එල්.පී.එල්. ජෛව බුබුළු සියයට සියයක් සාර්ථකයි

0
20
19 දෙසැම්බර්, 2020

DIRECT HIT

දකුණු ආසියාවේ කාටවත් තියාගන්න බැරිවුණු එකක් මේක. ඒත් අපි සාර්ථකව පැවැත්වුවා. එක ගැන අපි හුඟක් සතුටු වෙනවා.

කොවිඩ් ලෝකයටම අර්බුදයක් වුවද ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට ගැටලුවක් නොවූ හෙයින් එය සාර්ථකව නිමාවිය. දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසි මධ්‍යයේ ජෛව ආරක්ෂිත බුබුළු වළල්ලකට මැදිකර තරගාවලිය පැවැත්විණි. එහි අධීක්ෂණ කටයුතු බාරව සිටියේ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාය. ඔහු එල්.පී.එල්. තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සභාපතිවරයා ද වේ.

අද DIRECT HIT විශේෂාංගයට එක්වන්නේ ඔහුය.

එල්.පී.එල්. නිමාවට පත්වුණා. සෞඛ්‍ය අංශය අතින් ගත්තම තරගාවලිය සාර්ථක ද?

ඇත්තෙන්ම ඔව්. ජෛව ආරක්ෂිත බුබුළු ක්‍රමය ඉතාමත් සාර්ථකයි කියලා හිතනවා. අපිට මේ බුබුළ ඇතුළත කිසිම රෝගියකු හමුවුණේ නෑ.

ඒ වුණාට ක්‍රීඩකයන් දෙන්නෙක් තරගාවලියට කලින්ම අහුවුණානේ?

ඒ පිටරටදී හැදිලා ආපු කට්ටියක්නේ. ක්‍රීඩකයන් දෙදෙනා සනීප වෙලා ආපහු එයාලගේ රටවලටත් ගිහිල්ලත් ඉවරයි.

ජෛව ආරක්ෂිත බුබුල අන්තර්ජාතික ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

ඉස්සෙල්ලාම අමෙරිකවේ පැසිපන්දු ලීග් තරගාවලියේදි තමයි මේ ක්‍රමය භාවිත කළේ. ඊට පස්සේ එංගලන්තය ඒක සාර්ථකව යොදාගත්තා. හැබැයි ඉන්දියාවටට බැරි වුණා. ඒ නිසා ඩුබායිවලදී අයි.පී.එල්. තරග පැවැත්වුවා. බංග්ලාදේශයට බී.පී.එල්. තියන්නත් බැරි වුණා. අපි මේ දේ සාර්ථකව කළේ දෙවැනි රැල්ලේ බලපැම තියෙද්දි. ඒක ලේසි නෑ.

ඒ කියන්නේ වැඩේ ඉහළින්ම සාර්ථකයි කියන එකද?

ඔව්. දකුණු ආසියාවේ කාටවත් තියාගන්න බැරිවුණු එකක් මේක. ඒත් අපි සාර්ථකව පැවැත්වුවා. එක ගැන අපි හුඟක් සතුටු වෙනවා.

නිරෝධායන කාලසීමාව අඩු කළා ද?

සාමාන්‍ය දවස් 14ක නිරෝධායනය අපි දින හතකට අඩු කළා. ඒ වුණාට පැය 72කට කළින් පී.සී.ආර්. දෙකක් තිබිය යුතුයි. ඊට පස්සේ ලංකාවට ආපු ගමන් පී.සී.ආර්. එකක් කළා. ඒ වගේම හැම දවස් තුනකට වතාවක්ම පී.සී.ආර්. කළා. එක ක්‍රීඩකයෙක්ට පරීක්ෂණ. 9ක් 10ක් විතර. මුදල් විශාල ප්‍රමාණයකුත් ක්‍රිකට් පාලක මණ්ඩලයට වැය වුණා.

වෛද්‍යවරු යෙදවීම කොහොමද ?

ජෛව බුබුළ තුළ හැම කණ්ඩායමකටම වෛද්‍යවරයෙක් බැගින් සපයලා තිබුණා. අමතරව හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනුත් මේක හරියට තියෙනවද කියලා පරික්ෂණ කරලා බැලුවා. වෛද්‍යවරුන්ම දහයක් පමණ මීට සහභාගි වුණා. මෙය කරන්න ඒ වගේ කැපවීමක්. යුද හමුදාව හුඟාක් සහයෝගය දුන්නා මේ බුබුළට. බුබුළ ඇතුළේ වෙනම රැකවල් ලා හිටියා. මේ වගේ සැලසුමක් වෙන කිසිම රටකට දෙන්න බෑ.

රෝගය වැළඳුණු ක්‍රීඩකයන් දෙන්නා කොහේද රැඳෙව්වේ ?

