කොරෝනා අස්සේ ලෝකයම zoom කළ එරික් යුවාන්

    0
    17

    ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ සියලුම ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම එදිනෙදා වැඩ කටයුතු වලට බාධා එල්ල විය. කොරෝනා වසංගත සමය තුළ මාර්ගගත දුරස්ථ අධ්‍යාපන ක්‍රමය පිළිබද වැඩි අවදානයක් යොමු විය. පාසල් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන්.

    රැකියාවල නිරත වන පුද්ගලයන් මෙන්ම අනෙකුත් වැඩ කටයුතු වල නිරත වන්නන් හට තම අවශ්‍යතා නිවසේ සිටම මාර්ගගතව සිදු කිරීමට මාර්ගයක් ලෙස zoom යෙදවුම පත්විය. පවතින අර්බුදකාරී තත්වය මත ගෘහස්තව දැනුම ගවේෂණය කිරීමට ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ අවස්ථාව හිමි විය. එමෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ විද්වත් පුද්ගලයන් විසින් සිදු කරන සාකච්ඡා වැඩ මුළු, සම්මන්ත්‍රණ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වීමේ නව ප්‍රවණතාවක් නිර්මාණය විය. මෙම යෙදවුමේ ප්‍රබලතා මෙන්ම දුබලතාවන්ද පවතින අතර උද්ගත වූ තත්ත්වය තුළ ඵලදායි සේවාවක් පරීශිලකයන්ට ලබා දීමට සමත් වන යෙදවුමක් බවට පත්ව ඇත.

    ලොවම වෙළාගත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝදෙනා අන්තර්ජාලය මගින් කටයුතු කිරීමට යොමු වීමත් සමඟ ගෙවුණු කාල සීමාව තුළ zoom දෛනික පරිශීලකයන් ගණන මිලියන 10 සිට මිලියන 200 වඩා ශීඝ්‍ර වර්ධනයක් අත් කරගෙන ඇති බව වාර්තා වෙනවා මේ සමඟම zoom නිර්මාතෘ එරික් යුවාන් ද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක්වීමට සමත් වුණි. චීනයේ උපත ලද එරික් යුවාන්ගේ පියා පතල් ඉංජිනේරුවරයෙකි. ඔහු හැදී වැඩුණේ චීනයේ ෂැන්ඩොං පළාතේය. සාර්ථක පාසල් සමයකින් පසුව ඔහු විශ්වවිද්‍යාලයට ප්‍රවේශ විය. එහිදී යුවාන්ට සහ ඔහුගේ පෙම්වතියට පැය 10 ක දුම්රිය ගමනකින් වෙන් වූ විශ්වවිද්‍යාල දෙකකට ඇතුළත් වීමට සිදු වුණි . එම හේතුව මත වර්ෂ 1987 දී යුවාන් දුරස්ථව සිටින සිය පෙම්වතිය සමඟ සම්බන්ධ වීමට ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කරන අතරතුර zoom සඳහා අදහස ලබා ගන්නා ලදී.

    අනාගතයේ දී මට බොත්තමක් ක්ලික් කර ඇයව දැක ඇය සමඟ කතා කළ හැකි උපකරණයක් තිබේ නම් යන අදහස ඔහුගේ සිතට ඇතුළු වීමට මෙම සිදුවීම හේතු වී තිබුණි. යුවාන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ උපාධියක් සහ පතල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි අයෙකි. උපාධිය ලබා ගැනීමෙන් පසු යුවාන් වසර 04 ක් ජපානයේ සේවය කර තිබේ. පසුව අන්තර්ජාලය කෙරෙහි අවධානය යොමු වීම නිසා ඔහු කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය වෙත යාමට යොමු වී තිබේ. වර්ෂ 1997 එහි දී කැලිෆෝනියාවට යාමට අවසර දීමට පෙර එක්සත් ජනපදය යුවාන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත 08 වතාවක් ප්‍රතික්ෂේප කළේය.

    නමුත් යුවාන් එය අත්හැරීම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ වර්ෂ 1997 දී යුවාන් සිලිකන් නිම්නයේ සිය පළමු රැකියාව වෙබ්එක්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ආරම්භ කළේය. 2011දී යුවාන් නව වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක් එහි කළමනාකරණයට යොමු කරන ලදී. නමුත් එම අදහස ප්‍රතික්ෂේප වූ නිසා යුවාන් වෙබ්එක්ස් සමාගමෙන් වෙන් ව ගොස් තවත් 40 දෙනකුගේ සහාය ඇති ව 2011 දී තමන්ගේ ම සමාගමක් ලෙසට zoom ආරම්භ කළේය.

    2017 වර්ෂය වන විට සමාගම බිලියනයක තක්සේරුවක් තිබිණි. 2019 දී ප්‍රසිද්ධියේ වෙළඳාම් සිදු කරන සමාගමක් බවට පත් වූ අතර එය අද භාවිතයේ පවතින වීඩියෝ සම්මන්ත්‍රණ විසදුමක් බවට පත් ව ඇත. වර්තමානයේදී පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ස්කයිප් සහ ගූගල් වැනි සමාන විසඳුම් සඳහා zoom යෙදවුම බහුලව භාවිතා වන සම්මන්ත්‍රණ මෙවලම වන බවයි . 50 හැවිරිදි යුවාන් 2020 දී බ්ලූම්බර්ග්ගේ ලොව ධනවත් ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවේ 192 වන ස්ථානයට පත් විය. ඔහු ජීවත් වන්නේ “වෙහෙස මහන්සි වී නිහතමානී ව සිටින්න” යන ආදර්ශ පාඨයට අනුව යි. යුවාන් ඔහුගේ නව ධන සම්භාරය පිළිබද ප්‍රකාශ කරන ලද්දේ මෙලෙසිනි “ඒ දේවල් මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මුදල් මට සතුට ගෙන දෙන්නේ නැහැ. දුරස්ථ වැඩ සිදු කර ගැනීමට වැඩි පිරිසකට හැකියාව ලබා දීමට හැකිවීම පිළිබඳ ව තමා වඩාත් සතුටට පත් වෙනවා” යනුවෙනි. ඒ අනුව zoom හිමිකරු එරික් යුවාන්ගේ දියුණුවේ නිහතමානී සතුට එය ය.

    නිසංසලා දිසානායක

     

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here