අමීර් ජගත් පිටිය අත්හරී

0
22

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජගත් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

නවසීලන්ත තරග සංචාරය සඳහා නව සංචිතයට නම් නොකිරීම හේතුවෙන් ඔහු මේ තීරණය ගෙන ඇති අතර, වත්මන් පාකිස්තාන ක්‍රිකට් පරිපාලනය සමඟ කටයුතු කිරීමට නොහැකි බවත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය තමාට සැලකූ ආකාරය දැඩි මානසික පීඩාවක් වූ බවත් මේ තීරණයට හේතුවක් වූ බව ඔහු පවසා තිබේ.

ඔහු සිය සමුගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නිල නිවේදනය නිකුත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

2009 වසරේ ජගත් තරග බිමට පිවිසි අමීර් 2010 වසරේ මුදලට තරග පාවාදීමේ චෝදනාවකට හසු වීම හේතුවෙන් වසර 5ක ක්‍රිකට් තරග තහමකට ලක් විය. 28 හැවිරිදි ඔහු පසුගිය අගෝස්තු මාසයේදී අවසන් වරට ජගත් තරගයකට එක් වූයේ එංගලන්තයට එරෙහිව එංගලන්තයේ පැවැති විස්සයි20 තරගාවලියේදීය.

අනතුරුව මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත සංචාරයට ඔහු නම් නොකළ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් විය.

ටෙස්ට් තරග 36කදී කඩුලු 119ක් දවා ගෙන ඇති ඔහු, එක්දින තරග 61කදී කඩුලු 81ක් සහ විස්සයි20 තරග 50කදී කඩුලු 59ක් බිඳ දමා තිබේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් හා එක්දින වරම් දිනාගත් ඔහු අවසන් වරට එක්දින තරගයට ක්‍රීඩා කළේ ද ශ්‍රී ලංකා පිලට එරෙහිවය.

එල්පීඑල් තරගාවලියේ තරගයක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 26කට කඩුලු 5ක් බිඳ දැමූ අමීර් තරගාවලිය පුරා කඩුලු 11ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර, 5 වැනි තැනට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here