මල් බඳුනෙන් මතු වූ ජවිපෙ

    0
    29

    සෝමවංශ අමරසිංහගේ උපදෙස් අනූව පක්‍ෂයේ පැරැණ්නන් හමුවී දේශපාලන සම්බන්ධතා අලුත් කරගැනීමට කටයුතු කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගුණේ ඉන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිසංවිධානයේ ආරම්භය දුෂ්කර විය. ඒ සඳහා කැපවූ බොහෝ දෙනෙකුට තිබුණේ ගමන පිළිබඳ පැහැදිලි දැක්මක්, අධිෂ්ඨානය සහ ධෛර්්‍යයක් පමණි.

    1965 දී ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී විටින් විට අර්බුද රැසකට මුහුණදී තිබුණු බව පැහැදිලි වේ. ඒ අනූව පක්‍ෂය මුහුණ දුන් අතිශය බරපතළම අර්බුදය හා පසුබෑම වූයේ රෝහණ විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් ඝාතනයට ලක්වීම සමග මතු වු අර්බුදයයි. සන්නද්ධ අරගලය යුදමය වශයෙන් සැලකිය යුතු පරාජයකට පත්ව තිබු අතර පක්‍ෂය තුළ නිතැතින්ම සැකය, අවිශ්වාසය, අපේක්‍ෂාභංගත්වය මෙන්ම භීතියද ගොඩනැඟි පැවතුණි. මෙම මර්දනකාරි හා ඝාතන ක්‍රියාවලියේදී දේශපාලන මණ්ඩලයේ සෝමවංශ අමරසිංහ මහතා පමණක් ජීවිතය බේරා ගැනීමට සමත් වූ අතර පැවති තත්වයේ බරපතළකම තේරුම් ගෙන කටයුතු කළේය.

    මේ වනවිට පක්‍ෂයේ රහසිගත තොරතුරු සතුරා අතට පත්ව ඇති තත්වයත්, දුර්වලයින් ආරක්‍ෂක අංශ සමග සැරිසරමින් පක්‍ෂයේ ක්‍රියාධරයින් හා හිතවතුන් පාවා දෙමින් සිටි නිසාත්, සෝමවංශ ඇතුළු පක්‍ෂයේ ක්‍රියාධරයින් කිහිපදෙනෙකු විදේශගතවීමට තීරණය කළ අතර ඒ අනූව සෝමවංශ අමරසිංහ 1990 පෙබරවාරි මාසයේ විදේශ ගත විය. මේ සියල්ල මධ්‍යයේ පක්‍ෂය යළි ගොඩනැගීමේ විශ්වාසය මත ඒ සඳහා මැදිහත්වීමේ ඉදිරිගාමි චින්තනය පෙරදැරි කරගත් ක්‍රියාකාරිත්වය පක්‍ෂයේ ඇතැම් ක්‍රියාධරයින් කෙරෙන් පළවීම සුවිශේෂී ගුණාංගයක් විය. අත් අඩංගුවට පත්ව සිටි විශාල පිරිසක් දිවයින පුරා පිහිටි විවිධ රැඳවුම් හා පුනරුත්ථාපන කඳවුරු වල රඳවා සිටින ලදි. අත්අඩංගුවට පත් නොවී තවදුරටත් කටයුතු කළ ක්‍රියාධරයින් වනගතව හා විවිධ තත්වයන් තුළ සංකීර්ණ ක්‍රමවේද ඔස්සේ කටයුතු කරමින් සිටියහ.

    මේ අතර සෝමවංශ අමරසිංහ විදේශ ගතව සිටිමින් ලංකාවේ පක්‍ෂ ක්‍රියාධරයින් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. මෙම තත්වයෙන් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා යම් පිටුබලයක් ලැබුණු බව සඳහන් කළ යුතුය. ආරම්භයේදී මොරටුවේ නිවසක ලිපිනයක් සඳහා ලිපි එවමින් ජිනදාස කිතුලගොඩ සමග සෝමවංශ සම්බන්ධතා ගොඩනගා ගනිමින් කිසියම් සංවිධානමය ස්වරූපයක් ඇති කිරීමට උත්සාහ ගත්තේය. නමුත් ජිනදාස කිතුලගොඩ ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට පත්වීමත් සමග පක්‍ෂය මධ්‍යගත කර ගැනීමේ උත්සාහය බිඳ වැටුණු අතර පක්‍ෂය සංවිධාන මධ්‍යගතභාවයෙන් තොරව විසිරී යමින් තිබුණි. ඒ අනූව 1991 වසර වනවිට පක්‍ෂය පැවතියේ විසිරුණු පිරිස් ලෙසටය.

