රාවණ මතක බිමට ජනපති ආගමනය අද

    0
    10

    බළංගොඩ වලේබොඩ රාවණා කන්ද ගම්මානයට අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම ගම්මානයේ ඉතිහාසයට එක්වන ස්වර්ණමය සටහනකි. වලවේ ගඟ ඌරාඔය තිප්පොළේ ඇළ යන ගංගා තුනට සීමාවී ඇති රාවණා කන්දට යෑමට මහාමාර්ගයක් නැත. ඌරාඔයේ හා තිප්පොළේ ඇළේ ගල් අතුරා ලොරි හා ට්‍රැක්ටර් යාමට මඟ සකස් කරගෙන ඇති නමුත්, ගංවතුරකදී ගම හු‍ෙදකලා වේ. මැතිවරණයට පෙර කරන ලද සමීක්ෂණ දත්ත මත පිළිසරණක් නොලද ගමක් ලෙස මේ ගම් කොටස තෝරා ගනිමින් එහි සංවර්ධනයට කටයුතු කිරීම අතිශය ප්‍රසාදයට පත් වන කරුණකි.

    ජනශ්‍රැති හා ජනප්‍රවාදවලට අනුව රාවණා කන්ද, රාවණ යුගය හා සබැඳි ගම්මානයකි. රාවණාගේ රාමනක්කේ යන පෙළපත් නාමවලට උරුමකම් කියන පිරිසක් ගමේ ජීවත් වේ. සම්මිශ්‍රණය වීම නිසා වර්තමානය වන විට ක්‍රමයෙන් සැඟවී ගිය ද, මව්බිමේ මුල් උරුමකරුවන්ට හිමි දේශජ ලක්ෂණ සහිත ජන කොටසක් මෙහි ජීවත් වූ බව, මානව විද්‍යාත්මකව හඳුනාගත හැකිව තිබු කරුණකි.

    වලේබොඩ ගම්සීමාවේ බටහිර අවසන් වන්නේ ඝන වනාන්තරයකිනි. එය ඔබ්බෙන් නුවරඑළිය දිස්ත්‍රික් සීමාවය. එය වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශයයි. වලවේ ගඟට මුල් වරට එකතු වන්නේ රාවණා කන්ද ගම් සීමාවේ ඌරා ඔයේ ජලයයි. මේ ජලය එකතුවීමට ප්‍රථම, වලවේ ගඟ ගම්මුන් සඳහන් කරන්නේ තනිවලව නමිනි. වලවේ ගඟ, ගඟක් වන්නේ වලේබොඩ ඇළ දොළවල වතුරින් පෝෂණය වීමෙනි.

    දැවැන්ත වන හා ගිරි දුර්ගවලින් ආවරණය වී ඇති ජලය සහිත, පෝෂිත, සරුසාර පසක් සහිත ගොවිතැනට යෝග්‍ය බිමකින් ගම සමන්විතය. ගම ජනාවාස කළ මුල් පදිංචිකරුවන් මේ බිමට මේ දුර්ග ඔස්සේ පැමිණ ඇති බව උපකල්පනය කළ හැකිය. එම ඓතිහාසික සංසිද්ධිය විජයාවතරණයේදී, කරන ලද, යක්ෂ සංහාරයන් හා බැඳී පවතින බව උපකල්පනය කිරීම සහේතුකය. කුවේණියගේ දරුවෝ රැකවරණය පතා සබරගමුවට ආ බව මහාවංසය කියයි. එසේ පැමිණීමට මාර්ග මෙන්ම මනුෂ්‍යයන් සිටීමද අවශ්‍ය වේ. තම දරුවන් මෙහි සිටින බව දැනගත් විජය රජු මේ භූමිය ඔවුන්ට වෙන් කර බව සඳහන්ය.

    මේ අවධිය වන විට බුදු පියාණන් වහන්සේ සිරිපා පිහිටුවා සියවසක්වත් ගතවී නොතිබුණි. අනුරාධපුරයේ රජ කළ රජුන් සිරිපා වන්දනාවෙන් පැමිණි බව සබරගමු දර්ශන කෘතියේ කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ ප්‍රකාශ කරති. එළාර රජුගේ ප්‍රධාන සෙනෙවි වූ, දීඝජන්තු දුටුගැමුණු රජු පරාජය කිරීමට සමනල පුදබිමට පැමිණ ශිව දෙවියන්ට භාරයක් වී තිබේ. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ අනුරාධපුරයේ සිට ශ්‍රී පාදයට යන්නට මාර්ගයක් වූ බවයි.

    මේ අනුව මේ ප්‍රදේශය අප රටේ මුල් උරුමකරුවන්ට අයත්ය යන අදහස ඉදිරිපත් කළ හැකිය. පලා ආ යක්ෂ ගෝත්‍රිකයන් රැකවරණ සහිතව මේ බිමේ ජනාවාස පිහිටුවා ගන්නට ඇත, යන්න උපකල්පනය කළ හැකි මතයකි. අද ද වලේබොඩ ගම් සීමාවේ සිට සාම්මලේ තේ වතු දක්වා ගම්මාන නැත.

    මහනුවර යුගය වන විට වලේබොඩ සංවර්ධනය වූ ගමකි. සමන්දේව විශ්වාසය අතිශය බලවත්ව පැවතුණි. මහනුවරට යෑමට මාවතක් වූ අතර, 1818 කැප්පෙටිපොල නිලමේ මෙහෙය වූ ජනතා අරගලයට වලේබොඩින් සටන්කරුවන් ගිය බව ජනප්‍රවාදයේ පවතී. එසේම මෙය ආරක්ෂිත බිමක්ද විය.

