ජයග්‍රහණය හෝ ලිංගිකත්වය මත විනිශ්චය පදනම් නො විය යුතුව ඇත

0
15
19 දෙසැම්බර්, 2020

Serena Williams

‘කළු ජාතිකයින් වන අපිටත් හඬක් තියෙනවා. තාක්ෂණය අද දවසේ එහි දැවැන්ත කොටසක් වී තිබෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු විදියට අපි මුහුණ දෙමින් හිටපු දේවල්, හැංගිලා තිබුණු දේවල් දැන් අපිට පෙනෙනවා. මේවා වසර ගාණක් තිස්සේ සිද්ධ වුණත් මිනිස්සුන්ට ඔවුන්ගේ දුරකථන අරගෙන ඒවා වීඩියෝ කරගන්න හැකිවුණේ නැහැ. මැයි මාසේ අවසානයේදී මගෙත් එක්ක අදහස් හුවමාරු කරගත්තු සුදු ජාතිකයෝ බොහෝ දෙනෙක් කිව්වේ ඔබලාට මුහුණදෙන්න සිද්ධවුණු හැමදේම ගැන මට කණගාටුයි කියායි. ඔවුන් එහෙම කියද්දී මම විනාඩියක් නැවතිලා හිතුවා මේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් යැයි නොහිතුවට, තේරුම්ගන්න පුළුවන් දේවල් නේද කියලා. මේ කිසිම දෙයක් මීට කලින් දැකලා නැත් ද? මගේ සමස්ත වෘත්තීය ජීවිතය පුරාම එකකට පස්සේ එකක් විදියට මං මේ ගැන කතා කළා. ලොව අංක එකේ ටෙනිස් ශූරිය වන සෙරීනා විලියම්ස් ප්‍රකාශ කළා ය.

ඔරසීන් ප්‍රයිස් හා රිචඩ් විලියම්ස්ට දාව වර්ෂ 1981 සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ සෙරීනා සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ය. වයස අවුරුදු 4 දී සිටම ටෙනිස් ක්‍රීඩාවේ ඈ නියැලුණේ ඇගේ සොහොයුරිය වීනස් සමඟය. වයස අවුරුදු 9 දී ෆ්ලෝරීඩා වෙත සංක්‍රමණය වූ ඔවුන් රික් මැසීගේ ටෙනිස් ඇකඩමියට සම්බන්ධ විණි. වසර කීපයකට පසු මැසීගේ ඇකඩමියෙන් ඉවත්වන සොහොයුරියෝ දෙපළ ඉන්පසු ටෙනිස් ගුරුහරුකම් ලබාගන්නේ සිය පියාගෙනි. එ කලදිම ඔවුන් සිය අනාගතයේදී ලෝක පිටියේ ටෙනිස් ශූරියන් බවට පත්වීමේ පෙරනිමිති පෙන්වූහ.

සෙරීනා ටෙනිස් පිටියේ දී පෙන්නුම් කළ සුවිශේෂී දක්ෂතා නිසා වඩාත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වූවා ය. එමෙන්ම, ඇය ක්‍රීඩා පිටියේදී අඳින අසාමාන්‍ය හා වර්ණ වලින් පිරි ඇඳුම් නිසා විලාසිතා මවන්නියක මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් ලෙසද අවධානයට ලක්විණි. වරක් ඈ තම නව විලාසිතා සන්නාමයට අනුව කැට් සූට් ඇඳ 2018 ප්‍රංශ විවෘත තරගාවලියට සහභාගී වනවිට එම ඇඳුම තහනම් කළ අතර ඒ ගැන අදහස් දැක්වූ ප්‍රංශ ටෙනිස් සංගමයේ සභාපති පැවසුවේ මේ ඇඳුම තවදුරටත් පිළිගන්නේ නැහැ. ක්‍රීඩාවට වගේම ක්‍රීඩා පිටියටත් ගෞරව කළ යුතුයි යන්නයි.

