මුස්ලිම් ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා ෂරියා නීතිය අවශ්‍යයි!

0
39

සිය දෛනික සිවිල් කටයුතු කර ගැනීමේදී මෙරට මුස්ලිම් ජනතාවට ෂරියා නීතිය අවශ්‍ය බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් මහතා පැවැසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මුස්ලිම් සමාජයේ විවාහය සහ දික්කසාදය යන කරුණුවලට අදාළවද ෂරියා නීතිය අවශ්‍ය බවයි. කෙසේ නමුත් විවාහය සහ දික්කසාදය යන කරුණුවලට අදාළව සංශෝධන ගෙන ඒමට රජය බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඔහු පැවැසීය.

ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත් වූ, එමෙන්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළ අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන්ට පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් බලහත්කාරයෙන් විවාහ කර දුන් බවට සැලකෙන රාසික් මහතා දෙසැම්බර් 15දා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන්නේය.

මේ අතර පුලස්තිනී සහ හස්තුන් පිළිබඳවද කොමිෂන් සභාව ඔහුගෙන් විමසීය. 2015 වසරේ අගෝස්තු මස 4 වැනි දින පුලස්තිනී සහ හස්තුන් කොළඹ මාලිගාවත්තේ පිහිටි ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයට පැමිණ ඇයට ඉස්ලාම් ආගම වැලැඳගැනීමට අවශ්‍ය බව පැවැසූ බව ඔහු සඳහන් කළේය.

පුලස්තිනී කලවංචිකුඩි ප්‍රදේශයේ සිට සහ හස්තුන් ඔට්ටමාවඩි ප්‍රදේශයේ සිට පැමිණි බව පැවැසූ බවත් ඒ අනුව ඉස්ලාම් ආගම වැලඳගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර දුන් බවත් සාක්ෂිකරු කීය.

ඇය ඉස්ලාම් ආගම වැලඳගත් බවට වන සහතිකයක්ද නිකුත් කළ බව පැවැසූ අවස්ථාවේ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඔහුගෙන් විමසුවේ එවැනි සහතිකයක් නිකුත් කිරීම සඳහා ඔහුට ඇති බලය කුමක්ද යන්නයි. පිළිතුරු වශයෙන් සාක්ෂිකරු පැවැසුවේ නම් වෙනස් කිරීමේදී යම්කිසි ආගමික සංවිධානයක ලිපියක් අවශ්‍ය වන නිසා එය ලබාදීමට පියවර ගත් බවයි.

ඒ වන විට ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානය හරහා එවැනි ලිපි 150කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබූ බවත් ඔහු පැවැසීය. එම කාලය වන විට ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛා කොපමණ ප්‍රමාණයක් තිබුණේද යන්න විමසූ අවස්ථාවේ රාසික් මහතා සඳහන් කළේ, ඒ වන විට ශාඛා හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි. කෙසේ නමුත් යම්කිසි පුද්ගලයකු ඉස්ලාම් ආගමට හරවා ගැනීමට අදාළ කටයුතු කිරීම සඳහා බලය තිබුණේ ප්‍රධාන කාර්යාලයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර පුලස්තිනී සිය භාරකාරත්වයද ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයට භාරගන්නා ලෙසට ඉල්ලීමක් කළ නිසා ඒ පිළිබඳව ඇයගේ මවගේ සහෝදරයාට දුරකථනයෙන් දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව අගෝස්තු 5 දින පුලස්තිනීගේ මව සහ තවත් ඥාතීන් කිහිප දෙනෙක් ආවා ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයට. ඇගේ මව, කවිතා රාජරත්නම් කිව්වා පුලස්තිනීව ගෙදර අරන් යන්න ඕනි කියලා. පසුව අපි ඔවුන්ට ඒ ගැන කතා කරගන්න ඉඩ දුන්නා. නමුත් පුලස්තිනී ගෙදර යන්න අකැමැති වූ නිසා අපි ඔවුන්ව මාලිගාවත්ත පොලිස් ස්ථානයට රැගෙන ගියා යැයි සාක්ෂිකරු සඳහන් කළේය.

පසුව පුලස්තිනී දින පහක කාලයක් සඳහා ඇගේ මව සමඟ නිවෙසට ගිය බවත් ඇයට නිවෙසේදී ඉස්ලාම් ආගම ඇදහීමට ඉඩ නොදෙන බව පවසමින් සැප්තැම්බර් 24 දින නැවැතත් ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයට පැමිණි බවත් සාක්ෂිකරු කීය. එමෙන්ම එම අවස්ථාවේ පුලස්තිනීට හස්තුන් සමඟ විවාහ වීමට අවශ්‍ය බව පැවැසූ නිසා ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු කිරීමටද තමන් පියවර ගත් බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවැසීය.