    රාවණා කන්දේ ඌරාඔයේ රාජාපීනුවල නමින් ජලාශයක් වූ බව පැරැණියෝ කියති. සිතාගල මේ ගම්මානයට ගම් කීපයකට ඔබ්බෙන් වලවේ ගඟෙන් එගොඩ පිහිටි ගමකි. සීතා අග්ගල, සීතග්ගල වී සුඛෝච්ඡොරණය සඳහා සීතාගල බවට පත් වී තිබේ. සීතාරණයේ අග්ගලා දැමූ පුවත හා ජනප්‍රවාද මෙහි පවතී. පස් අතර තිබී අග්ගලා වැනි විශේෂයක් හමුවන බව ගැමියෝ කියති. එම අග්ගලා දරුවන්ගේ උදර ආබාධ සඳහා එදවස භාවිත කොට තිබේ. ඒවා පසෙන්ම නිර්මාණය වන විශේෂයක් බව විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ වී තිබේ.

    වලේබොඩ මාර්ග සකස් කිරීමේ ගම සංවර්ධනය කිරීමේ, පාසල් පිහිටුවීමේ ප්‍රමුඛතම මෙහෙවර කර ඇත්තේ උඩකන්ද පන්සලේ වැඩ සිටි මැද්දේ කන්දේ සුමතිපාල නාහිමිපාණෝය. උන්වහන්සේ වලේබොඩට වැඩම කර ඇත්තේ 1929 දීය. ගමට මහාමාර්ගයක් තැනීමට මුල් පියවර උන්වහන්සේ විසින් ගෙන ඇත්තේ 1950 ටත් පසුය. රාජ්‍ය නිලධාරීන් මෙහෙයවමින් ගම සංවර්ධනය කිරීමට, මාර්ග තැනීමට, පාසල් පන්සල් හැදීමට තම උපරිම මෙහෙවර සිදු කළේ රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක මැද්දේකන්දේ ධම්මරංසි නාහිමියන්ය. ජනාධිපති, මහජනයා හමුවන තෝරවෙල්කන්ද රජයේ පාසලට නුදුරු සමන්තැන්න විහාරයේ විහාරාධිපති උන්වහන්සේය. මේ උදාර ප්‍රයත්නයන්ට දිවි කැප කළ ගමේ සමිති සමාගම් මෙහෙය වූ ආදි කර්තෘවරුන් අද අප අතර නැත. ජනාධිපති, පියමං කරන්නේ මේ අසිරිමත් මතක සටහන් බිම් මැද්දෙනි.

    වලේබොඩ අව්‍යාජ ගැමියන්ගෙන් පිරුණු පින් බිමකි. ආශිර්වාදලත් භූමියකි. මේ බිමේ ඒ ශක්තියක් තිබේ. ගැමියෝ තේ ආර්ථිකයෙන් රටට විනිමය සොයති. ස්වාධීන දිවියකට උරුමකම් කියති. ඔවුන් ඉල්ලා සිටින්නේ මාර්ග පද්ධතියකි. වලවේ ගඟින් එගොඩ මෙගොඩ වීමට පාලමකි. සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් කීපයකි.

    වලේබොඩ තේ වතුයාය මැදින් ගලා බසින තඹලගහ ඇළේ ජලය දොරගලකන්දේ කැලෑවේදී ලබාගෙන, සැතපුම් දහයක් පමණ දුර ජලය නැති, පල්ලේවෙල ජනතාවට ලබාදීමට, මෑතකදී ගෙන ඇති ක්‍රියා මාර්ගය අගය කළ හැකිය. වලවේ ගඟේ ඉස්මත්තෙන් පානීය ජලය ගෙන වලේබොඩටත්, වෙලේ කුඹුර, විජිනත්කුඹුර ප්‍රදේශයටත්දීමට සැලසුම් කිරීම උදාර මහජන සේවාවකි.

    පදනම් විරහිතව කඳු මුදුන්වල වවා ඇති පයිනස් වගාව ක්‍රමානුකූලව ඉවත් කොට, ස්වාභාවික වෘක්ෂලතා වලින් වනගහනය ඇති කිරීම අතිශය වැදගත් කරුණකි. මේ ප්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස්ය. වන පියස රැකගත යුතුය. ගංගාධාරවල ජල පෝෂකතාව ඉහළ නැංවීම කාලෝචිත අවශ්‍යතාවකි.

    මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ අප ගමට වැඩම කළේ 1977 ජූලි 6වැනිදාය. ඒ උපසම්පදා පින්කමක් සඳහාය. සර්වෝද නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා 1966 වලේබොඩට පැමිණියේය. එය ගමේ මාර්ග තැනීමේ ප්‍රබෝධයක් ඇති කළේය. පෙර පාසල් ඇතිවිය. ජාතීන් අතර සමඟියක් ඇති විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම ගම්මානයේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මේ සිකුරාදා සිදු වන මේ අසිරිමත් සිදුවීම ගම්මානයේ බලාපොරොත්තු දල්වාලන යුගයක ස්වර්ණමය මතකයේ සමාරම්භයකි.

    මහාචාර්ය කමල් වලේබොඩ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here