තවත් වරෙක ඩෙනිම් සායක් හා බූට් සපත්තු හැඳ සිටි අවස්ථාවකදී බලධාරීන් ඇයට එම සපත්තු පැළඳ ක්‍රීඩා පිටියට පැමිණීමට ඉඩ ලබාදුන්නේ නැත. පසුකලෙක ඔපෙරා වින්ෆ්‍රි සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන අදහස් දක්වමින් සෙරීනා පැවසුවේ එය වෙනස් බව මම දැනගෙන හිටියත්, දැවැන්ත කතාබහකට ලක්වේයැයි හිතුවේ නැහැ. ක්‍රීඩාවත් එක්ක අපේ පෞරුෂයන් ද පිටියට ගෙන එන්න වුවමනායි. අපි හිතන පතන විදිය හා අපි කවුරුන්ද යන්න වගේම අඳින පළඳින ආකාරයත් ඉන් ප්‍රකාශ කෙරෙනවා යනුවෙනි. ක්‍රීඩා පිටියේදී Puma හා Nike සන්නාමයන් පළඳින සෙරීනාට Aneres නමින් ඇගේම විලාසිතා සන්නාමයක් පවතියි. එමෙන්ම, ඇය සහතිකලත් නිය අලංකරණ ශිල්පිනියක් ද වෙයි.

කාන්තාවක මෙන්ම වෘත්තීය ක්‍රීඩිකාවක ලෙස සිය බාහිර පෙනුම සම්බන්ධයෙන් සිතන ආකාරය ගැන අදහස් දක්වන සෙරීනා පවසන්නේ, ‘දින දින මම හැදී වැඩෙද්දී සමහර දේවල් දිහා මම බලපු විදිය වෙනස්වෙන්න ගත්තා. වීනස්ට තිබුණේ හැමෝම පිළිගන්න විදියේ පෙනුමක්. දිග කකුල්, සිහින් සිරුර. මා වැනි ඝන සිරුරක් තියෙන මිනිස්සු රූපවාහිනියේ ඉන්නවා මං දැකලා නැහැ. මගේ සිරුර ගැන ධනාත්මක හැඟීමක් මට ඒ කාලේ තිබ්බේ නැහැ. දැන් ඒ කාලය ගතවෙලා ඉවරයි. මගේ ඇඟේ තිබුණු හැකියාව අවසානයේ මගේ වෘත්තීය බවට පත්වීම කෙතරම් පුදුම සහගත ද?. මම මට ආදරෙයි. මගේ පෙනුමට කැමතියි. කවදාවත් සුදු හෝ වෙනත් වර්ණයක් ඇතිව ඉපදුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ.

“ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් බවට පත්වෙන්නට හැකියාව තිබියදීත් ක්‍රීඩාවෙන් ඉවත්වුණු තරුණියන් ගැන හිතන්න. ඕනෑවට වඩා මාංශ පේශී තිබීම, අනෙක් අයගේ විහිළු තහළු වලට ලක්වීම හෝ ආකර්ශණීය නොවේවි යැයි බියට පත්වෙන ඔවුන් ක්‍රීඩාව අත්හරිනවා.’ රැකියාවේදී පුරුෂයින්ට මෙන්ම කාන්තාවන්ට ද සමාන වැටුප් හිමිවිය යුතු බව ඇය දැඩිව ප්‍රකාශ කරන කාරණයක් වී තිබේ. තමන් වැනිම වූ තවත් කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් Porter සඟරාවට විවෘත ලිපියක් ලියන සෙරීනා පෙන්වාදෙන්නේ, ‘මගේ ජාතිය, ලිංගිකත්වය ආදිය මගේ අඩුපාඩු හෝ අවාසි ලෙස අන් අය සලකුණු කරපු දේවල් මගේ සාර්ථකත්වයට අවශ්‍ය ශක්තීන් ලෙස වැළඳගත්තා. කිසිවිටක කිසිවෙකුට මගේ හැකියාවන් නිර්වචනය කරන්න ඉඩදෙන්නේ නැහැ. මගේ අනාගතය පාලනය කරන්නේ මම යි.