එම අවස්ථාවේ පුලස්තිනීගේ භාරකරු ලෙස කටයුතු කිරීමට ඔහුට තිබුණු බලය කුමක් දැයි කොමිෂන් සභාව විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවැසුවේ, විවාහයක් සිදු කරන අවස්ථාවේදී භාරකරුවකු සිටිය යුතු බැවින් තමන් ඇයගේ භාරකරු ලෙස කටයුතු කළ බවයි.

ඊට පසුව තමන් පුලස්තිනී හෝ හස්තුන් සමඟ කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොගත් බවත් 2019 වසරේ පෙබරවාරි මාසයේදී පුලස්තිනී පිළිබඳව තොරතුරක් නොමැති බව ඇගේ මව තමන්ට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය දැනුවත් කිරීමට පියවර ගත් බවත් සාක්ෂිකරු පැවැසීය.

මේ අතර පසුගිය රජය සමයේදී මුස්ලිම් විශේෂ නීතිය සංශෝධනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ රාසික් මහතා විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පිළිබඳවද කොමිෂන් සභාව ඔහුගෙන් ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරු පැවැසුවේ අපරාධ සම්බන්ධයෙන් ෂරියා නීතිය අවශ්‍ය නොවන බවයි. නමුත් මුස්ලිම් ජනතාවගේ එදිනෙදා ජීවිතයේ සිවිල් කටයුතු සඳහා ෂරියා නීතිය අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. අපරාධ සම්බන්ධයෙන් මෙරට පවතින නීතියට අනුකූලව කටයුතු කිරීමට මුස්ලිම් ජනතාව සූදානම් බවත් ඔහු පැවැසීය.

ඔහු විසින් වර්තමාන මහ ලේකම් ධුරය දරන සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය සහ ඊට පෙර ඔහු විසින් මහ ලේකම් ධුරය දරන ලද ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව ඔහුගෙන් ප්‍රශ්න කළේය.

ඔහු පැවැසුවේ, ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානය තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ජේනුල් ආබ්දීන්ගේ ඉගැන්වීම් අනුව එම සංවිධානයේ සාමාජිකයන් ක්‍රියා කළ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් 2018 සැප්තැම්බර් මස තමිල්නාඩු තවුහිද් ජමාත් සංවිධානය ජේනුල් ආබ්දීන්ට විරුද්ධව පදනම් විරහිත විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගැනීම නිසා එම සංවිධානයෙන් ඉල්ලා අස් වූ බවත් ඔහු සඳහන් කළේය. පසුව තමන් ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයෙන් ඉවත්ව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා ගත් බව ඔහු සඳහන් කළේය. ඒ වන විට ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛාවන් අසූවකට වැඩිය තිබුණා. ඉන් පනස් දෙකක්ම සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධ වුණා. ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලියාපදිංචි සාමාජිකයන් 1,000කට ආසන්න ප්‍රමාණයෙන් 229ක් අප සමඟ එකතු වුණා යැයි සාක්ෂිකරු පැවැසීය.

එමෙන්ම ජේනුල් ආබ්දීන් විසින් දමිළ භාෂාවට පරිවර්තනය කළ කුරාණය තමන් සිංහල භාෂාවට පරිවර්තනය කළ බවත් 2015 නොවැම්බර් 8 වැනි දින එය එළිදැක්වීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී උත්සවයක් පැවැත්වූ බවත් සාක්ෂිකරු පැවැසීය.

එම උත්සවය සඳහා සහභාගි වූයේ කවුදැයි කොමිෂන් සභාව විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවැසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, පළාත් සභා මන්ත්‍රි අර්ෂාඩ් ඉෂම්දීන් ඇතුළු තවත් දේශපාලනඥයන් රැසක් සහභාගි වූ බවයි. එමෙන්ම උත්සවයට ආරක්ෂාව සැපැයීම සඳහා වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සහභාගි වූ බව ඔහු සඳහන් කළේය.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම සඳහා ජෙනුල් ආබ්දීන්ට ආරාධනා කළත් එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මැදිහත් වී ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගත් බවත් සාක්ෂිකරු පැවැසුවේය.

ජෙනුල් ආබ්දීන් දැඩි අන්තවාදී මත දරන්නකු බව මීට පෙර කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් කිහිප දෙනෙක් සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here