එදා ටොප් ටොප් වැඩ කළ මරදානේ ටිප් ටොප්

    0
    33

    ඩී. එස්. සේනානායක අගමැති හදිසියේ අභාවප්‍රාප්ත වීමට කලකට පෙර 1950 දී පමණ කොළඹ ක්‍රමය මගින් සංවිධානය කරන ලද මහා විශාල ප්‍රදර්ශනයක් එවකට වික්ටෝරියා උද්‍යානයේ (වත්මන් විහාරමහාදේවි උද්‍යානයේ) පැවැත්වීමට සංවිධානය කර තිබුණි. නියමිත දිනයේ අග්‍රාණ්ඩුකාරවරයා පිළිගැනීමට අගමැති ප්‍රධාන ඇමැතිවරු වගබලමින් සිටියහ. අග්‍රාණ්ඩුකාරයාට තිබුණේ රෝල්ස් රොයිස් රථයකි. ඒ කාලයේ අද මෙන් අඩියෙන් අඩියට පොලිස් නිලධාරීන් නැත. නවීන පන්නයේ ආරක්ෂක විධි සේවා ද නැත. ජංගම දුරකතන සේවා ඇත්තේම නැත.

    වේලාව හතරයි පනස් නමයට පමණ ඇත. රෝල්ස් රෝයිස් රථයක්. නිල වාහනයක ගමන් වේගයෙන් ඉදිරියට ඇදී ආවේය. සියල්ලෝ සූදානම් වූහ. පිටු පස ආසනයේ අග්‍රාණ්ඩුකාරවරයා තේජස් විලාශයෙන් වාඩි වී සිටියේය.

    අගමැති ඩී. එස්. සේනානායක මහතා ඉතා ගෞරවනීය ආකාරයෙන් ඉදිරියට ගොස් වාහනයේ දොර හැරියේය. ඇතුළත බැලූ ගමන්ම ‘මේ ටිප් ටොප් ඉන්නේ යි’ කෑගසා දොර ආපසු වැසුවේය. ආරක්ෂක නිලධාරීහු රථයත් සමඟ ‘ටිප් ටොප්’ ඉවත් කරන්නට මහන්සි ගනිද්දී අග්‍රාණ්ඩුකාරතුමාගේ රෝල්ස් රොයිස් රථය ඉදිරියට ඇදී ආවේය.

    අගමැති ඉතා අපහසුවෙන් සිනාව මැඩගෙන පිළිගැනීමේ කාර්යයෙහි නියුක්ත වූයේය. විහිළුව ප්‍රිය කළ ව්‍යාපාරිකයෙක් සිය රෝල්ස් රොයිස් රථයෙන් ටිප් ටොප් කැඳවා ගෙන විත් තිබුණි. අද වැනි දිනයක මේ සිද්ධිය වූවා නම්?

    ඒ 1970 සමඟි පෙරමුණ රජය පිහිටුවා දින කිහිපයකට පසු මිහිඳු මාවතේ දවස නිවසේ රිවිරැස කාර්යාලයට මේ විශ්මිත මිනිසා ‘ටිප් ටොප්’ පැමිණියේය.

    ඒ රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේ මහතා හමුවීමටය. ලියනගේ මහතා ‘ටිප් ටොප්’ ගැන දන්නේය. ටිප් ටොප් ගැන විවිධ හාස්‍ය ජන කතා බහුතරයක්ම පත්තර කතුවරු දැන සිටියහ. යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි ටිප් ටොප් හිසේ පැළඳ සිටි තොප්පිය අතට ගෙන අසල මේසයක් මත තැබුවේය. ඔහු කෝපයෙන් යුතුව හැසිරෙන අයුරු ලියනගේ මහතා තේරුම් ගත්තේය. ටිප් ‍ටොප් පරණ ලියුම් කඩදාසිපත් ද අතට ගත්තේය.

    “සිරිමාවෝ මට පොරොන්දු වෙලා තිබුණා ටික දවසක් අගමැතිකම කරල ඊට පස්සේ ධුරය මට බාර දෙන්න. මම කලක් රට පාලනය කරල අනුරගෙ (අනුර බණ්ඩාරනායක) කල දවස හරි ගියාම ඒ දරුවාට බාර දෙන්න. මේ සමසමාජකාරයො ටික ඇන්.ඇම්. ල මේකට පැනල වැඩේ කෑවනේ.”

