කොරෝනා කාලයේ කොරියාවෙන් පාඩමක්

    0
    10

    කොරෝනා කාලයේ කොරියාවෙන් පාඩමක්ලොව ඇතැම් රටවලට දෙවන, තෙවන ආදී වශයෙන් විවිධ කොරෝනා රැලි පැමිණ තිබේ. රැල්ල කුමක් වුවත් ලෝකයේ බොහෝ රටවල ජනයාට බොහෝ දේ කොරෝනා නිසා අතපසු වී යමින් තිබෙයි. එසේ අතපසු වී ගිය දේ අතර අධ්‍යාපනයට හිමි වන්නේ විශේෂ තැනෙකි. සිසුන් එක්රැස් කර උගන්වන්නටත් බැරි, උගන්වන්නේ නැතිව සිටින්නටත් බැරි තත්ත්වයක් උදා වී ඇත. එසේම සිසුන් එක්රැස් කර විභාග පවත්වන්නටත් බැරි ය. විභාග නොපවත්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව රටේ කටයුතුත් ඉදිරියට රැගෙන යන්නට නුපුළුවන. එවන් අපභ්‍රංශ කාලයක මිලියන භාගයක විභාග අපේක්ෂකයන් සංඛ්‍යාවක් එකට එකතු කරගෙන සිය රටේ අතිශය තීරණාත්මක විභාගයක් දකුණු කොරියා බලධාරීහු පසුගිය දා පැවැත්වූහ.

    දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය එරට ඉතා තීරණාත්මක විභාගයක් ලෙස සැලකෙයි. මොන්ටිසෝරි පන්තියේ සිට ජ්‍යේෂ්ඨ පන්තිය දක්වා ඉගෙන ගත් සියල්ල ළමයා ග්‍රහණය කරගත් හැටි කිරා මැන බැලෙන්නේ එකී තරග විභාගයෙනි. මේ විභාගයේදී අපේක්ෂකයකුට ප්‍රශ්න පත්‍ර හයකට මුහුණ දෙන්නට සිදු වේ. කොරියා බස, ගණිතය, ඉංග්‍රීසි, සමාජ අධ්‍යයනය, ඉතිහාසය සහ දෙවන බස යනු එම ප්‍රශ්න පත්‍ර හයයි. විභාගය පැය නවයකට ආසන්න කාලයක් පුරා පැවැත් වේ. මේ විභාගය මඟින් සෑම දරුවකුගේ ම අනාගතය තීරණය කෙරේ. එබැවින් විභාගයට බාධා පැමිණෙන කිසිවක් වෙතොත් එය ඒ වහාම ඉවත් කරන්නට එරට සියලු අංශ අප්‍රමාදව කටයුතු කරයි.

    විභාගයේදී සවන්දී අවබෝධ කරගෙන පිළිතුරු ලිවිය යුතු කොටස්වලට බාධා වන බැවින් ශබ්ද නැඟෙන සියලු කටයුතු රට පුරා නතර කර තිබිණ. ගුවන් ගමන් මෙන්ම මිලිටරි අභ්‍යාස පවා නතර කර තිබුණේ ය. ගුවන් ගමන් වාර 89ක් වෙනස් කරන ලද බව සඳහන් වේ. එසේ වෙනස් කරන ලද ගුවන් ගමන් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ද තිබිණ. විභාගය පැවැත්වුණු දා එරට කඩ සාප්පු, රජයේ කාර්යාල සහ කොටස් වෙළඳපොළ විවෘත කෙරුණේ නියමිත වෙලාවට පැයකට පමණ පසුව ය. එවැන්නක් සිදු කෙරුණේ විභාග අපේක්ෂකයන්ට මාර්ග අවහිරතාවකින් තොරව නියමිත වෙලාවට විභාග මධ්‍යස්ථානවලට යෑමට ඉඩකඩ සලසාදීම සඳහා ය. මහා මාර්ගවල වාහන ගමනා ගමනය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් බළඇණියක් යොදවා තිබුණු බව ද සඳහන් වේ.

    දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට දරුවකු මුහුණ දෙන්නේ ඔහුගේ හෝ ඇයගේ හෝ වයස අවුරුදු 19 පමණ වනවිට දී ය. මේ තීරණාත්මක විභාගයට මව්පියන් තම දරුවන් හුරු කරන්නට පටන් ගන්නේ දරුවාට වයස අවුරුදු හතරේ සිට යැයි සඳහන් වේ. සමහර දරුවන් වයස අවුරුදු දෙකේ සිටම ඊට හුරු කරන්නට දෙමව්පියෝ දැන් දැන් උත්සාහ ගනිති. මෙවන් වාතාවරණයක, තම දරුවා විභාගයට පෙනීසිටිය යුතු දිනය එළඹෙන විට දරුවාටත් වඩා පීඩාවට සහ කරදරයට පත්වන්නේ දෙමව්පියන් ය. කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවුණු බාධාකාරී තත්ත්වයන්, විවිධ පියවර අනුගමනය කරමින් මඟ හරවා ගැනීමට දකුණු කොරියා බලධාරීහු යුහුසුලු වූහ. 2020 වසරේ විශ්වවිද්‍යාල විභාගය සති දෙකකින් පමණ ප්‍රමාද කරන්නට දකුණු කොරියා අධ්‍යාපන බලධාරීන්ට සිදුව තිබිණ. ඒ, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට කොරෝනා වසංගතයෙන් බාධා පැමිණුන බැවිනි. එසේ වූවත් විභාගයට අවශ්‍ය සියලු අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට අවසන් කරන්නට ඔවුන්ට හැකි විණ.

