බොකෝ හරාම් සාපයට තවත් පාසල් සිසුන් 300 ක් බිලි

    0
    10
    19 දෙසැම්බර්, 2020

    නයිජීරියාව යනු සංවර්ධනය වීමට බොහෝ ඉඩකඩ සහිත වුවත් දුක්ඛිත බවේම පීඩාවිඳිමින් සිටින කනගාටුදායක රටකි. ඇති නැති පරතරය ඉතා විශාල වීම මෙන්ම, දේශපාලනඥයන්ගේ අසීමිත සූරා කෑමද මෙලෙස රට දිනෙන් දින අගාධයට ගෙන යාමට ලබා දෙන්නේ අති විශාල දායකත්වයකි. ඒ අතරට එක්ව සිටින බොකෝ හරාම් අන්තවාදී සංවිධානයද නයිජීරියාව අපායක් කරමින් සිටින්නේය.

    පසුගිය මාසයේ බොකෝ හරාම් සාමාජිකයන් විසින් නයිජීරියානු ගොවීන් රාශියක් මරා දමනු ලැබූ අතර ඒ පුවතේ උණුසුම මැකී යෑමටත් පෙර තවත් පාසල් සිසුන් රාශියක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යෑමට බොකෝ හරාම් ත්‍රස්තවාදීන් පසුගියදා කටයුතු කර තිබේ.

    පසුගිය 15වැනිදා රාත්‍රියේ වයඹ දිග නයිජීරියාවේ කට්සිනාහි පිරිමි දරුවන්ගේ නේවාසික පාසලකට කඩා වැදුණු බොකෝ හරාම් ත්‍රස්තවාදීහු සිසුන් 300ක් පමණ තම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

    මේ සිසුන් බලහත්කාරයෙන් අවි පෙන්වා තර්ජනය කරමින් දිගින් දිගටම කැලය තුළට ගෙන යාමට ත්‍රස්තවාදීන් කටයුතු කර තිබේ.

    මේ සිදුවීම වාර්තා වූ අවස්ථාවේදීම නයිජීරියානු අවේක්ෂණ ගුවන් යානා සහ ඇමරිකානු ඩ්‍රෝන මගින් සිසුන් පිළිබඳ ගුවනින් තොරතුරු සෙවූ අතර, ත්‍රස්තවාදීන් සිසුන් වඩවඩාත් කැලය තුළට ගෙන යනු එමගින් දැකගත හැකිවිය.

    කට්සිනාහි එම නේවාසික පිරිමි පාසලේ සිසුන් 800ක් පමණ අධ්‍යාපනය ලබමින් සිටින අතර සිදුවීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂාවන්ගෙන් පැහැදිලි වී ඇත්තේ සිසුන් 330ක් පමණ අතුරුදන්වී ඇති බවයි. මේ බව තහවුරු කිරීමට අත්අඩංගුවට ගත් සිසුන් අතරින් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී පලා ඒමට සමත් වූ සිසුන් ලබා දෙන ලද තොරතුරුද පාදක කර ගැනීමට නයිජීරියානු බලධාරීන් කටයුතු කර තිබේ.

    එසේ අත්අඩංගුවෙන් පැන ඒමට සමත් වූ 17 හැවිරිදි සිසුවකු වන උස්මා මාලේ පවසා ඇත්තේ තවදුරටත් කැලය තුළට සිසුන් බලහත්කාරයෙන් ගෙන යෑමට ත්‍රස්තවාදීන් කටයුතු කරමින් සිටියදී තමා අවස්ථාව බලා ඉවතට දිව ගත් බවයි.

    එ‌ෙලස පැන යාමට උත්සාහ ගන්නා කවරෙකුට වුවද වෙඩි තබා මරා දැමීමට ත්‍රස්තවාදීන් පසුබට නොවූ නමුත් තමා වාසනාවන්ත වූ බව ද එහෙත් තම සහෝදර සිසුන් රාශියක් ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටින බවද උස්මා මාලේ පවසා තිබේ.

    බොකෝ හරාම් ත්‍රස්තවාදීන් පාසලේදී සිසුන් අත්අංගුවට ගැනීමේදී චෝදනා කර ඇත්තේ මේ සිසුන් ආගමට එරෙහිව කටයුතු කරන බැවින් ඔවුන් ආගමානුකූල කිරීමට මෙසේ පැහැරගන්නා බවයි.

