වැඩබිමක් වන රටක්

    0
    11

    සිය සංස්කෘතියට, සම්ප්‍රදායට පයින් ගැසූ කිසිදු රටක් දියුණුවට පත් වූයේ නැත. වර්තමානය වන විට ලෝකයේ දියුණුවට පත් වී ඇති සෑම රටක් ම පාහේ එතැනට ගමන් කර ඇත්තේ සිය සමාජ සංස්කෘතික අනන්‍යතාව මත පිහිටමිනි. ඕනෑම සමාජයක් සංවර්ධනය කිරීම යනු එකී සමාජයේ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සිදුවන්නකි. ප්‍රජාවගේ සහභාගීත්වයෙන් තොර සංවර්ධනය වූ කලී අසාර්ථක ප්‍රයත්නයකි. එහෙයින් කිසිදු සමාජයකට ‘සංවර්ධනය හෙවත් දියුණුව ‘ආනයනය’ කළ නොහැකිය. සංවර්ධනය හෙවත් දියුණුව මතුවිය යුත්තේ තම පොළොවෙන්මය. තම සමාජ, සංස්කෘතික අනන්‍යතාවන් හා සම්ප්‍රදායන් ඇසුරු කර ගනිමින්ය. ඒ අනුව ශ්‍රී ලංකාව සමාජ, සංස්කෘතික හා ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම කෙරෙහි යොමු කළ හැකි වන්නේ ද ඉහත දැක් වූ පරිදි ශ්‍රී ලාංකේය සමාජ, සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ය.

    අනගාරික ධර්මපාලතුමන් ශ්‍රී ලංකාව දියුණු කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුනක් පිළිබඳ අවධාරණය කළේය.

    1. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීම

    2. රටතුළ ක්‍රියාත්මක අධ්‍යාපනය යම් කාර්මික හා තාක්ෂණික නැඹුරුවකින් යුක්ත කරවීම

    3. රටට අවශ්‍ය පාලකයන්. නායකයන් රටේ අධ්‍යාපනය තුළින් බිහිකර ගැනීම

    අවසනාවකට වසර 72 තිස්සේ කාලයෙන් කාලයට බලයට පත් වූ මෙරට පාලකයෝ ශ්‍රී ලාංකේය ජාතිය ඉහළින් ඔසවා තැබීම උදෙසා අනුගමනය කළ ක්‍රියාමාර්ග ‘ධර්මපාල චින්තනයට’ අනුව සිදු කළේ නැත. ධර්මපාලතුමන් ඉදිරිපත් කළ සැලැස්ම අප වටහා ගත්තේ නම් අප අද ලොව ඉතා දියුණු ජාතියකි. තමන් අදින වස්ත්‍ර සියතින් ම සකස් කර ගැනීම ශ්‍රේෂ්ඨ ජාතිකයක අභිමානවත් ලක්‍ෂණයක් බව ධර්මපාලතුමන් සිය සමාජ ව්‍යාපාරය තුළ පෙන්වා දුන්නේය. රටේ ජනතාව කපු වැවීමට ද කපු ඇඳුම් වියන්නට ද උනන්දු කළේය. එසේම විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා රටේ තරුණයන් විදෙස් රාජ්‍ය වෙත පිටත් කර යැවීය.

    ඒ අනුව ධර්මපාලතුමන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නඟා සිටුවීම සඳහා ද රට තුළ කාර්මික තාක්‍ෂණික නැඹුරුව වර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය මතවාදී සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළේය. නමුත් මෙරට බලයට පත් වූ ඇතැම් ආණ්ඩු මෙම සැලසුම් ‘තුට්ටුවකට’ගණන් ගත්තේ නැත. 1970 බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යම් මට්ටමකට මෙම තත්ත්වය වටහාගෙන රටේ ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැඟෙන ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට සිරිමාවෝ මැතිනියට හැකි වූවාය. ඒ අනුව ඇය නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ ජනතා සහභාගීත්වය සහිතව රට දියුණු කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතික නගාසිටුවීමට ද කටයුතු කළාය.

    චීනය සිංගපූරුව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් ගෙන ගිය සමාජ හා ආර්ථික සංවර්ධන ව්‍යාපාර වෙතින් උකහා ගත් යම් යම් දේ සංවර්ධන ව්‍යාපාර වෙත සම්බන්ධ කර ගැනීම සඳහා මැතිනිය ක්‍රියාත්මක වූවාය. ප්‍රජාවේ අවශ්‍යතා තේරුම් ගනිමින් භාණ්ඩ නිෂ්පාදන වැඩබිම් රටතුළ ස්ථාපිත කළාය. එමගින් මෙරට ශ්‍රම සම්පත නිෂ්පාදනය කාර්යය සඳහා යොමු කිරීමට ද ප්‍රජාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා උත්පාදනය කිරීමට ද ඇය කටයුතු කළාය.

    මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හැත්තෑව දශකය අවසාන භාගය වන විට මෙරට පුරා ව්‍යාප්ත වූ කර්මාන්ත ජාලයක් දැක ගත හැකි විය. නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධන මාවතට ප්‍රවිශ්ට කරවීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි වුවද සිරිමාවෝ මැතිනියගේ ප්‍රයත්නය මුළුමන්න ම සාර්ථක නොවුණි. විශේෂයෙන් ම ආහාර, පෝෂණය හා නිෂ්පාදන මේ වැඩිපිළිවෙළ පිළිබඳ ජනතා ප්‍රසාදය හීන වී ගියේය.

    1977 මහ මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය යටතේ මැතිනියගේ වැඩිපිළිවෙළ පරාජයට පත් වන අතර නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ රට ගොඩනැංවීමේ අපේක්‍ෂා විනාශ වී ගියේ ය. 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළ පරාජයට පත් නොවී තවත් වසර කිහිපයක් හෝ එය පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ නම් අප රටට ද ලෝකයේ දියුණු රටක් වීමට ඉඩ තිබුණි. නමුත් ජයවර්ධන මහතාගේ ආර්ථික වැඩිපිළිවෙළෙහි ඇතැම් ලක්‍ෂණ මගින් මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීමට තිබූ ඉඩකඩ විනාශ කර දැමිණි.එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ කර්මාන්ත සිතියම ‘මැකී’ යන අතර කිසිදු සීමාවකින් තොරව සියලූ දේ විදෙස් රටවලින් ගෙන්වීමට පටන් ගැණුනි. යානවාහන, යන්ත්‍ර සූත්‍ර, ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, ඇඳුම් පැළඳුම්, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු ආදී සියල්ල ආනයනය කිරීම හේතුවෙන් ලංකාව විදෙස් රටවල්හි වෙළෙඳපොළක් බවට පත්විය. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු පේ‍්‍රමදාස, චන්ද්‍රිකා, පාලන යුගවල මෙම තත්ත්වය නිවැරැදි කරගැනීමට නොහැකි විය. ලංකාව දිනෙන් දින ජාත්‍යන්තරය මත පමණක් යැපෙන තත්ත්වයට පත්විය.

    නමුත් ගෝඨාභය රාජපක්‍ෂ පාලන තන්ත්‍රය තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් යම් සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. ගෝඨාභය ජනාධිපතිවරයා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ වෙන් කිරීමේ තැන් පටන් වර්තමානය දක්වා කටයුතු කර ඇති ආකාරය විමර්ශනය කිරීමේ දී මේ බව සනාථ වේ. විශේෂයෙන් ම මුළුරටම වැඩබිමක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බව පෙනේ. දේශීය සංස්කෘතිය හා සම්ප්‍රදාය මත හිදිමින් ජාතික ආර්ථියකයට පණ පෙවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය ප්‍රශංසා කටයුතුය. මේ අතර පසුගියදා. ඒ අනුව නුදුරේම ලෝක ප්‍රජාව ශ්‍රී ලාංකේය නිෂ්පාදන ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත. සියලූ නිලධාරීන් ප්‍රජාව මෙන් ම දේශපාලන බලධාරීන් ජනාධිපතිවරයා ගෙන යන මේ වැඩිපිළිවෙල සාර්ථක කරගැනීම පිණිස සිය දායකත්වය දැක්විය යුතු යන්න අපගේ හැගීමයි.

    රටක ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය වන්නේ නිරවුල් ස්ථාවර අනම්‍ය වූ ආර්ථික දර්ශනයකි. මාර්ග ඉදිකිරීම හෝ ගොඩනැගිලි ඉදිකිරීම හෝ ක්‍රීඩා පිටි සකස් කිරීමෙන් පමණක් ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකිය. එය ජනතා සහභාගීත්වය මත පදනම්ව ගොඩනැගෙන ආර්ථික පිළිවෙතක් විය යුතුය. මෙහි දී නිෂ්පාදන ක්‍රියාවලියේ වේගවත් බව වැදගත් වේ. ධර්මපාලතුමා පැවසුවාක් මෙන් අප අපට අවශ්‍ය දේ අප රට තුළම නිපදනවා ගැනීමට හැකිතාක් උත්සාහ ගත යුතුය. ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස නොව විදෙස් ණයබරින් මිදුණු පුරවැසියෙක් බිහිකර ගැනීම පිණිසය.

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ 
    ජනසන්නිවේදන අධ්‍යයන අංශය 
    කැලණිය විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here