    කවුද මේ ටිප් ටොප්. ටිප් ටොප් දැක පුරුදු ඇති අය අද සිටින්නේ ඉතා ටික දෙනෙකි. නමුත් ඔහු ගැන බොහෝ දේ දන්නා වයෝවෘද්ධයෝ අදත් සමාජය තුළ සිටිති.

    හිටපු අගමැතිවරයකු වන සර් ජෝන් කොතලාවල අභාවප්‍රාප්ත වූයේ මෙයින් අවුරුදු හතළිහකට පළමු 1980 ඔක්තෝබර් 04 වන දිනයේය. සමාජයේ බොහෝ ජනප්‍රිය වූ ටිප් ටොප් මියගියේ ද ඒ දිනවලය. ඒ ගැන ඉදිරියට කතා කරමු.

    අපි මේ කතා බහ කරන පුද්ගලයා ටිප් ටොප් හෙවත් ටිප් ටොප් සිල්වාය. ටිප් ටොප් මානසික රෝගියෙක් ද විකාරරූපී පුද්ගලයෙක් ද සුවිශේෂී මිනිහෙක් ද යන්න ගැන පසුව නිශ්චය කර ගනිමු. ඔහු ගැන කිසිත් නොදන්නා නව පරපුරේ අයට හඳුන්වා දීම අපේ යුතුකමකි. සම්පූර්ණම විස්තරයක් අපිත් නොදන්නෙමු. 1895 දී පමණ ගාල්ලේ දී ජන්ම ලාභය ලැබූ ඔහු සිල්වා නමින් හැඳින්වේ. තරුණ වියේදී රැකියාවක් සොයා කොළඹට පැමිණි සිල්වාට සිංහල, ඉංග්‍රීසි පමණක් නොව දෙමළ සහ තෙලිඟු භාෂාව ගැන ද දැනුමක් තිබුණි. විවිධ රැකියා කළ ඔහු පසුව දත් බෙහෙත් නිෂ්පාදනය කළේය. එහි නම “ටිප් ටොප්” ය. ටිප් ටොප් දත් කුඩු පැකට් ඇසිරීම පිණිස ඔහු මුලදී පාවිච්චි කරන ලද්දේ ඒ කාලයේ ජනප්‍රියව තිබුණු අලියා සිගරැට් ටිං කොටකර කපා ගත් පැතැලි ටිං වර්ගයකි. එම ටිං එකේ ටිප් ටොප් ලේබලයේ විශාල දත් කුට්ටමක පිංතූරයක් ද තිබුණි.

    පරණ ට්‍රන්ක පෙට්ටියක අසුරන ලද ටිප් ටොප් දත් බෙහෙත ඔහු වෙළඳාම් කළේ වැඩිපුර ජනයා ගැවසෙන තැන්වලය. ඒ කාලයේ ටිප් ටොප්ට කදිම තැනක් වූයේ කොළඹ ඇස් රෝහල ඉදිරිපිටය. කොටුවේ රැකිරක්ෂා කාර්යාලය, කොටුවේ ස්ටේසම, බස් නැවතුම්පොළ ටිප් ටොප්ගේ ජනප්‍රිය ස්ථාන විය. කොළඹ අවට සතිපොළවල ද ටිප් ටොප්ට සරු පල තැන් විය. අලෙවිය සඳහා අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔහු කළේ රටේ ජාතික ආගමික සදාචාර සම්පන්න ප්‍රශ්න අළලා දේශනාවක් පැවැත්වීමය.

    අපේ සමාජයේ ඉහළ පෙළේ නායකයන් ටේල් කොට්, ටොප් හැට් අඳින පළඳින විට ටිප් ටොප් ද අනුකරණයට පිවිසියේය. ටේල් කොට්වලින් සැරසී ඔහු සමහර අවස්ථාවල ප්‍රිය සම්භාෂණවලටත් සහභාගි විය. පසු කලෙක සිල්වා නම වෙනස් කර ගත්තේය. රාජ්‍ය උත්සවයන්ට ඔහු සහභාගිවූයේ සම්භාවනීය ආකාරයෙනි. වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර ලෙස හඳුන්වා දුන් ඔහු 1956 – 57 කාලයේ තමන් බුද්ධ වර්ෂ 2500 දී ලක්දිව පහළවීමට නියමිත දියසේන කුමාරයා යැයි හඳුන්වා දුන්නේය. නිදහස් ලංකාවේ රාජ්‍ය නායකත්වය ඔහුට උරුමයෙන් අයිති බවත් ඩී. ඇස්, බණ්ඩාරනායක, කොතලාවල ඒ උරුමය කොල්ලකා ගෙන සිටි බවත් පෙන්වා දුන්නේය.

    ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරය හොබවද්දී ඉන්දීය අගමැති වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ ප්‍රිය සම්භාෂණයක් පැවැත්විය. එහිදී ටිප්-ටොප් ඉන්දීය අගමැති සමඟ ඉන්දු – ලංකා ප්‍රශ්නය ගැන ‘ද්වි පාර්ශ්වික’ සාකච්ඡා ආරම්භ කළා පමණි. භාග්‍යය පිරි මුහුණෙන් ‍පොලිස් නිලධාරින් දෙදෙනෙක් පැමිණ ටිප් ටොප්ව එළියට ඇද ගෙන ගියහ. ඩඩ්ලි පොත් අල්මාරියක් අසල සැඟවී සිටියේය. රාජ්‍ය නායකයන් අතරේ සිට අදාළ නායකයාට අතට අත දී සමාචාර පැවැත්වීමට ද ටිප් ටොප් කැමැත්ත දැක්විය.

    1954 දී එලිසබැත් රැජිනගේ වල්ලභයා වූ එඩින්බරෝ ආදිපාදවරයාට අතට අත දුන්නේ ගුවන් තොටුපොළේදී. සම්භාවනීය අමුත්තන් අතර ඔහු සැඟවී සිටියේ පොලිස් ඇස යටින් රිංගා යාමෙනි. ආරක්ෂක නිලධාරීන්ට ටිප් ටොප් මහත් හිසරදයක් වූ බව කිවයුතු නොවේ. විදේශීය රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමිණීමට දින එකක් හෝ දෙකකට පළමු ටිප් ටොප් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තැබීමට පොලිසියට නියෝගයක් ලැබී තිබුණි. මෙම නීතියෙන් රිංගා යාමට ටිප් ටොප් උපායක් හදා ගත්තේය. රාජ්‍ය නිලධාරියා කොළඹට සැපත් වන දිනයට සතියකට පෙර ටිප් ටොප් අතුරුදහන් වී සැඟවී සිටීමය. ගුවන් තොටුපොළේ දී රාජ්‍ය නායකයා සැරිසරන අවස්ථාවකදී ඔහුට අතට අත දීමට ටිප් ටොප් මග සකස්කර ගත්තේය.

    1960 ගණන්වල කේ. ඩී. ද සිල්වා විනිශ්චයකාරතුමාගේ ප්‍රධානතවයෙන් පුවත්පත් කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ විය. ටිප් ටොප් සිල්වා ද හැමදාමත් කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. බෞද්ධ බලවේගයේ නායක එකල ජනාදරයට පත්ව සිටි එල්. එච්. මෙත්තානන්ද මහතාගේ නායකත්වයෙන් පැමිණි පිරිස සමඟ ටිප් ටොප් හැමදාමත් ආවේය. ඔහු කතාකරන්නට සූදානම්වෙත්ම ඔහු ගැන දන්නා මෙත්තානන්ද මහතා සහ අනුර වීරරත්න මහත්වරු ඔහුව වාඩි කළේ සිදුවන දේ ඔක්කොම දන්නා හෙයිනි. මෙතැනට පුවත්පත් නියෝජිතයෝ ද පැමිණෙති.

    දිනක් උදේ තේ පානය සඳහා කොමිසම කල් දැමූ අවස්ථාවේ පත්තරවේදීහු ලණුවක් ඇඹරූහ. “මේ කොමිසමේ හොඳම සාක්කි කරුණු ටික තියෙන්නෙ රට පුරා ඇවිද තොරතුරු දන්නා නන්දමිත්‍ර උන්නැහැ ළඟ‍. මෙත්තානන්ද වීරරත්නල බයයි නන්දමිත්‍ර උන්නැහැ නැගල යයි කියල. තියෙන ඉරිෂියාව.”

