද පිළිම ගෙවල්වල නටබුන් ද අඩි හතර හමාරක් පමණ උසැති කවන්ධ හිටි පිළිමයක් සහ කුඩා ඔත් පිළිමයක් සොයා ගැනුණි. පසුව සිදු කළ කැණිම්වලදී ඉතා පැරණි බෝධිඝරයක, ආවාස ගෙයක මෙන්ම ආරෝග්‍ය ශාලාවක නටබුන්ද හමු වී ඇත.

    එමෙන්ම 1986 දී ස්තූපයේ බටහිර වාහල්කඩෙහි සිදුකළ කැණීමේදී රන් කරඬු 3 ක් සොයා ගැනීමට හැකි විය. එම කරඬුවලින් විශාලම කරඬුව ක්‍රි.ව. 164 -192 දක්වා කාලයට අයත් බව තහවුරු විය. එම කාල වකවානුවේදී රාජ්‍ය පාලනය සිදුකරනු ලැබූයේ කණිට්ඨතිස්ස රජුය. විශේෂිත ශෛලමය කරඬුවක් තුළ මෙම රන් කරඬු 3 තැන්පත් කර තිබී ඇති අතර ස්තූපයක ස්වරූපයට හැඩ ගන්වා තුනී රන් තහඩු උපයෝගී කොටගෙන මෙම රන් කරඬු නිමවා තිබිණි. එම අවස්ථාවේදී ද රන්පත් ඉරුවක ලියන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපියක් හමු විය. එය ක්‍රි.ව. 2 වන සියවසට අයත් යැයි සඳහන්ය.

    1986 දී සොයාගත් ලිපිය

    ‘නක මහරජ පුත මලිතිස රජහ සොවණ තුබෙ’

    2020 දි සොයාගත් රන් සන්නසෙහි ලිපිය

    ‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’

    එය සිංහල බසට නැගූ විට තේරුම මෙසේය.

    ‘යහපතක් වේවා මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිට්ඨතිස්ස) රජුගේ රන් කරඬුව.

    ඒ අනුව 2020 නොවැම්බරයේදී සොයා ගත් රන් කරඬු තුළ තැන්පත් කළ රන් පතෙහි ද සඳහන් වූයේ ඉහත සඳහන් ලිපියේ අන්තර්ගතයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු එම රන් සන්නස කියවා, එහි භාෂාව පුරාණ සිංහල බවත් අක්ෂර අපර බ්‍රාහ්මී බවත් ප්‍රකාශ කළේය.

    මෙම සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නමින් හැඳින්වූයේ ප්‍රදානයට අදාළ රජුගේ පියාය. ඒ අනුව අදහස් වන්නේ ඔහු ක්‍රි.ව.134 සිට 140 දක්වා රට පාලනය කළ බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජ මෙය ප්‍රදානය කර ඇති බවත්, මළතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්ය. මහා වංශයේ සඳහන් වනුයේ කණිට්ඨතිස්ස ක්‍රි.ව.164 -192 තෙක් රජ කළ බවය. එබැවින් අදින් වසර 1800ක පමණ ඉතිහාසයක් මෙහි ඇති බව අවබෝධවේ.

    මේ අනුව පැහැදිලි වන්නේ කණිට්ඨතිස්ස රජු විසින් මෙම මහා ස්තූපය යථාවත් කළ බවය. දකුණු වාහල්කඩ ආසන්නයේ තැන්පත් කර තිබූ ශෛලමය කරඬුව මෙම කාලවකවානුවට අයත් යැයි විශ්වාස කෙරේ. වාහල්කඩ මැද කොටසේ කුටීරයක් තනා ඒ මත ගල් පුවරුවක් තබා තැන්පත් කර තිබූ ශෛලමය කරඬුව අඟල් 18 ක් පමණ උසින් යුක්තය. එම කරඬුව ආසන්නයේම පොල් තෙල් පහනක් දල්වා තිබෙන්නට ඇතැයි යන්න සාධක ලැබෙන අතර ඒ අසලම පැරණි පහනක්, මුද්දක්, පබළු ඇට කිහිපයක් හා මැණික් යැයි විශ්වාස කළ හැකි පාෂාණ කිහිපයක් ද සොයා ගන්නා ලදි.

    මෑතකදී කළ එම කැණීමෙන් රනින් කළ කරඬු 4 ක් හා රන්පතක ලියූ සන්නසක් ඉහත ශෛලමය කරඬුව තුළ තැන්පත් කර තිබුණි. එම කරඬු අතරින් නෙළුම් මල සහ සිරිපතුල් ලාංඡනය සටහන් කොට තිබූ කරඬු දෙකක් විය. එමෙන්ම පළිඟුවලින් නිර්මාණය කරන ලද කරඬුවක් ද මේ අතර තිබී හමුවිය.

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසන්නේ චෛත්‍ය කැණීමේ දී ප්‍රමාණ දෙකක ගඩොල් හමු වූ බවත් දාගැබ අසල ගරා වැටුණු විශාල ගඩොල් ගොඩක් තිබුණු බවත්ය. එසේම මහාචාර්යවරයා ප්‍රකාශ කරනුයේ 1840 දි පමණ මඩකලපුවේ එවකට කටයුතු කළ දිසාපති ඔවුන්ගේ විවිධ ඉදිකිරීම් සඳහා දාගැබේ ගර්භයේ ගඩොල් කොල්ල කා ඇති බවය. එම හේතුව නිසා ගර්භයේ වළක් සෑදෙන්නට ඇත. එම වළ පැවති තැන එක එල්ලේම මෙම ශෛලමය කරඬුව හමු වී ඇත. මෙම වළ හේතුවෙන් දාගැබේ ව්‍යුහයට යම් හානියක් සිදු වූ බැවින් ගර්භයේ විශාල කොටසක් කඩාගෙන මළුවට වැටී තිබුණි. එම කොටසේ මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ කරඩුව තිබූණු බවත් එය ධාතු ගර්භයේ තිබු කරඬුවක් මිස වාහල්කඩින් හමු වූ එකක් නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහසයි.

    හමුවූ රන් කරඬු සහ රන් සන්නස 

    ඒ අනුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ වාහල්කඩත් කරඬුවත් අතර කිසි සම්බන්ධතාවයක් නොමැති බවය. එමෙන්ම මෙම කරඬුවල නෙළුම් මල හා ශ්‍රී පාද ලකුණුවලින් බුදුන් වහන්සේ සංකේතවත් කරන බැවින් නිසැකවම මෙම ධාතුන් සර්වඥ ධාතුන් වහන්සේලා විය හැකිය යන්න මහාචාර්ය සෙනරත් දිසානායකගේ මතයයි.

    ධාතුන් වහන්සේලා දැනට කච්චේරි භූමියේ සුරක්ෂිතව තැන්පත්කොට ඇති අතර ඉදිරියේදී සන්නස සහ ධාතු සහිත එක් කරඬුවක් මහජනතාව වෙනුවෙන් තබාගෙන ඉතිරි ධාතුන් දීඝවාපි දාගැබ පිළිසකර කොට නැවත තැන්පත් කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    රුක්ෂිලා වෙත්තමුණි

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here