ග්‍රාම සංවර්ධනයේ වසන්තය වැඩ සමඟ යළි ගමට

    0
    29

    සංවර්ධනය උදෙසා විවිධ වැඩසටහන් රාශියක් කලින් කල මෙරට ක්‍රියාත්මක විය. ඒවා නම් වශයෙන් කීමට ඇවැසි නැත. එහෙත් ඒ කිසිවකින් සංවර්ධනයේ සැබෑ අරුණලු විහිද නොගියෙන් තවමත් රට තුළ නොවිසඳුණු පොදු පහසුකම් හා යටිතල පහසුකම් කොතෙකුත් තිබේ. යම් වැඩපිළිවෙළක් අසාර්ථක වන්නේ සැලසුමේ දුබලතාවන්හි සිට ක්‍රියාකාරීත්වයේ දුබලතා දක්වා ඒ අතර ඇති බොහෝ දුබලතා මධ්‍යයේය. සාමාන්‍යයෙන් යම් වැඩපිළිවෙළක සැලසුම් නිවැරදිව සකස් කළාය යනු, එම වැඩපිළිවෙළින් අඩක් හමාර වීමක් බඳු යැයි සංවර්ධන න්‍යායන් තුළ පැහැදිලිව සටහන් වේ. සංවර්ධන සැලසුමක පවතින වැදගත්කම කොතෙක්දැයි එයින්ම සාක්ෂාත් වන්නේය. එසේ නම් සැලසුම් සැකසීම කඩිමුඩියේ කළ හැක්කක් නොවේ. පුළුල් ගවේෂණාත්මක සොයා බැලීම් රාශියක් අවසානයේ ගන්නා නිවැරදි නිගමනයන් ඔස්සේ නිශ්චිත කරගත් ඉලක්ක ජය ගැනීමේ හැකියාවන් පෙන්වන අන්දමට සාර්ථකව සැලසුමක් සකස් කළ යුතුයි. ඉන් පසුව වැදගත් වන්නේ එම සැලසුම් රටේ සංවර්ධනය සදහා තමා දායක විය යුතුමය යන ස්වයං චින්තාව ඔස්සේ සියලු දෙනා එක්ව අවංකව හා වගකීමෙන් ක්‍රියාවට නැංවීමය.

    “සෞභාග්‍යයේ දැක්ම, නම් වූ වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ක්‍රියාත්මක කරන්නට යෝජිත“ වැඩ සමඟ යළි ගමට, සංවර්ධන ක්‍රියාදාමයට අදාළ සැලසුම් අධ්‍යයනය කිරීමෙන් ඒවායෙහි ඇති අනාගත සංවර්ධන ඉලක්කයන් ඉතාමත් සුපැහැදිලිය. එහි අන්තර්ගතයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ හොත් මෙම දිවයින ලුහුඬුතා රහිතව අංග සම්පූර්ණ ජීවන පරිසරයක් සහිතවීම නියත වනු ඇත. ඊට අදාළ මුහුණුවර මෙම සංවර්ධන සැලසුම තුළ අන්තර්ගතව පවතී.

    ගම සංවර්ධනය කළා යනු රට සංවර්ධනය කළාය යන්නයි. මන්ද යත් සංවර්ධනය විය යුතු සියලු තත්ත්වයන් පවතින්නේ ගම්මාන තුළය. ශ්‍රී ලංකාවේ වැඩි සංඛ්‍යාවක් ගම්මාන වන නිසා එම ගම්මානවලට අවශ්‍ය පොදු පහසුකම් හා යටිතල පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ ගුණාත්මක ජීවන පැවැත්මක් සකස් කළ හැකිය. මෙරට ඇති සම්පත් හා මිනිස් ශ්‍රමය නිසිව කළමනාකරණය කරමින්, මෙම සංවර්ධන සැලසුම ප්‍රදේශානුකූලව විනිවිදව ක්‍රියාත්මක කළ හොත් රට නඟන්නට ඊටත් වඩා සැලසුමක් තවත් නැත. විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසා ඇත්තේ ද“ ගම සමඟ පිළිසඳර, නම් ක්‍රියාවලිය ඔස්සේ ලබාගත් මහජන අදහස් පූර්ණ ලෙස සැලකිල්ලට ගනිමිනි. මෙවර අයවැයෙන් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රමුඛතාවක් ග්‍රාමීය සංවර්ධනයට දී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් එළැඹ තිබෙන්නේ එම ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ගමින් ගමට ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවයි.

