අකුරැස්සෙන් ඡන්ද දිනුව වැස්ලි නුවර ඩොරින්

    0
    41

    1941 වසරේ දී දොස්තර සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහට සම සමාජ සාමාජිකත්වය අහිමි වේ. ඒ න්‍යායාත්මක ගැටලුවක් නිසාවෙනි. ඉන් අනතුරුව ඔවූහූ එක් වී කම්කරු සමාජය පිහිටුවා ගත්හ. එම වසරේ දී ම සෝල්බරි ව්‍යවස්ථාව විවේචනය කළ ලියවිල්ලක් හේතුවෙන් පාලකයෝ වික්‍රමසිංහව සිර භාරයට ගත්හ. ඔහු වසරක සිරිබත් කෑවේය. ඒ හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය වසර හතකට අත්හිටුවීය. එබැවින් එකී වසරේ අකුරැස්ස අසුනට කරන කිරීමේ වරම වික්‍රමසිංහට නොලැබිණි.

    මේ සියල්ල අහිමව ගිය ද දොස්තර සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහ සමීපයේ එක් ගැහැනියක ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙමින් සිටියාය.

    ඒ ගැහැනිය ඩොරින් විනිප්‍රිඩා යං විය. ඇය වික්‍රමසිංහගේ සෙනෙහෙබර බිරිය වූවාය.

    1907 වසරේ පෙබරවාරි මස 15 වැනි ඩොරින් ළදැරියගේ උපත සිදුවිය. ඒ බ්‍රිතාන්‍යයේ වේෂයර්හී වැස්ලි නුවරදීය. විලියම් යං සහ ලිලී වියර් දෙපළට දාව ඕ උපත ලබන්නීය. ඩොරින් යං , මූලික අධ්‍යාපනයෙන් පසු හාර්ට්ෂේඞ් ෂයර්හී ශාන්ත ක්‍රිස්ටෝපර් කොලිජියෙන් අධ්‍යාපනය ලැබීය. එහිදී ඇය ප්‍රංශ භාෂාව හැදෑරුවාය. අනතුරුව 1929 වසරේදී ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ඩී.එස්.සී. උපාධිය ලැබුවාය. ඩොරින්ගේ මව්පියෝ, ප්‍රගතිශීලී ව්‍යාපාරයට ළැදිව කටයුතු කළහ. ඇය ද එයට සහාය පළකළාය.

    ලන්ඩන් නගරයේ නෘත්‍ය ශාලාවක ඉංග්‍රීසි නාට්‍යයක් රඟ දැක්වෙමින් තිබිණ. ප්‍රේක්ෂක ප්‍රභූවරුන් අතර සිටි ඩොරින් විනිප්‍රිඩා යං මෙනෙවිය නාට්‍යය ආරම්භ වූ මොහොතේ සිටම මහත් උද්යෝගයෙන් එය නරඹමින් සිටියාය. ඇගේ නෙත මෙන්ම සිත ද එකී ඉංග්‍රීසි නාට්‍යයේ රංගන ශිල්පියකු කෙරෙහි ආශක්ත වෙමින් තිබිණි. ඔහු ආසියාතික යෞවනයෙකි. එය අවසානයේදී මුළුමනින් ම ඩොරින් මෙනෙවිය යෞවනයාට බැඳී සිටියාය .

    මිතුරියකගේ සහායෙන් ඕ ඔහුව හඳුනාගත්තාය. යෞවනයා ශ්‍රී ලාංකිකයෙන් වූ අතර හේ සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහ විය. ඩොරින් එවකට ආර්ථික විද්‍යාව හදාරමින් සිටි සිසුවියකි. ඔහු ලන්ඩන් නගරයේ සෙන්ට් බර්තොලමියුස් ආරෝග්‍ය ශාලාවේ අධ්‍යාපනය ලැබූවෙකි. දෙදෙනා අතර ඇරඹුණු සුහඳතාව කෙමෙන් දළු ලෑහ.

    බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත්විජිත යුගයක්ව පැවැති මේ යුගයේදී ව්‍යාප්ත වූ මිෂනාරි අධ්‍යාපනය ක්‍රමය මෙරට ව්‍යාප්ත විය. එයට එරෙහි පරම විඥාර්ථ බෞද්ධ සංගමය ක්‍රියාකාරී වූ අතර ම‍ෙරටේ ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ඇරඹීය. මාතර සුජාතා බාලිකාව 1930 වසරේදී මාතර සුජාතා බාලිකාව එසේ බිහිවන පාසලකි. බුදු දහම පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනුමැති උපාධි ධාරිනියක් එහි විදුහල්පති කර ගැනීමට අදහස් කෙරිණි.

