හැඩකාර වැඩකාරයන් සමතලා කළ කිරිකෝඩුව

0
8
19 දෙසැම්බර්, 2020

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී (LPL) දෙස් විදෙස් හැඩකාර හා වැඩකාර පිතිකරුවන්, පන්දුයවන්නන් අසරණ කළ ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට වරම් නොලැබූ කෝඩුකාර යෞවනයන් කීපදෙනෙක්ම වූහ.

ඒ අතරින් තවමත් 22 හැවිරිදි වියේ පසුවන ධනංජය ලක්ෂාන් වැඩි අවධානයක් දිනාගත්තේය.

අතිරේක ක්‍රීඩකයකු ලෙසින් සංචිතයට එක්ව තරගාවලියේ අවසන් භාගයේ ගෝල් ග්ලැඩියේටර් පිලේ ගැලවුම්කරුවා වූයේද යොවුන් ලක්ෂාන්ය.

විසිපස් හැවිරිදි රමේෂ් මෙන්ඩිස් ද මෙම තරගාවලියේදී කැපී පෙනුණු යොවුන් ක්‍රීඩකයෙකි. ජැෆ්නා ස්ටැලියන්ස් පිල නියෝජනය කළ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විජයකාන්ත් වියස්කාන්ත් ද එලෙස අවධානයට ලක්වූවෙකි.

ධනංජය ලක්ෂාන් තරග 7ක ඉනිම 4කදී නොදැවීම් 3ක් ද සමගින් ලකුණු 68ක් රැස් කළේ ලකුණු 68.00ක සාමාන්‍යයක් මෙන්ම 130.77ක ලකුණු රැස් කිරීමේ වේගයක් රඳවාගෙනය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ ධනංජය පන්දුවාර 22කදී ලකුණු 189කට කඩුලු 10ක් දවාලමින් ලකුණු 18.90ක සාමාන්‍යයක් රඳවාගත් අතර සමස්ත තරගාවලියේදී වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතුරින් 4වැනි තැනට පත්විය.

ධනංජය ලක්ෂාන්ගේ පන්දු හමුවේ ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් සහ තරගාවලියේ එකම ශතකලාභියා වූ ලෝරී එවන්ස් අසරණ වූහ.

රමේෂ් මෙන්ඩිස් පන්දුවෙන් දස්කම් දක්වමින් තරග 6ක ඉනිම 6කදී ලකුණු 120කට කඩුලු 6ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් ඉනිම 4කදී නොදැවීම් 2ක් සමගින් ලකුණු 49ක් රැස්කළේ ලකුණු 24.50ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 5 නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ජාතික වරම් නොලැබූ ක්‍රීඩකයින් 30 දෙනෙක් තෝරාගත් අතර, ඉන් ක්‍රීඩකයින් 16 දෙනෙකට එල්.පී.එල්. තරග වරම් හිමිවිය.

අවසන් පූර්ව තරගයේදී ධනංජය ලක්ෂාන් හමුවේ දැවී ගිය දිනේෂ් චන්දිමාල් තම ප්‍රතිවාදී පිලේ පන්දු යවන ධනංජය ලක්ෂාන් ගැන ප්‍රශංසාවෙන් පැවසුවේ “ඔහුගේ පන්දුව දෝලනය කිරීමේ හැකියාව සුවිශේෂී බවත්, ශ්‍රී ලංකා පිලට මෙවැනි පන්දු යවන්නන්ගේ අවශ්‍යතාවයක් ඇති බවයි.’’

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here