ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරය ජනවාරියේ අරඹනවා – විදුලිබල ඇමැති

0
32

පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක බලාපොරොත්තු දල්වමින් ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (17) පැවැසීය.

අැමැතිවරයා මෙම අදහස් පළ කෙළේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට කැපකිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගි වෙමිනි.

ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් කඳාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ආරම්භ වූ මෙම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කඳාන ලින්ටන් පාරේ, අංක 253/2 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කළ පහසුකම් වලින් සමන්විත වන අතර සේවා බිඳවැටීම් වලට සහභාගී වීම ඉක්මන් ප්‍රතිස්ථාපනය සඳහා දුරස්ථව අධීක්ෂණය කරනු ලැබේ. LECO හි නව හඳුන්වාදීම “LECO Payment Kiosk” ද මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල 20 kWp සූර්ය වහල ඉහළ පද්ධතියකින් ද නවීන බලශක්ති අධීක්ෂණ පද්ධතියකින් ද සමන්විත වේ. නව සහ පවතින ගනුදෙනුකරුවන්ට LECO සේවා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. මෙම සේවාවට නව සේවා සම්බන්ධතා, ගිණුම් නාම වෙනස් කිරීම, තීරු ගාස්තු වෙනස් කිරීම, මීටර පරීක්ෂාව, ශුද්ධ මීටර සම්බන්ධතා, සේවා වයර් / ධ්‍රැව / මීටර මාරුව ඇතුළු සියලුම පාරිභෝගික සේවා ඉල්ලීම් ඇතුළත් වේ. සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 50 කි. මෙහි විශේෂත්වය වන්නේ පැය 24 සහ දින 365 විවෘත සේවාවකි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.

2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සමස්ත විදුලි පද්ධිතියට සියයට 70ක ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.අද මේ සිදුවන්නේ අනාගතවාදී කටයුත්තක්. විෂයබාර අැමැතිවරයා හැටියට ඉතාමත් ආඩම්බරයෙන් කිවයුතු කාරණාවක් තමයි ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම තුළ ඩිජිටල් ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම රට හමුවේ තැබීමයි. ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන්නම්, අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය විය යුතුයි. ලෙකෝ ආයතනය ඒ වෙනුවෙන් මනා මගපෙන්විමක් ලබා දෙනවා. ලෙකෝ පාරිභෝගික සංඛ්‍යාව අද වනවිට පන්ලක්ෂ අසූදහසක් පමණ වෙනවා. බොහෝ ආයතන තම පාරිභෝගිකයන් ගැන වැඩි සැලකිල්ලක් නැහැ. ලෙකෝ ආයතනය ආදර්ශමත් රාජ්‍ය ආයතනයක් විදියට ඒ වෙනුවෙන් සමාජයට නායකත්වයක් ලබා දෙන බව කිවයුතුයි.

දේශපාලඥයාගේ භූමිකාව වන්නේ ප්‍රශ්න වලට තිබෙන හේතු ඉවත් කිරීම බව පැවසු අැමැතිවරයා, විදුලිබල ක්ෂේත්‍රය ඇතුළත තිබෙන ප්‍රශ්න සදහා බලපාන හේතු ඉවත් කිරීම, විෂයබාර අැමැතිවරයා වශයෙන් තමා බාරගන්නවා. එසේම පාලකයන් වශයෙන් පාරිභෝගිකයාට අවම මිලක් යටතේ අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සේවාවක් සැපයීම තම වගකීමයි. මේ වනවිට රටක් වශයෙන් අප බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටිනවා. අපේ අනාගත පැවැත්ම බලශක්තිය බව වටහා ගත යුතුයි.බලශක්තියට ගරු කරමින්, විදුලිය විනයක් මත පරිහරණය කර සංරක්ෂණය කර ගැනීම පාරිභෝගික වගකීමක් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අධිනීතීඥ අතුල ද සිල්වා සහ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා , ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, උප සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

චන්දිමා කරුණාරත්න හා රාගම විශේෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here