අධිකරණයට අපහාස කළැයි රන්ජන්ගේ නඩුව 12 දා යළි කැඳවයි

0
33
Author(s): 
නෙල්කා මැදගෙදර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව වැඩි දුර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ජනවාරි 12 වැනිදා එම නඩුව කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීරණය කළේය.

 විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ නඩුව ඊයේ (18) කැඳවන ලදි.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේ නඩු විභාගයේදී මතු වූ ගැටලු නිරාකරණය කර ගැනීමට සහ අපහැදිලි තැන් පැහැදිලි කර ගැනීමට මේ නඩුව කැඳවූ බවය. එය ඊළඟ නඩු දිනයේ සිදු කරන බව විනිසුරු මලල්ගොඩ මහතා සඳහන් කළේය.

මේ නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන පැවැත්වීම අවසන් කර ඇති අතර මතු වූ ගැටලු නිරාකරණය කිරීම සිදු කිරීමට නියමිතය. ඒ සඳහා අවස්ථා කිහිපයකදීම නඩුව කැඳවනු ලැබූවද විවිධ හේතු නිසා එය කල් දැමිනි.

මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු ඇමැතිවරයාට එරෙහිව මේ චෝදනා පත්‍රය ඉදිරිපත් කෙරිණි.

2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා කොළඹ, අරලියගහ මන්දිරයේදී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට සහ නීතිඥවරුන් පිළිබඳ සිදු කළ ප්‍රකාශ තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබිණ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණයට පැමිණ සිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here