ටෙරීගේ පළමු පන්දුවට ඈපාගෙන් හතරක්

0
16
19 දෙසැම්බර්, 2020

පෙම්සර රන් ස්වර වරුණ-2

දෙල්කඳ මංසන්ධියේ සිට මීටර් තුන්සියයක් පමණ ඉදිරියෙන්, විජේරාමයේ මහජන බැංකුව අසළින්ම වැටී ඇති පටු මාවත ඔස්සේ පිය මනිද්දී හමුවන බොහෝ නිවාස අතර තාප්පයකින් වටව ඇති පැරණි පන්නයේ නිවසක් දැකගත හැකිය. එම නිවසේ අපට හමු වන්නේ තියුණු හඬ පෞරුෂයක් සහිත සුන්දර සිනහවකින් මුව සරසාගත් ප්‍රේමසර ඈපාසිංහයෝය. ‘ක්‍රීඩා’ ඈපාසිංහයන්ගේ සන්වේදන ජීවිතයේ ප්‍රභාමත් අතීතය සිහිපත් කරන්නට ජීවිතයේ සැඳෑසමය ගෙවමින් සිටින ඔහු ගේ කැදැල්ලටම ගොස් ඔහුගේ ඉපැරණි මතකයන් තුළ සක්මන් කළෙමු.’

‘එදා මම ගෙදර ආවේ හරිම සතුටෙන් ඒත් ඒ සතුට බෙදා ගන්න අම්ම නැති බව මතක් වුණාම පුදුමාකාර දුකක් අවුදින් මගේ හිත වෙලා ගත්තා. තාත්තා රාජකාරි නිමා කරලා ගෙදරට ගොඩවෙන කොට හැන්දෑවේ ඇඳිරි වැටිලා ටික වේලාවක් ගත වෙනවා. ඒ ඇවිත් ගෙදර වැඩකටයුතු වල නිරත වෙන කොට මට තාත්තා එක්ක කතාකරන්න වෙලාවක් ලැබෙන්නේ බොහෝ වෙලාවට කෑම මේසයෙදි විතරයි. කෑම කන ගමන් කතා කරන්න හොඳ නැති නිසා එතැනදිත් සීමාවක් තිබුණා. මේ නිසා මට අම්මාව දැඩිව සිහි වුණා. මොකද මගේ අම්මා කියන්නේ අනෙක් අම්මලා වගේම හරිම සංවේදී චරිතයක්. ඇය මට විතරක් නෙමේ විශ්ව විද්‍යාලයේ මගේ පියා යටතේ හිටපු හැම සේවකයෙකුටම වගේම ඔවුන්ගේ දරුවන්ටත් බොහොම ළෙංගතු කමෙන් සැලකුවා. ඉගෙනීමට පොත් පවා අරන් දුන්නා. අම්මගේ අවමංගල්‍යට සර් අයිවර් ජෙනින්ස් පවා සහභාගි වුණු බව මට හොඳට මතකයි.

‘මම පහුවෙනිදා උදෙන්ම නැගිටලා සුපුරුදු විදිහට පාසල් යන්න ලැහැස්ති වෙලා හෙමින් සීරුවේ තාත්තා ළඟට කිට්ටු වුණා. උදෙන්ම ඩේලි නිවුස් පත්තරේ බලන එක අපේ තාත්තාගේ පුරුද්දක් නිසා ඒ වෙලාවට එතුමා හුඟක් සන්සුන්, මම ළඟට ගිහින් තාත්තට සුපුරුදු විදිහට වැන්දා.

“ තාත්තේ මම අද ගෙදර එන්ඩ

පරක්කු වේවි” “ ඒ මොකද ?”

තාත්තා පුවත් පත පැත්තකින් තියලා මගේ දිහා බලලා කෙටි විමසීමක් කළා.

“ අපේ චන්ද්‍ර හවුස් එකේ අද තියන ක්‍රිකට් මැච් එකට මාව තෝර ගත්තා” “ ආ… එහෙමද හොඳයි ස්පෝර්ට්ස් කළාට මගේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි පාඩම් එහෙම අතපසු කරගන්න නම් එපා” යැයි අවධානවත් උපදේශයක් ලබාදුන්නා. සුපුරුදු විදිහට වෙනදට දෙන කාසිය වෙනුවට එදා මගේ අතට කාසි දෙකකුත් දුන්නා. මමත් බොහොම සතුටින් මග් බයිසිකලේ නැඟලා හෙමින් ගමන පිටත් වුණා.

පාසලේ වැඩ කටයුතු ඉවර වෙලා මම කෙලින්ම ගියේ ක්‍රීඩාගාරයටයි. ඊළඟට තියෙන ක්‍රිකට් තරගයට එතන අපේ නිවාස දෙකේම ක්‍රීඩකයෝ කඩිමුඩියේ ලැහැස්ති වෙමින් ඉන්නවා. මාව දැකපු යසපාල,

“ ඉක්මනට ඇවිත් පෑඩ් දාගන්නවා” මමත් ඔහු අත තිබූ පෑඩ් යුගලය අරගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව එය පැලඳ ගන්න කොට නැවත යසපාල මා ළඟට ඇවිල්ලා…..,

“ තමුසෙට පෑඞ් බැඳගන්න පුලුවන්ද ?’‘ කියා අසමින් මම පෑඞ් බඳින අයුරු බලා සිටියා.