    සුගීස්වර වික්‍රමසිංහය, එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක මන්ත්‍රීවරයා ය. ඔහුට මේ සඳහා එතෙර සිටින තම මිතුරියකය වූ ඩොරින් විනිප්‍රිඩා යං මෙනෙවිය සිහිපත් විය. මාතර පරම විඥාර්ථ බෞද්ධ සංගමයේ ලේකම් ධුරය දැරූ වික්‍රමසිංහ යෞවනයාට, ඇය මේ භාරධූර කාර්යය සඳහා ගෙන්වා ගැනීමට කිසිදු බාධාවක් නොවිය.

    1930 වසරේදී ඩොරින් යං මෙනවිය මෙරටට පැමිණ මාතර සුජාතාවේ ප්‍රථම විදුහල්පතිනිය ලෙස වැඩ බාර ගත්තාය. එවකට ඇය විසිතුන් වියේ පසුවූවාය. කෙටිකලකින් ඕ මෙරට අධ්‍යාපනයේ තත්ත්වයත් , දරුවන්ගේ කුසලතාත් තේරුම් ගත්තාය.

    රටක දරුවනට ප්‍රථමයෙන් තම මව්බස ගැන අවබෝධයත් ලබා දියයුතු බවත්, එයින් අධ්‍යාපනය ලබා දිය යුතු බවත් යං මෙනවියගේ අදහස විය. එසේම තම මව්බස නොදැන ඉංග්‍රීසි භාෂාව උගත නොහැකි බව ද ඇය තරයේ ඇදහීය.

    මෙරට පාසල් දරුවන් දැනසිටියේ බ්‍රිතාන්‍ය ස්ටුවඩ් රජ පෙළපත ගැන විනා, තම රටේ ඉතිහාසය ගැන නොවන වග, ඩොරින් විනිප්‍රිඩා යං දැනගත්තාය. ඒ ඔවුන්ට අධ්‍යාපනය ලබා දී ඇති සැටිය. මෙය විකාරයක් යැයි, ඇය මිෂනාරි අධ්‍යාපනඥයන්ට පැවසූ කල එයට උත්තර සපයන්නට ඔවූහූ අපොහොසත් වූහ. දරුවන් තුළ දේශානුරාගය ඇතිවන්නේ තම රටේ ඉතිහාසය දැන ගැනීමෙන් බව ඩොරින් ඔවුන් හට නොබියව ප්‍රකාශ කළාය. මෙවැනි දෑ කතාබහ කිරීමෙන් තමා කොයි මොහොතක හෝ රාජ උදහසට ලක් වේ යැයි ඇය සිතුවේය. ඩොරින්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ මහාවංශය පාසලට රැගෙන ආවාය. රජ පෙළපත ගැන ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්නට ඕ උත්සාහ කළ අතර. ඇගේ කැඩුණු සිංහල උච්චාරණය සියල්ලන්ගේම සිනහවට ලක්විය.

    1933 වසරේ අප්‍රේල් මස 26 වැනි දින ඩොරින් විනිප්‍රිඩා යං , සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහ සමඟ විවාහ වූවාය. තමාගේ ස්වාමි පුරුෂයා වූ හෙතෙම ද තමා මෙන්ම දේශානුරාගී අදහස්වලින් සන්නද්ධ වීම ගැන ඇයට මහත් අස්වැසිල්ලක් විය. විවාහයෙන් පසු ඕ ඩොරින් වික්‍රමසිංහ වූවාය.

    1934 – 1935 වසරවලදී මැලේරියා වසංගතය අගනුවරින් ඉතා දුරබැහැර ප්‍රදේශවල ව්‍යාප්ත විය. මෙයින් පීඩාවට පත් වැසියන් බේරාගැනීමට සූරිය මල් ව්‍යාපාරයේ සාමාජික පිරිස කඩිනම් වූහ. ප්‍රදේශවලට අවශ්‍ය ඖෂධ මෙන්ම හාල්, සීනි, පිටි, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය සාමාජිකයන් අතර සිටි ප්‍රධාන සාමාජිකයා වූයේ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ය. මේ ගිය අයවලුන් අතර නොබියව ගොස් ඔවුන්ගේ සුව දුක් විචාරවූවන් අතර වික්‍රමසිංහ සහ ඩොරින් යං යුවළ ද වූහ. මේ සඳහා ඇය ඇපකැප විය.