     

    ජනතාවගෙන් ජනතාවට

    ගම නැඟීමේදී කළ යුතු පළමු කාර්යය වන්නේ සෑම ගමකම පවතින සියලු අඩුපාඩු හඳුනාගෙන ප්‍රමුඛතාවක් ඔස්සේ පෙළගැස්වීමය. මහජන චීනය වැනි ලෝකයේ වැඩිම ජනගහනය සිටින විශාල රටකද සංවර්ධනය උදෙසා සිදු කළේ මෙම කාර්යයයි. එරට තුළ “ජනතාවගෙන් ජනතාවට, යන සංකල්පය ක්‍රියාත්මක කරමින් ජනතා අදහස් විමසා ග්‍රාම මණ්ඩල නම් ක්‍රමවේදය ඔස්සේ ගම්මානවල සියලු ලුහුඬුතා එක් රැස් කිරීමේ වැඩපිළිවෙළක් පවතී. පසුව ඒවා මධ්‍යගත මණ්ඩලයකට රැස් කර ගමින් ගමට නිමා කළ යුතු පළමු කාර්යයේ සිට ප්‍රමුඛතා ලේඛනයකට ගනී. එහිදී කිසිදු ස්ථානයක් මඟහැරෙන්නේ නැත. අවශ්‍ය වන්නේ මෙම ගැටලු හදුනාගන්නා නිලධාරීන්ගේ විනිවිදභාවය හා රට වෙනුවෙන් වන අවංක කැපකිරිමයි. චීනය එය විසල් රටක් ලෙස ඉඳිමින් මේ දෙය සිදු කළා නම්, මේ කුඩා දිවයිනට එය සිදු කිරීම අතිශය පහසු කාර්යයකි. ඊට අදාළ බිම් මට්ටමේ සිට ඉහළට පණිවිඩ ගලා යන ආයතන රටාවක් හා නිලධාරී රාමුවක් ද අප රටට තිබේ. ගමකටම අදාළව සිය සේවය සපයන ක්ෂේත්‍රගත රජයේ නිලධාරින්ම කොපමණ සංඛ්‍යාවක් අප රට සිටී ද ? රජය සහ ජනතාව අතර සංවර්ධනාත්මක සම්බන්ධීකරණය ඇති කරන වඩා වැදගත්ම පිරිස වන්නේ එම බිම් මට්ටමේ නිලධාරීන් පිරිසයි. සැබැවින්ම අප සතුව නිලධාරි යන්ත්‍රණයක් මෙන්ම සැලසුම් සහගත ක්‍රමවේදයන් ද පවතී. සිදු නොවන්නේ නියාමන පෙරදැරි විනිවිද ක්‍රියාකාරීත්වයයි. වසරක් තුළ පැවැත් වූ රැස්වීම්, වැඩමුළු ගණනාවක් පිළිබඳව විස්තර ප්‍රගති සමාලෝචනය ලෙස වසර අවසානයේ ඉදිරිපත් කරන ක්‍රම රටාවෙන් අප තුරන් විය යුතුයි. අවසානයට බොහෝ විට සිදු කර ඇත්තේ කතා කිරීම හා ජනතාව තුළ යැපුම් මානසිකත්වය තව තවත් නිර්මාණය කිරීම පමණි. ජනතාව සමග නිතර ගැටී, ඔවුන්ගේ සිත් දිනාගෙන යම් ප්‍රායෝගික වැඩපිළිවෙළකට ජනතාව නිරායාසයෙන් පිවිසෙන ආකාරයේ පෙලඹවීමක් ජනතාව තුළ ඇති කරවීමට හැකියාව තිබේ නම් සෑම ගමකම සෑම අයකුම රටේ සංවර්ධනයට ප්‍රායෝගිකව දායක වනු ඇත. එහිදී ජනතාව දිරිමත් කිරීම හා පහසුකම් සැපයීමත්, ඇගයිම් හා නියාමනයත් මනාව ක්‍රියාත්මක විය යුතුව තිබේ.