සමාන වැටුපක් කියන මාතෘකාව කරළියට පැමිණුනාම එය මාව කලකිරීමට පත්කරන්නේ නැහැ. මොකද පිරිමි සගයින් කරපු කටයුත්තම අප කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම අප සිදුකළ බවත් මා දන්නවා. එකම කාර්යය වෙනුවෙන් මගේ දුවට, මගේ පුතාට වඩා අඩු වැටුපක් ලැබීම කිසිවිටෙකත් අනුමත කරන්නේ නැහැ. කාන්තාවන්ට සාර්ථකත්වය කරා යන ගමනේදී බොහෝ බාධක පසුකරන්න සිදුවෙනවා. ඒ බාධක වලින් එකක් නම් අපි පිරිමින් නොවන බව නිරන්තරයෙන් මතක් කර දීමයි.

මිනිස්සු මාව හඳුන්වන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාව ලෙසයි. ලිබ්‍රොන් නැත්නම් ටයිගර් ෆෙඩරර් ලෝකයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා විදියට හඳුන්වනවාද?. නැහැ. කොහොමටත් නැහැ. මොකද ඔවුන් කාන්තාවන් නෙමෙයි. මේක අභියෝගයට ලක්කළ යුතුමයි. ජයග්‍රහණ හෝ ලිංගිකත්වය මත අපව විනිශ්චයට ලක් නොකළ යුතුයි. මගේ ජීවිතයේ අත්පත් කරගෙන තිබෙන සෑම සාර්ථකත්වයක් වගේම අසාර්ථක දේවල් ගැනත් සතුටු වෙනවා. මං වගේම අනෙක් තරුණියන් ද තමන්ගේ හීනය වෙත ගමන් කරාවි යැයි බලාපොරොත්තු වෙනවා. ලොකු හීන දැකලා ඒ විදියට කටයුතු කළොත් ඉන් මීළඟ පරම්පරාවත් බල ගන්වලා ඔවුන්ගේ හීන හඹායන්න යොමුකරන්න හැකියි.’

කළු ජාතික ක්‍රීඩිකාවක් වීම නිසාම 2001 දී පැවති Indian Wells තරඟාවලියේදී ප්‍රේක්ෂකාගාරයෙන් උසුළු විසුළු වලට ලක්වූ සෙරීනා වසර 15ක් පුරා එම තරඟාවලියට සහභාගී නො වූවාය. කෙසේවුවත්, ඈ විවාහ වන්නේ ඇලෙක්සිස් ඔහානියන් නම් සුදු ජාතික තරුණයකු සමග ය. ඇලෙක්සිස් ඔලිම්පියා ඔවුන් දෙදෙනාගේ දියණියයි. ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වුව ද සෙරීනා සිය කුළුඳුල් දියණියට උපත දීමෙන් අනතුරුව පසු ප්‍රසව විශාදියෙන් පීඩාවට ලක්වූ බව පසුකලෙක නිවේදනය කළාය.

වෘත්තියෙන් ටෙනිස් ක්‍රීඩිකාවක් වුව ද සෙරීනා ජිම්නාස්ටික් ක්‍රීඩා තරග නැරඹීමට දැඩිව ඇළුම් කරන බව ඇය මාධ්‍ය හමුවේ පවසා තිබේ. බල්ලන් මෙන්ම කොටියන් ද ඇගේ ප්‍රියතම සතුන් ය.

ක්‍රීඩාවට මෙන්ම වරින්වර නිර්මාණාත්මක කාර්යයන්ට ද සෙරීනා සිය දායකත්වය ලබාදී ඇත. බියොන්සේගේ 7/11 හා Sorry මියුසික් වීඩියෝවේ මෙන්ම රූපවාහිනී කතා මාලාවන් එහි ලා දැක්විය හැකිය. 2016 වසරේ දී වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවට පත්වූ සෙරීනා මේ වනවිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් හා ඔලිම්පික් රන් කුසලාන 4 ක් හිමිකරගෙන තිබේ.

 

අන්තර්ජාලය ඇසුරෙන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here