    “නන්දමිත්‍ර උන්නැහැ, සභාපති තුමනි කියල නැගිටල බය නැතුව කතා කරන්න. ෂුවර් එකට විනිශ්චයකාරතුමා ඉඩ දෙනවා. අපිටත් හොඳ වාර්තාවක්. හැමදාම මෙත්තානන්ද තුමාගෙ දේශනා අහල මිනිස්සුන්ට එපාවෙලා.”

    තේ බීමෙන් පසු කොමිසම නැවත පටන් ගත්තේය. නන්දි මිත්‍ර නැ‍ගිට්ටේය. හිස පැළඳි තොප්පිය අතට ගත්තේය. “ගරු සභාපති තුමනි….”

    ඒ ක්ෂණයකින්ම මෙත්තානන්ද සහ වීරරත්න මහත්වරු එකවර නැගිට කෑ ගැසූහ. “වාඩි වෙනව ඕයි… වාඩි වෙනවා.

    “බොලාලා ඉරිසියා කාරයො. මම අද වාඩිවෙන්නෙ ජනතාවගේ පැත්තෙන් හොඳ සාක්කියක් දීල.” ටිප් ටොප් වේගයෙන් කීවේය. පොලිස් භටයින් දෙදෙනෙක් හදිසියේම පැමිණ ටිප් ටොප් ශාලාවෙන් පිටතට තල්ලු කර ගෙන ගියහ. එදා සාක්කි දීම අවසන් වනතුරුම ටිප් ටොප් එළියේය. ගහක් යටටවී මෙත්තානන්දටත් වීරරත්නටත් විරුද්ධව තනියම වේගවත්ව කතා කළේය. අපේ මතකයේ හැටියට මේ තුන් දෙනාගෙන් අද ජීවත්ව සිටින්නේ ආතර් යූ. අමරසේන මහතා පමණි. කිත්සිරි ටවුන්හෝල් එක ළඟදී හිතවතකුගේ ප්‍රශ්නයකට අත දමා අකාලයේ මරු මුවට පත්වූයේය. ආතර් යූ. අමරසේනයන්ගේ පෑනත් අද විශ්‍රාමිකය. මේ තොරතුරු අපට රිවිරැස පුවත්පත ඔස්සේ 1980 ඔක්තෝබර් 15 වන ඉරිදා ලියූ කලාශූරී ගුණදාස ලියනගේ සූරීන්‍ ද දැන් අප අතර නැත.

    1980 වන විට ටිප් ටොප් හෙවත් නන්දමිත්‍රගේ වයස 80ක් පමණ වේ. ඕනෑම උත්සවයක රැස්වීමක පිරිතක මඟුලක ටිප් ටොප්ට රඟපෑමට කොටසක් විය. ඔහුට ඉතිහාසයේ වැදගත් නොවැදගත් හරවත් සිද්ධි හොඳහැටි මතක‍ෙය් තිබුණි. කෝපයට පත් නොකළේ නම් ඇත්ත වශයෙන්ම ටිප් ටොප්, ටොප් එකේ චරිතයකි.

    කොළඹ ප්‍රදේශයේ ඔහුට උදව් උපකාර කළ කෙනෙකු මියගිය කළ දේහයට මල්වඩමක් තබා ගුණ සැමරීමට ඔහු අමතක නොකළේය.

    හිටපු අගමැති සර් ‍ජෝන් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වීමෙන් ටිප් ටොප් බොහෝ සසල විය. 1980 ඔක්තෝබර් 04 වැනිදා අභාවප්‍රාප්ත වූ කොතලාවල මහතාගේ දේහය ගාලුමුවදොර පාර්ලිමේන්තු සභා ගර්භයේ තැන්පත් කර තිබුණි. ආදාහනයට පෙරදා ටිප් ටොප් මහා මල්වඩමක් මිලදී ගත්තේය.

    අධික ලෙස ලේ ගැලීම නිසි ටිප් ටොප්ගේ මරණය සිදුවූ බව හදිසි මරණ පරික්ෂකවරයා ඔහුගේ බල කඩදාසියේ වාර්තා කළේය. රෝහල් වීදියේ පසෙක අසරණව වැතිර තිබුණු මල්වඩමේ ගැටගසා තිබුණු කාඩ් පත කවු‍දෝ තරුණයන් අතට ගත්තේය. ඒ දෙදෙනකු අතර සැබෑ පණිවුඩයකි.

     

     බන්ධුල ආර්. ගුලවත්ත

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here