    1905 වසරේදී නිල්බා කුලරත්න නම් කාන්තාවක විසින් කොළඹ උසස් බාලිකා විද්‍යාලය වන ආනන්ද බාලිකාව ආරම්භ කළාය. එහි විදුහල්පතිනි ධුරය භාර ගන්නැයි පී. ද ඇස්. කුලරත්න මහතා ඩොරින් විකුමසිංහට යෝජනා කළේය. ඇය එය ඉමහත් ප්‍රීතියකින් බාරගත්තාය. 1933 – 1936 කාලය ඇය එම ධුරය දැරුවාය. මෙකී වකවානුවේදී බාලිකාවෝ තුළ සංහිඳියාව, පෞරුෂත්වය, කුසලතා හා ආකල්ප වර්ධනය වූහ. ඩොරින් මහත්මිය, ඔවුන්ට ලෝකය ගැන කියා දුන් අතර ඒ ගැන වැඩිදුරටත් කියා දීම සඳහා ආනන්ද බාලිකාවියන් ව ඉන්දිය සංචාරයකටද සහභාගි කරවීය. .

    රවීන්ද්‍රනාත් තාගෝර් තුමන් ඇතුළු සංගීත කණ්ඩායම මෙහි පැමිණි ඒ දිනවල නවාතැන් ගැනීමට ඇය තම බාලිකා නේවාසිකාගාරය පිරිනැමූවාය. ඉන් අනතුරුව ඕ පහන් වන තුරු සිසුවියෝ සමග භාරතීය සංගීත රසය වින්දාය. වරක් කොළඹ හෙදි කණ්ඩායම හා තම බාලිකාවේ සිසුවියන් අතර පැවති නෙට්බෝල් තරගයක දී ඩොරින් ඔවුන් ධෛර්යමත් කිරීමට අපූරු දෙයක් කළාය. ඒ ඇයද ඔවුන් හා එක්ව ක්‍රීඩා කිරීම ය.

    1935 වසරේදී මෙරට ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය බිහි වේ. ඒ සම සමාජ පක්ෂයේ ආරම්භය ය. එය වික්‍රමසිංහගේ සහ ඩොරින්ගේ කටයුතුවලට ඉමහත් රුකුලක් විය.

    මේ අතර ඩොරින් යං ට නොසිතූ කරදරයකට මුහුණපෑමට සිදු විය. එය සිදුවන්නේ දේශපාලනයට මුල් තැන දීම නිසාවෙනි. ඒ ආනන්ද බාලිකාවේ ඇය දැරු විදුහල්පති ධුරය මෙන්ම, නිල නිවස ද හදිසියේ අහිමි වීමය. එතැන් සිිට සැමියා සමග පූර්ණ කාලීන දේශපාලනයේ ක්‍රියාකාරීව හැසිරීමට ඩොරින්ට හැකි විණි.

    දොස්තර වික්‍රමසිංහ සේම ඇය ද දේශානුරාගය ඇදහීය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න කියා පාමින් ඇය නිවසේ තිබු බටහිර පන්නයේ ගෘහ භාණ්ඩ මෙන් ම ඇඳුම් පැළඳුම්, මෝස්තර රටා හා ආහාර පාන ප්‍රතික්ෂේප කළාය. ඒ වෙනුවට දේශීය ඌරුවේ දෑ නිවසට ගෙන ආවාය. දුගී ජනතාවගේ දහඩිය මහන්සියෙන් නිපද වූ අත්කම් භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා ආහාර පාන ද ඒ අතරය. සැමියා වෛද්‍ය වෘත්තියෙන් හා දේශපාලනයෙන් සමබර වනවිට බිරිය දේශීය සාරියකින් සැරසී පාවහන් නොපැළඳ ගේ දොර වැඩ කටයුතු කළාය. ඒ ඩොරින් යං , මෙහෙකරුවන්ට ඉඩක් නොදීය.

    ඕ මෙහෙකාරියක මෙන් තම ස්වමියාට බැලමෙහෙ කළාය. සමහර දිනවල සැමියාගේ මාතර බෙහෙත් ශාලාවට බෙහෙත් පවා ගෙන ගොස් දුන්නේ ඩොරින් යං මහත්මිය ය.

