ලබන වසරේදී ශ්‍රී ලංකාවට ආසියානු රග්බි තරගාවලි 6ක්

0
34
Author(s): 
ෆවුස් මොහොමඩ්

කනිෂ්ඨ රග්බි පිලට අනුග්‍රාහකයන් සොයා මෙහෙයුමක්

ලබන වසරේදී යළි ආරම්භ වන ආසියානු රග්බි තරගාවලි සඳහා යොවුන් කණ්ඩායම් සහභාගි කිරීමට අවශ්‍ය අනුග්‍රාහකත්වයන් සොයා මෙහෙයුමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත. ඔවුන් මේ තීරණය ගනු ලැබුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ මාර්තු මාසයේ සිට වසා දැමූ ආසියානු රග්බි තරගාවලි ලබන වසරේ සිට නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් පසුගියදා ආසියානු රග්බි සම්මේලය වසර 2021 තරග කාලසටහන නිකුත් කිරීමෙන් පසුවය.

ලබන වසරේදී සුපුරුදු ලෙස ආසියානු සත් සාමාජික ජ්‍යෙෂ්ඨ කාන්තා හා පිරිමි තරගාවලි පැවැත්වීමට නියමිතව ඇති අතර, එය පසුගිය වසර කිහිපයේදී සිදුකළ පරිදි අදියර තුනකින් යුතුව පැවැත්වේ. එහි පළමු අදියර අගෝස්තු මස 28 සහ 29 දකුණු කොරියාවේ පැවැත්වෙන අතර, දෙවැනි අදියර සැප්තැම්බර් මස 11 සහ 12 චීනයේදී පැවැත්වීමට නියමිතය. එම මාසයේදීම 25 සහ 26 දෙදින අවසන් අදියර කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් සඳහා ඩයලොග් ආයතනයේ අනුග්‍රාහකත්වය ලැබී තිබුණ ද, ලබන වසරේ පැවැත්වෙන යොවුන් කණ්ඩායම්වල ආසියානු තරග සංචාර සඳහා අනුග්‍රාහකයන් සොයා ගත යුතුව ඇතැයි මේ පිළිබඳ කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

‘අපේ ප්‍රධාන අනුග්‍රාහකයා ඉන්නේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වෙනුවෙන්. නමුත් කනිෂ්ට ක්‍රීඩකයන්ගේ පුහුණුවීම්වලට යම් අනුග්‍රාහකත්වයක් ඔවුන්ගෙන් ලැබෙනවා. ඒත් යොවුන් ක්‍රීඩකයන්ගේ විදෙස් තරග සංචාරවලට අපිට වෙනම අනුග්‍රාහකයන් සොයාගන්න වෙනවා. ඒකට තමයි මේ මෙහෙයුම සිදු කරන්නේ.‘ ඉල්යාස් මහතා කියා සිටියේය.

කනිෂ්ඨ කණ්ඩායම්වල විදෙස් තරග සංචාර සඳහා අනුග්‍රාහකයන් සොයාගැනීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් ද උපදෙස් ලැබුණු බව කී රග්බි සභාපතිවරයා, වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමත් කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ විදෙස් තරග සංචාර සඳහා අනුග්‍රාහකයන් සොයාගැනීමට විශාල දිරියක් වන බව පැවැසීය.

ලබන වසරේ මාර්තු 31 සිට අප්‍රේල් 6 දක්වා පැවැත්වෙන ආසියානු අවුරුදු 19න් පහළ බාලක 15 සාමාජික රග්බි තරගාවලියට දකුණු කොරියාව, චීන තායිපේ සහ හොංකොං කණ්ඩායම සමග ශ්‍රී ලංකා යොවුන් පිල තරග වදින අතර, මැයි මස 26 සිට 29 දක්වා ආසියානු 15 සාමාජික රග්බි ශූරතාවලියට ජාතික කණ්ඩායම එක්වනු ඇත. එම තරගාවලියට ශ්‍රී ලංකාව සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පිලිපීනය සහ සිංගප්පූරුව ද එක්වී සිටී.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් සහභාගි වන අවුරුදු 18න් පහළ ආසියානු කනිෂ්ට සත් සාමාජික රග්බි තරගාවලිය අගෝස්තු මස 21 සහ 22 දෙදින පැවැත්වෙන අතර එහි කාන්තා තරගාවලිය සැප්තැම්බර් මස 11 සහ 12 පැවැත්වෙයි.

ඔක්තෝබර් මස පැවැත්වෙන අවුරුදු 20න් පහළ බාලක හා බාලිකා ආසියානු රග්බි තරගාවලියට ද ශ්‍රී ලංකාව එක්වන අතර, නොවැම්බර් මස 5 සිට 13 දක්වා අවුරුදු 19න් පහළ 15 සාමාජික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාව, චීන තායිපේ. දකුණු කොරියාව සහ හොංකොං කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here