    මීට වසර හයකට පෙර එනම් 2014 වසරේදීද බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නයිජීරියානු සිසුවියන් පිරිසක්ද මෙලෙස අත්අඩංගුවට ගත් අතර එම සිසුවියන් බහුතරයකට එතැනින් පසු කිසිදා සාමාන්‍ය ජීවිත ගත කිරීමට හැකියාව ලැබුණේ නැත.

    ඒ අතරින් ඇතැම් සිසුවියන් මරාගෙන මැරෙන බෝම්බකාරියන් ලෙස යොදවනු ලැබූ අතර, තවත් සිසුවියන් බලහත්කාරයෙන් විවාහ කර ගෙන ලැබීය. මේ වන විට බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ මේ පැහැර ගැනීම ලොව පුරා දැඩි විවේචනයට ලක්වෙමින් පවතින්නේ ඔවුන් කුඩා පාසල් දරුවන් ම්ලේච්ඡ ලෙස පැහැර ගනිමින් සිටින නිසාවෙනි.

    බ්‍රිතාන්‍යයේ ‌ගෝලීය වෙනස්වීම් පිළිබඳ ටෝනි බ්ලෙයාර් පදනමේ විශ්ලේෂක බුලමා බුකර්ති පවසා ඇත්තේ මෙවැනි සිසුන් පැහැර ගැනීම් සිදු කරන එකම ත්‍රස්ත සංවිධානය බොකෝ හරාම් බවය. එහෙත් බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයක් ලෙස සිදු කරමින් සිටින්නේ සිසුන් පැහැර ගැනීම් පමණක්ම නොවන බවද පැවසිය යුතුය.

    ඔවුන් 2014දී අයිඑස් සංවිධානය සමඟ සම්බන්ධව ගොඩනැගුනද පසුව වෙන්ව ගොස් නයිජීරියාව මූලික කර ගනිමින් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්වාදය පතුරුවමින් කටයුතු කරමින් සිටී.

    2014දී ඔවුන්ට මුළු ලෝකයේම අවධානය යොමු වූයේ සිසුවියන් පැහැර ගැනීමත් සමඟිනි. එතැන් සිට මේ දක්වා නයිජීරියාවේ අහිංසක ගොවීන්ට සිදුවී ඇත්තේ දුගී බවින් පීඩිතව බඩවියත රැක ගැනීමට සටන් කරනා අතරතුරදීම මේ ත්‍රස්තවාදීන්ගෙන් තම ජීවිත ආරක්ෂා කර ගැනීමටද සටන් වැදීමටය.

    පසුගිය නොවැම්බරයේදී නයිජිරියාවේ ගම්මානයකට කඩා වැදුණු බොකෝ හරාම් ත්‍රස්තවාදීන් ගොවීන් 70ක් ඝතානය කළ අතර, පසුගිය සතියේ ද මෙවැනි ගම්මුන් 28 දෙනෙකු මරා දමා නිවාස 800ක් පමණ ගිනිබත් කර දැමීමට ද කටයුතු කළහ. මේ ඔවුන්ගේ ආසන්නතම ත්‍රස්ත ක්‍රියාවල ඉතිහාසය පමණි.

    ඔවුන්ගේ ආරම්භය සනිටුහන් වූ 2009 සිට මේ දක්වා ඔවුන් අතින් ජීවිතක්ෂයට පත් වූ අහිංසක මිනිසුන්ගේ සංඛ්‍යාව අතිවිශාලය.

    ඔවුන් මෙලෙස අහිංසක මිනිසුන් මරා දමමින් කුඩා දරුවන් අත්අඩංගුවට ගනිමින් ලෝකයේ අවධානය මෙන්ම ප්‍රබල ත්‍රස්ත කල්ලියටක ලැබෙන අවධානය ඉල්ලා සිටින බව පැහැදිලිය. එහෙත් ගැටලුව ඇත්තේ ඔවුන්ගේ අරමුණු ඉටුවන තෙක් නයිජීරියානු රජයට මෙන්ම වැසියන්ට තව කොතෙක් කලක් මෙලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතිද යන්නයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here