“ ආ… හරි ඔය තියෙන්නේ අපූරුවට ” පවසමින් කණ්ඩායම් නායකයා ලෙස සිය`ඵ දෙනාටම මෙසේ පැවසුවා. “ ටොස් එක දිනුවේ අපි, කවුද අද මා එක්ක ඕපනින් යන්ඩ එන්නේ ?” යසපාල අපෙන් ඇහැව්වා. ඔක්කොම එකිනෙකාගේ මූණ බලනවා උත්තරයක් නැහැ. එහෙම වෙන්න හේතුවක් තිබුණා. මොකද සූර්ය නිවාසේ ආරම්භක පන්දුවාර ටික යවන අය අතරෙ ටෙරී සමරවික්‍රමයි, සුම්ත් ලියනගේ යන දෙන්නම හිටියා. ඒ කාලේ හිටපු ගින්දර වගේ ෆාස්ට් බෝලර්ස්ලා, නහයට අහන්නේ නැති පන්දු යවන්නෝ දෙන්නෙක් නිසා මේ දෙන්නගේ මුල්ම පන්දු වලට මුහුණ දෙන්න කවුරුත් මැලිවෙලා වගේ පෙණුනේ.

‘තමුසේ මොකද කියන්නේ?’ අහනව වගේ යසපාල මගේ දිහා බැලුවා. ආතක් පාතක් නැතුව හිටපු මම ඕනැ එකක් වෙච්චදෙන් කියලා ආරම්භක පිතිකරු හැටියට යන්න කැමති වුණා.. යසපාල මගේ දිහා අමුතු විදිහට බැල්මක් දාල

“හරි එහෙනම් යමු” කියලා මාත් එක්ක ගෙන පිට්ටනියට යන ගමන් “ තමුසෙට තියෙන්නේ මෙච්චරයි කෙලින් එන බෝලේ නවත්වනවා. පිට ඉන්නට පිටින් වැටෙන බෝල් වලට පිත්ත දාන්න එපා. පා ඉන්නට පිටින් වැටෙන බෝල්වලට පිත්ත දාන්ඩත් එපා. කෙලින් විකට් එකට එන බෝලේ නවත්ත ගන්නවා තමුසෙට කරන්න තියෙන්නේ එච්චරයි. මම එහා පැත්තෙ ඉඳන් ගහන්නම්. මම ‘යර්ස් ’ කිව්වොත් දුවනවා,‘ නෝ ’ කිව්වොත් දුවන්න එපා” කියාගෙන මුලින්ම පන්දුවට මුහුණ දෙන්න යසපාල සූදානම් වුණා.

ඔහුට පන්දුව යොමු කලේ සුම්ත් ලියනගේ. සුමිත්ගේ පන්දු හරිම තියුණු විදිහට විකට්ටුවේ ගෑවි නොගෑවි වගේ පන්දු රකින්නා අතට ගියා. පළමුවන පන්දුවාරයේ යසපාලට එක ලකුණක්වත් ගන්න ඉඩ ලැබුනේ නැහැ. ඔහු හුගක් පරිස්සම් වෙන බව මට තේරුණා. එයට හේතුව මම ආධුනිකයෙක් වීම නිසා වෙන්නට ඇති. දෙවෙනි පන්දුවාරය ආරම්භ වුණා. යසපාල මගේ ළඟට ඇවිත් , “තමුසෙට මතකනේ මම කියපු ටික කෙළින් එන බෝලේ නවත්ත ගන්නවා. පිට යන බෝලවලට ගහන්න යන්න එපා හරිද?” මමත් ඔලුව වනලා එයට ප්‍රතිචාරය දැක්වුවා. දැන් මගේ වාරය මට පන්දුව යොමු කරන්නේ ටෙරී සමරවික්‍රම. ඔහුත් ඒ කාලේ පාසැල් මට්ටමින් දක්ෂතා දක්වපු වේගවත්ම පන්දු යවන්නෙක්. මොනවා උනත් මේ මගේ පළවෙනි ක්‍රිකට් තරගේ. ආපු ගමන් දැවී ගිහින්

හැරෙන්ඩත් බැහැ. ඕනැ එකක් වෙච්ච දෙන් කියලා මම ස්ටම්ප් එක අරගෙන ටෙරීට මුහුණ දෙන්න සූදානම් වුණා. මට වැටුණු බෝලෙට අත දිග ඇරලා පාරක් එල්ල වුණා. ඒක කෙළින්ම හතරේ සීමාවෙන් එළියට ඉගිල්ලුනා. මගේ නායකයා යසපාල තණතීරුව මැදට ඇවිත් පරෙස්සම් වෙනවා කියලා යන්න ගියා.

 

ලබන සතිය

“ කවුද බං මූ කොහෙන් ආපු එකෙක් ද?”

ස්ලිප් එකෙන් ඈපාට සද්දයක් !

 

ඡායාරූප – ජගත් ඉරෝෂණ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here