පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම ගැන අගරදගුරු ප්‍රසාදය

0
9

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කර ඔවුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අගමැතිවරයා ඇතුළු රජයට ප්‍රසංශාව පළ කරති.

අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇති නොවන පරිදි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම තුළ රටේ අනාගතය ශක්තිමත් කරන්නට හැකිවෙතැයි විශ්වාස කරන බවත් පැවැසූ අගරදගුරු හිමිපාණෝ, ඒ විශ්වාසය තුළ අගමැතිවරයා ගැන බලාපොරොත්තු රඳවා තිබෙන බවත් කීහ.

හෙතෙම මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (16) පැවැති සාකච්ඡාව අවසානයේ අදහස් දක්වමිනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කටුවාපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කර කඩිනමින් වැඩ අවසන් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය. මේ ව්‍යාපෘතිය යටතේ නිවාස 24ක් ඉදිකෙරෙන අතර දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවෙන් තවත් නිවාස 5ක් කටුවාපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකිරීමට නියමිතය. ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවෙස්වල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවෙස් 33ක් වෙන් කර දෙන ලෙසද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ පිරිසට අමතරව ප්‍රහාරයෙන් පීඩාවට පත්ව බදුල්ල, මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරාදීමටද මෙහිදී එකඟතාව පළ විය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අගමැතිවරයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here