ඒකට වෙනම අතරමැදි ස්ථානයක් කොග්ගල වෙන් කරලා තිබුණා. අමාරු වුණොත් විතරක් රෝහලකට ගෙනියන්න බලාගෙනයි. කොහොමත් තුන්දෙනයිනේ. අපි දන්නවා දවස් 14කට පස්සේ පී.සී.ආර්. පොසිටිව් වුණත් ඒ රෝගියාගෙන් වෙන කෙනකුට රෝගය බෝවෙන්නේ නෑ.

පිටරටින් ආපු ක්‍රීඩකයන් හැමෝටම එක විදිහට ඒ සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක වුණේ නෑනේ. උදාහරණයක් විදිහට ශහීඩ් අෆ්රිඩි ?

මෙහෙමයි. අෆ්රිඩිට කළින් මේ ලෙඩේ හැදිලා තිබුණු නිසා එයාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය පරික්ෂා කරලා බැලුවා. ඒක තිබුණු හින්දා කිසිම සැකයක් නැතිව අපි එයාට සෙල්ලම් කරන්න ඉඩ දුන්නා.

රටට ඇවිත් ඊළඟ දවසේම සෙල්ලම් කළේ පී.සී.ආර්. පරීක්ෂණවත් නැතිවද?

නෑ. එයාට පී.සී.ආර්. කළා. නමුත් ප්‍රතිශක්තිය තිබූ හින්දා එයාට මේක හැදෙන්න විදිහක් නෑ.

එයාගෙන් තව කෙනෙකුට බෝවෙන්නෙත් නැද්ද ?

ඔව්. එහෙම බෝවෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් මාස 5ක් වත් ඒ ප්‍රතිශක්තිකරණය තිබෙනවා.

අර වයිරසය වැළඳුණ ක්‍රීඩකයන් එක්ක හිටපු අයගේ තත්ත්වය මොකක්ද ?

එයාලා එක්ක හිටපු අයත් නිරෝධායන කරන ගමන් දවස් 3න් පී.සී.ආර්. කළා.

එල්.පී.එල්. තරගාවලියේදී තහනම් උත්තේජන භාවිතය ගැන පරීක්ෂණ කළේ නැද්ද?

තහනම් උත්තේජන පරීක්ෂණත් කළා. ඒ කාර්යයට ආපු අය පිටින් ආවේ. පිටින් එද්දී සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ආවේ. අනෙක සාමාන්‍යයෙන් වයිරසය බෝවෙන්න නම් රෝගියෙක් මීටරයකට අඩු දුරකින් මිනිත්තු 15කට වඩා ඉන්න ඕනෑ.

ඒ වුණාට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇවිත් හිටියානේ?

ඒ ජෛව බුබුළ තුළ නොවෙයි. බුබුළු තිබුණේ ක්‍රීඩකයන් ඉන්න තැන හා ක්‍රීඩාංගණය තුළ. මණ්ඩපයේ ක්‍රිකට් බෝඩ් එකට වෙනම කාමරයක් තිබුණා. ඒගොල්ලෝ කෙලින්ම ඇවිත් ඒ කාමරයට යනවා. එයාලට වෙන අයත් එක්ක සම්බන්ධයක් නෑ.

ඔබත් ගියාද ?

නෑ. ආදර්ශයක් වශයෙන් මම ගියේ නෑ. ඇමැතිතුමා ගියෙත් නෑ.

එතකොට අපේ කණ්ඩායම දකුණු අප්‍රිකාවට යන්නේ ?

අපේ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවට යන්නේ එක ජෛව බුබුළක ඉඳන් තවත් ජෛව බුබුළකටයි. එතකොට නිරෝධායනයක් අවශ්‍ය නෑ. හැබැයි පී.සී.ආර්. කරනවා.

එංගලන්ත කණ්ඩායමත් ලංකාවට එනවා ලබන මාසයේ ?

එංගලන්තය එන්නෙත් ජෛව බුබුළකින්. වානිජ ගුවන්යානයකින් නෙවෙයි කුලියට ගත් ගුවන්යානයකින්. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එක්ක සම්බන්ධයක් නෑනේ. එයාලා ආරක්ෂිත ඇදුම් කට්ටල ඇඳගෙන නේ ඉන්නේ

පිටරට අය ඇවිත් ක්‍රීඩා කිරීම කොවිඩ් තත්ත්වය උඩ අපේ අයට අවදානමක් නෑ කියල ද ඔබ කියන්නේ ?

ඔව්. කොහෙත්ම නෑ. මුළු තරගාවලියේදිම අහුවුණෙත් දෙතුන් දෙනයි. එයාලත් ලංකාවේදී හැදුණු අය නෙවෙයි. ලංකාවේ කට්ටියට බෝ කෙරුවෙත් නෑ. අනික මේ තරගාවලියෙන් රටට ලොකු ආදායමක් ආවා. ලෝකය පුරා මිලියන සියයක් නැරඹුවා.

 

ඡායාරූප – වාසිත පටබැදිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here