    තමා ද කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන්න කැමති බව ඇය නිතර නිතර සැමියාට කියා සිටියාය. චීන හා රුසියානු සමාජවාදයට ඇය ප්‍රිය ය. කොමියුනිස්ට් පක්ෂයට එක් වීමට පෙර සිටම ඇය බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට බැඳී සිටියාය. නිදහස් සටනට නායකත්වය දුන් ඉන්දීය ලීග් සංවිධානයට සහය දුන්නාය.

    ඉන්දීය නිදහස් අරගලයෙදී සිර බත් කෑ ඉන්දීයානු සමාජවාදීන් බැලීමට දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සිපිරිගෙයට ද ගියේය. ඩොරින් ද ඒ ගමනට එක්වීය. මේ ගමනේ දී සමාජවාදී නායකයන්ගේ බිරියන් අතරේ සුදු ජාතික ඩොරින් මහත්මිය වඩාත් කැපී පෙනුනි.

    ඇය තම සැමියාගේ ශාස්ත්‍රීය ලිපි සහ කතාවලට අගනා සහයක් ලබා දුන්නාය. ඩොරින් , ළමා මෙහෙකාර සේවයට විරුද්ධව වික්‍රමසිංහයන් කළ කතාවකට කරුණු සොයා දුන්නාය.

    ඩොරින්ගේ ස්වාමියා මෙරට දී ප්‍රචලිත වූයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ නමිනි. හේ ශ්‍රී ලාංකේය කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයා. ඇය ද මෙරට වාමාංශික කඳවුරේ කාන්තා නියෝජනයේ ප්‍රබල දායකත්වයක් ලබා දුන්නාය.

    වික්‍රමසිංහ මහතාගේ මොරවක ආසනය පරාජය වීමත් සමඟ එයින් ලද අවිවේකයත්, වෙහෙසත්, ආර්ථිකය කඩා වැටීමත් සමඟ මිතුරිය වන ශිරානි සමග බ්‍රිතාන්‍යයට පිටත්ව යන්නීය. දොස්තර වික්‍රමසිංහ ද එහි ගිය ද දෙදෙනාගේ ම මනස තිබුණේ මෙරට සමාජවාදී දේශාපලන කෙරෙහිය.

    ඩොරින් වික්‍රමසිංහ යළි මෙරටට පැමිණෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගුරු ඩිප්ලෝමා සහතිකයක් ද රැගෙනය. රජයේ සේවයෙන් බැහැර වූ ඇය මෙරට දූ දරුවන්ට පෞද්ගලික විද්‍යාලයක් ආරම්භ කරන්නීය.

    1952 වසරේදී පැවැත්වෙන මහ මැතිවරණයට, ඩොරින් වික්‍රමසිංහට අකුරැස්ස ආසනයට තරග වැදීමට ආරාධනා ලැබේ. ඇයට තරග වැදීමට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සරත් විජේසිංහ සමඟය. සරත්, වික්‍රමසිංහගේ ඥාති සොයුරාය. ඔහු ඉඩම් හිමි වැවිලිකරුවකුව සිට පසුව බණ්ඩාරනායක ආණ්ඩුවල ඇමැති ධුර දැරීය. මෙකී මැතිවරණයෙන් ඩොරින් වික්‍රමසිංහ ඡන්ද 16,626 ක් ලබා ගන්නා අතර වැඩි ඡන්ද 1001 කින් අකුරැස්ස ආසනය දිනාගන්නීය. ආසියානු කලාපයේ පාර්ලිමේන්තු අසුනත් ජයග්‍රහණය කළ ප්‍රථම විදේශීය කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වේ.

    මියගිය දිනෙන තම සිරුර වෛද්‍ය සිසුන්ගේ අභිවෘධිය සඳහා වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරන ලෙස ඩොරින් වික්‍රමසිංහ ඉල්ලා සිට ඇත. මෙරට දස දහස් ගණනකගේ ඇස්කණ් පාදා හරිමඟ පෙන් වූ මේ වීරෝදාර ගැහැනියගේ අවසන් කැමැත්ත එය විය. 2000 වසරේ මැයි 29 දින ඇය සමුගන්නේ 70 වසරක මතක ගොන්නක් අපට ඉතිරිකරය. එසේම එදාට වඩා අදට මෙවන් වූ ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ අඩුවක් ඇති බව ඩොරින් විනිප්‍රිඩා යං අපට මතක් කර දෙනවා නොවේ ද?

     

     අනුසාර මාහිංගොඩ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here