කොතරම් මුදල් ලැබුණත් ආණ්ඩුව රටට අහිතකර ගිවිසුම්වලට යන්නේ නෑ – ජනමාධ්‍ය ඇමැති

0
44

මූල්‍යමය වශයෙන් මොනතරම් වාසි ලැබුණද රටට අහිතකර කිසිදු ගිවිසුමකට වත්මන් රජය එකඟ නොවන බවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්හිටුවීම දක්වා වූ ක්‍රියාවලිය තුළින් පෙන්නුම් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ එම ස්ථාවරය බවත් ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ ගිවිසුම නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු එහි තිබූ රටේ ස්වෛරීත්වයට අහිත කර කොටසට අපේ එකඟතාවක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් මේ නිසා ඇත්තෙන්ම මේ ගිවිසුම අත්හිටුවීම ප්‍රවෘත්තිමය වශයෙන් වැදගත් වන්නේ අමෙරිකාවට මිස ශ්‍රී ලංකාවට නොවන බවත් ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රකාශන කාර්යාලය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (17) විවෘත කළ අවස්ථාවට එක් වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණියේ මේ ගිවිසුම ඉක්මන් කිරීමට යැයි ඇතැමුන් ප්‍රකාශ කළ බවත් ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ඔවුන්ගේ ප්‍රකාශ පුස්සක් වූ බවත් රඹුක්වැල්ල මහතා පැවැසුවේය.මේ ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වන්නේ ශ්‍රී ලංකා රජයේ අභිමතයට අනුව බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාද ප්‍රකාශ කළ බවත් එහි ඇති ඇතැම් කොන්දේසිවලට එකඟ නොවන බව මුල සිටම රජය පැවැසූ බවත් කී ඇමැතිවරයා රටට අහිත කර කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවට රජය ජනතාවට දුන් පොරොන්දුව අදට මෙන්ම හෙටටද වලංගු යැයි අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here