    “වැඩ සමඟ යළි ගමට, රජයේ සංවර්ධන සැලසුම ඉතා පරිස්සමෙන් සකස් කළ එකක් බව පෙනේ. එය ජනතා සහභාගිත්වයෙන් බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කිරීමේදී නිලධාරි තන්ත්‍රය මත මෙහි සාර්ථක ආසාර්ථක බව රැදී තිබේ. ඔවුන් නිසි පරිදි ක්‍රියා කළ හොත් රට සංවර්ධනයේ නිවැරදි දිශාවට කළ හැකිය. නැතිනම් තවත් මහා මුදල් සම්භාරයක් විය පැහැදම් වීමක් පමණක්ම වීම වැළැක්විය නොහැකිය. සංවර්ධනය කරා වේගවෙන් දිවෙන රටවල නිලධාරී පිරිසට ඇත්තේ රට සංවර්ධනය කිරිමේ උන්මාදයකි. රට නැඟිය යුතුය යන පෙලඹවීම පාලන තන්ත්‍රයට හා නිලධාරී තන්ත්‍රයට ඇති වන්නේ නම් සාමාන්‍ය ජනතාව තුළ සංවර්ධනය උදෙසා උත්තේජන ඇතිකිරිම ඉතාමත් පහසු කටයුත්තකි.

    එය අප සිතන ආකාරයෙන් එසේම වුව හොත් ‘‘වැඩ සමඟ යළි ගමට’’ වැඩසටහනින් පසුව තවත් එබදු වැඩසටහන්වල දෙවන අදියරක් අවශ්‍ය වන්නේ නැත. එතරම්ම වන සැලසුමක් මේ වැඩපිළිවෙළ තුළ ගැබ්ව තිබේ. විශේෂයෙන්ම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය මෙම කාර්යාවලිය සඳහා මුදුන් වී සිටී. එම බළකායේ සභාපතිවරයා වන බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට මේ සඳහා පවතින උනන්දුව කැපී පෙනේ. දිවයිනේ 15000 කට ආසන්නව පවතින සියලු ගම්මානයන්හී ‘‘ගම සමඟ පිළිසඳරක්’’ ජනතා සාකච්ඡා පැවැත්වීම අනිවාර්ය සාධකයකි. ග්‍රාමීය කමිටු පිහිටුවා රැස්වීම් පැවැත්විය යුතුය. විහාරාධිපති ස්වාමීන්වහන්සේ හෝ වෙනත් පූජ්‍යපක්ෂයේ සිට ගම්මානවල සිටින සියලුම ජනමත නායකයන්ගෙන් සමන්විතව ග්‍රාමීය කමිටු නිර්මාණය වේ. එම කමිටු සැලසුම් කළ යුතු ආකාරය පවා ‘‘වැඩ සමඟ යළි ගමට’’ සංවර්ධන සැලසුම තුළ අන්තර්ගත වේ. එයින් මුළු රට පුරාම ක්‍රියාත්මක වන ග්‍රාමීය කමිටු එකම ස්වරූපයක් ගනු ඇත. එමෙන්ම කමිටු ක්‍රියාත්මක කරන ආකාරයේ න්‍යාය පත්‍ර පවා සංවර්ධන වැඩපිළිවෙළට අන්තර්ගත කර ඇත. ග්‍රාමීය කමිටුවලින් ගන්නා යෝජනා, ගමක පවතින ගැටලු හා අනෙකුත් සියලු තත්ත්ව සාකච්ඡා කර ලේඛනගත කිරීමෙන් අනතුරුව ඒවා ප්‍රාදේශීය සංවර්ධන කමිටු වෙත ලබා දේ. එහිදී සෑම ග්‍රාමසේවා වසමකින්ම ලැබෙන යෝජනා ප්‍රමුඛතාගත කර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත දිය යුතුය. ඒ අතර තුර එම සියලු තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ජනාධිපති කාර්යසාධන බළකායේ තොරතුරු පද්ධතියට කඩිනමින් ඇතුළත් කළ යුතු වේ.