    දකුණු කොරියා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පසුගිය දා පැවැත්වුණේ තරගකාරීත්වයේ මදි පාඩුවට කොරෝනා මඟින් ඇතිකෙරුණු පීඩනය ද මධ්‍යයේ ය. විභාග ශාලා ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන අන්දමට කටයුතු සංවිධානය කරගන්නට දකුණු කොරියා රජයට විශේෂ පියවර අනුගමනය කරන්නට සිදු තිබිණ. ඒ අනුව විභාග අපේක්ෂකයන් විභාග ශාලාවලට ඇතුළු කරගැනීමට පළමුව ශාලා විෂබීජහරණයට ලක් කරන්නට ඔවුහූ පියවර ගත්හ. විභාග ශාලා ඒ අන්දමට විෂබීජහරණය කිරීම පහසු කටයුත්තක් නොවිණ. එයට හේතුව ලක්ෂ පහකට අධික විභාග අපේක්ෂකයන් පිරිසකට විභාග ශාලා 31,000කට අධික සංඛ්‍යාවක් සූදානම් කරන්නට සිදුව තිබීමයි.

    විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීමේදී ම විභාග අපේක්ෂකයන්ගේ උෂ්ණත්වය මැන ගැනීමට කටයුතු සංවිධානය කර තිබිණ. ශරීර උෂ්ණත්වය වැඩි හෝ කැස්ස වැනි අපහසුතාවන් ඇති හෝ අපේක්ෂකයන් සෙසු අපේක්ෂකයන්ගෙන් වෙන් කර තබන්නට ද පියවර ගෙන තිබුණේ ය. විභාග අපේක්ෂකයන්ගේ පැන්සල් සහ සෙසු සියලුම මෙවලම් විජබීජ නාශනයකට ලක් කරන ලදී. සෑම විභාග අපේක්ෂකයකුට ම ආරක්ෂිත මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබුණේ ය. විභාග අපේක්ෂකයන්ගේ මේසය මත ප්ලාස්ටික් ආවරණයක් තබා එය අනෙක් මේසයෙන් වෙන් කර තිබීම විශේෂත්වයක් විණ. විභාග මධ්‍යස්ථානවලදී කිසිදු අයෙකුට ජලය හෝ ආහාර හෝ ලබානොදීමට ද බලධාරීන් වග බලාගෙන තිබිණි. විභාගයට, අපේක්ෂකයකු ලෙස හෝ අන් කවර ආකාරයකින් හෝ සම්බන්ධ වන අය තමන්ට අවශ්‍ය ජලය සහ ආහාර රැගෙන ආ යුතු බව මේ නිසා කල් ඇතිව දන්වා තිබුණේ ය. විභාගය පැවැත්වෙන අතරතුරදී ලැබෙන කෙටි විවේක කාලවලදී අපේක්ෂකයන්ට රංචු ගැසී සිටීමටත් එකිනෙකෙකු හා කතා බහ කිරීමටත් ඉඩ ලැබුණේ නැත.

    කොරෝනා වයිරසය ආසාදනය වී හෝ නිරෝධායනයට ලක් වී හෝ සිටින අයදුම්කරුවන් වෙනුවෙන් ද විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණේ ය. ඒ අනුව රෝහල්වලදී හෝ නිරෝධායන මධ්‍යස්ථානවලදී හෝ ඔවුන් වෙනුවෙන් විභාගය පවත්වන ලදී. විශේෂ ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරමින් ක්‍රියාකිරීමට ඉදිරිපත්වුණු නිලධාරීන් එම විභාග අපේක්ෂකයන් වෙනුවෙන් යොදවා තිබිණ.

    දකුණු කොරියා ජනාධිපති මූන් ජාඑන් විභාග අපේක්ෂකයන්ට සුබ පැතීමට මේ ජරමර අතරේ අමතක කර නොතිබිණ. කොරෝනා වසංගතය පවතින අවස්ථාවේදී විභාගය පවත්වන්නට සිදුවීම ගැන ජනාධිපතිවරයා විභාග අපේක්ෂකයන්ගෙන් සමාව ද අයැද තිබුණේ ය.

    කොරෝනා වසංගතය හමුවේ විභාග නොපවත්වමින්, විභාග කල් දැමීමට පෙළඹෙන රටවලට දකුණු කොරියාවෙන් අගනා පාඩමක් උගත හැකි වෙතැයි සිතන්නට පුළුවන. කොරෝනා වසංගතයේ පළමු රැල්ල ලෝකය පුරා ව්‍යාප්ත වන විට ඡන්දයක් පවත්වා කොරෝනා කාලේ මැතිවරණ වැඩවල හැඩය ගැනත් දකුණු කොරියාව ලෝකයට පූර්ව ආදර්ශයක් සැපයූ බව මෙහිදී අමතක නොකළ යුතු ය.

     

    මංජුලා විජයරත්න

    BBC ඇසුරෙනි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here