බෙලරූස් ජනාධිපතිට ඔලිම්පික් තහනම්

    0
    11
    19 දෙසැම්බර්, 2020

    බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ලෝක ප්‍රවෘත්ති අතරට පැමිණීමට සමත්ව තිබේ. ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඔහුට ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇතුළු කිසිදු ඔලිම්පික් ක්‍රීඩා අවස්ථාවකට සහභාගී වීම තහනම් කිරීමත් සමඟිනි.

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ බෙලරූස්හි දිගින් දිගටම සිදුවන ජනතා විරෝධතා හේතුවෙන් බව ප්‍රකාශිතය.

    බෙලරූස්හි වසර ගණනාවක් ජනාධිපතිධූරයේ රැඳී සිටින ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පසුගියදා සය වැනි වතාවටත් තමා ජනාධිපති ලෙස තේරී පත් වූ බව ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට ඔහුට එරෙහිව රටපුරා ජනතා විරෝධතා ක්‍රියාත්මක විය.

    ජනතාව දහස් ගණනින් මහාමාර්ගවලට පැමිණ විරෝධතාවන්හි නිරත වූ අතර එයට ප්‍රතිචාර ලෙස ලුකෂෙන්කෝ විරෝධතාකරුවන්ට එරෙහිව හමුදා මෙහෙයවීය.

    පසුගිය අගෝස්තු 8 වැනිදා මෙලෙස තමන් යළිත් වරක් ජනාධිපති ලෙස තේරී පත්වූ බව ලුකෂෙන්කෝ විසින් ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ තමන්ට රටේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 80කට වඩා හිමිවූ බවයි.

    මහජන විරෝධතා හමුවේ හමුදාව කළ පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ කිහිපයක්ද මේ දක්වා වාර්තා වී තිබේ.

    වසර 23ක් පුරා බෙලරූස්හි ඔලිම්පික් කමිටු සභාපතීත්වය දරන ලද්දේද ලුකෂෙන්කෝ විසිනි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දක්වා ඇත්තේ බෙලරූස්හි මලල ක්‍රීඩාවටද මේ වන විට දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බවයි. ලුකෂෙන්කෝගේ පුත්‍රයාවන වික්ටර් ලුකෂෙන්කෝ ද එරට ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එරට අන්තර්ජාතික ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩකයන් තේරීම ඉතා පක්ෂපාතී ලෙස සිදුවන බවද ප්‍රකාශිතය.

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානියා මේ සම්බන්ධව තම අදහස් දක්වමින් පවසා ඇත්තේ බෙලරූස්හි ක්‍රීඩකයන් ක්‍රීඩා තරග සඳහා නම් කිරීම දේශපාලන බලපෑම් මත සිදුවීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙලෙස ඔලිම්පික් ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කිරීමට තීරණය කළ බවයි.

    මේ වන විට බෙලරූස් රාජ්‍යයට එරෙහිව යුරෝපා සංගමය සම්බාධක ද යෝජනා කර තිබේ.

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දක්වා ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාකරුවන්ට සහාය දැක්වූ ක්‍රීඩකයන්ට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති බැවින් මෙවැනි තහනමක් ඔහුට පැනවීමට තමන්ට අවස්ථාව හිමිවූ බවයි.

    මීට පෙර ඔලිම්පික් පදක්කම් දෙකකට හිමිකම් කියූ බෙලරූස්හි බාස්කට් බෝල් ක්‍රීඩිකා යෙලේනා ලෙයුචෙන්කා උදාහරණයක් ලෙස දක්වා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාච් දක්වන්නේ ඇය විරෝධතාකරුවන්ට සහාය දැක්වීම හේතුවෙන් දින 16ක් සිරගත කර තැබීමට ජනාධිපති ලුකෂෙන්කෝ කටයුතු කළ බවයි.

    තමන්ට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් රට හැර යෑමේ අරමුණෙන් යුක්තව සිටි යෙලේනා ලියුචෙන්කා පසුගිය සැප්තැම්බරයේදී මිනික්ස් ගුවන් තොටපොළට පැමිණි අවස්ථාවේදී එරට හමුදා විසින් අත්අඩංගුවට ගත් අතර දින 16ක් දක්වා සිරගත කර තැබීමටද කටයුතු යෙදීය.

    මෙවැනි හේතූන් මත බෙලරූස් ජනාධිතිවරයා ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා සහභාගී වීම සම්පූර්ණයෙන් තහනම් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    අමතරව ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙසත්, දේශපාලනය මත ක්‍රීඩකයන් තෝරා නොගන්නා ලෙසත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බෙලරූස් පාලකයන්ගෙන් ඉල්ලා තිබේ.

    මේ සම්බන්ධව බෙලරූස් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා නැතද ඔහු මේ තීරණය අවඥාවෙන් බැහැර කරනු ඇති බවට නම් අනාවැකි පැවසිය හැකිය.

    ඒ මන්ද යත් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මේ වන විටත් සෙසු ලෝකය සත පහකට මායිම් නොකරමින් සිටින බැවිනි. කනගාටුදායක ලෙස ඔහු තම රට ඒකාධිපති පාලනයකට ගෙන යමින් සිටින අතර ඔහුගේ පාලනය කෙසේ අවසන් වනු ඇතිදැයි බලා සිටීම ආශ්වාදජනක වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here