ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද දකුණු අප්‍රිකාවට

0
17
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඇන්ජලෝ හැලෙයි: දිමුත් – ළහිරු එක් වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි. එල්පීඑල් තරගාවලිය නිමාවූ වහාම ක්‍රීඩකයන් 21කින් යුත් ශ්‍රී ලංකා සංචිතය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ගමන ආරම්භ කිරීමට සූදානම් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 21කින් 19ක්ම පසුගිය දිනවල පැවැති එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ අතර, නායක දිමුත් කරුණාරත්න, සන්තූෂ් ගුණතිලක හා ළහිරු තිරිමාන්න දකුණු අප්‍රිකාව බලා පිටත් වූ සංචිතයට එක් වූහ. එල්පීඑල් අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් සංචාරයට එක් නොකිරීමට තීරණය වී ඇත.

මෙයට දින කිහිපයකට පෙර තරග සංචාරයේ පවතින තත්ත්වය තක්සේරු කිරීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මිය දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය අතර, ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටල් හා ක්‍රීඩාංගණ ඇතුළු සියලු පහසුකම් පරීක්ෂා කොට යහපත් වාර්තාවක් සපයා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩල උපදේශක මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවසීය. කොරෝනා හේතුවෙන් වෙනම විශේෂ ගුවන් යානයකින් දකුණු අප්‍රිකාව බලා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර, පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වැනිදා බොක්සිං දිනයේදී සෙන්චූරියන් සුපර් ස්පෝට්ස් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 3 වැනිදා ජොහැනර්ස්බර්ග් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී 7වැනිදා නිමාවට පත්වේ. එම තරගය නිමාවූ වහාම ශ්‍රී ලංකා පිල මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අතර ,කෙලින්ම හෝටලය වෙත ගොස් එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට සූදානම් වේ.

මෙතෙක් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, ටෙස්ට් තරග ඉතිහාසයේදී තරග 29ක් පවත්වා තිබේ. ඉන් තරග 14ක ජය දකුණු අප්‍රිකාව හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 9ක ජය හිමිකර ගත්තේය. දෙරට අතර දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 15ක් පවත්වා ඇති අතර, එයින් 11ක ජය දකුණු අප්‍රිකාව හා 3ක ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ. තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සන්තුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here