     

    ප්‍රජා සහභාගීත්වය

    අනෙක් කරුණ නම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘති පිළිබදව ප්‍රමුඛතා රැසක් පවතී. වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන, ප්‍රජා සහභාගීත්වය උපරිම ලෙස ලබාගත හැකි, ජීවනෝපාය සංවර්ධනයට උචිත යනාදී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වේ.

    මෙම සංවර්ධන වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශිය සංවර්ධන කමිටු මගින් ව්‍යාපෘති තේරීමේදී සෑම ගමකටම අවම වශයෙන් එක ව්‍යාපෘතියක් හෝ ලැබිය යුතුයි. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය වීම ද වැදගත්ය. සමාජයේ විවිධත්වය හා සියලු සංස්කෘතීන් වෙත පහසුකම් සැපයෙන අන්දමේ ව්‍යාපෘති තෝරා ගැනිම ඉතා වැදගත්ම කරුණකි.

     

    සියලු දේ ගමට

    මේ ඇරඹෙමින් පවතින්නේ ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමයක් යැයි කිව හැකි තරමට වැඩපිළිවෙළ රාශියක් වැඩ සමඟ යළි ගමට, සංවර්ධන ක්‍රියාදාමයට ඇතුළත් වේ. ළමා හා මාතෘ සායන, පෙරපාසල්, ග්‍රාමීය රෝහල් වැඩිදියුණුව, ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීම, සෑම පාසලකටම පානීය ජලය, පාසල් සදහා වැසිකිළි කැසිකිළි පහසුකම්, ගුරු නිවාස, ගමට අධිවේගී අන්තර්ජාල සබදතා, ග්‍රාමීය තරුණ තරුණියන්ට නව ව්‍යාපාර, ගමට ක්‍රීඩා පිටි, කුඩා ඇඟලුම් කර්මාන්ත, ඔසු පැළ තවාන්, පුරන් කුඹුරු අස්වැද්දීම, කුඩා ප්‍රමාණයේ කිරි ගොවිපළ, තේ වතු හිමියන් දිරිගැන්වීම, කාබනික ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, ගොවින්ට අලුත් කෘෂිකාර්මික දැනුම, ග්‍රාමීය පොහොර ගබඩා, වැව් අමුණු නවීකරණය, අලි වැට හා මුර කුටි, සෑම ග්‍රාමසේවා වසමකම අඩු ආදායම්ලාභි පවුලකට නිවෙසක්, ඉඩම් හිමිකම් ඔප්පු දීම, ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවා, ගමට සතොස, මිරිදිය මත්ස්‍ය වගාව , ඉස්සන් වගාව, මල් වගාකරුවන්ට පහසුකම්, මැටි ආශ්‍රිත නිෂ්පාදන ගම්මාන වැඩි දියුණු කිරිම, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන වැඩි දියුණුව ආදී කොට ඇති වැඩපිළිවෙළ රැසක් මෙම නව ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළට ඇතුළත් වේ. ගමක් සාර්ථකව ස්වයංපෝෂිත කරන්නට සිදු කළ යුතු කාර්යය කොපමණ තිබේ දැයි මෙම තොරතුරු ලැයිස්තුව අධ්‍යයනයෙන්ම වටහාගත හැකියි.

    වත්මන් රජයේ මෙම ප්‍රයත්නය සියල්ලන්ගේම සාර්ථක ක්‍රියාකාරීත්වය ඔස්සේ මල් ඵල ගැන්වුණ හොත් ගම නගන්නට අනාගතයේදී තවත් වෙනත් ව්‍යාපෘති අවශ්‍ය නොවනු ඇතැයි කල්පනා වන්නේ එහෙයිනි..

     

    ෂෙල්ටන් බණ්ඩාර

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    අනුරාධපුරය

    ඡායාරූප-විමල් කරුණාතිලක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here