    සැලසුම් සහගත ක්‍රියාවලියකින් පසු දඹුල්ල, මීගමුව හා පිළියන්දල වැනි ප්‍රදේශවල ස්ථාන කිහිපයක රහසිගතව සැඟව සිට ජනතා විමුක්ති පෙරමුණ යළි ප්‍රතිසංවිධානය කිරීමට පක්‍ෂ ක්‍රියාධරයන් පිරිසක් ක්‍රියාකාරීව දායක වූහ. ඒ අනූව පක්‍ෂය යළි ගොඩනැගීමේ තීරණාත්මක කාර්යභාරයක් සිදුකළ “ගුලිය” නමින් හැඳින්වූ කුමාර් ගුණරත්නම්, ටිල්වින් සිල්වා, සේනාධීර ගුණතිලක, නිහාල් ගලප්පත්ති, ජී. කුලරත්න, කමල් දේශප්‍රිය, නන්දන ගුණතිලක, චන්ද්‍රසේන විජේසිංහ හා විමල් වීරවංශ ඇතුළු පිරිසක් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට සෝමවංශ අමරසිංහ කටයුතු කළේය. “ගුලිය” හි ක්‍රියාධරයන් සෝමවංශ අමරසිංහගේ උපදෙස් අනූව පක්‍ෂයේ පැරැන්නන් හමුවී දේශපාලන සම්බන්ධතා අලුත් කරගැනීමට කටයුතු කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගුනේ ඉන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිසංවිධානයේ ආරම්භය දුෂ්කර විය. ඒ සඳහා කැපවූ බොහෝ දෙනෙකුට තිබුණේ ගමන පිළිබඳ පැහැදිලි දැක්මක්, අධිෂ්ඨානය සහ ධෛර්්‍යයක් පමණි.

    ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ රන්ජන් විජේරත්න බෝම්බ පිපිරීමකින් මිය ගිය අතර ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද 1993 මැයි 01 වැනිදා බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. මේ සමග එක්සත් ජාතික පක්‍ෂයේ මර්දන යාන්ත්‍රණය දුර්වල වූ අතර ඉන් පසුව දේශපාලන තත්වයේ වෙනසක් ඇති විය. අනතුරුව ඩී.බී. විජේතුංග මහතා ජනාධිපතිධූරයට පත් වීමත් සමග රටේ ජනතාව හදිසි නීති තත්වය පිළිබඳ තැකීමක් නොකිරීම හේතුවෙන් රාජ්‍ය මර්දන යාන්ත්‍රණය තවදුරටත් ලිහිල් වන්නට විය. දකුණු පළාත් සභාව සඳහා පැවති 93 මැතිවරණයේදී හදිසි නීතිය යොදා ගනිමින් ඡන්දය ජය ගැනිමට ජනතාව ඉඩ නොදුන් අතර මෙලෙස හදිසි නීතිය නිෂ්ක්‍රීය කිරීම, හදිසි නීතිය ඉවත් කිරීම හා සමාන විය. මේ කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනයට යළි අවතීර්ණ වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ රජයට බල කළේ, හදිසි නීතිය ඉවත් කරන ලෙසය. නමුත් මේ වනවිට පක්‍ෂයේ ක්‍රියාකාරකම් ඉතාම පහළ මට්ටමක පැවතුණි.

    1994 වසර වන විට රටේ දේශපාලන තත්වයද වෙනස්වීම්වලට ලක් විය. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද ඝාතනයන්ට සහ අතුරුදහන් කිරීම්වලට එරෙහිව ජනතා විරෝධතාවයද මතුවෙමින් පැවතුණ අතර මෙම ජන විරෝධය සිය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යොදාගෙන තිබුණි. 1994 අගෝස්තු 16 මහ මැතිවරණය පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව තීරණය කරන ලදි.

    මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ නව ජවයකින් දේශපාලන කටයුතු ආරම්භ කරන විට පැවති අභියෝගය වූයේ ජාත්‍යන්තර හා ජාතික වශයෙන් වාම මතවාදයන් දුර්වල වෙමින් පැවතීමත්, වමේ ව්‍යාපාරය බිහිසුණු මර්දනයකට ලක්කර දුබල කර තිබීමත්ය. කෙසේ වුවද පක්‍ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා තිබු වාසිදායක මාර්ගය වූයේ යළි ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට පිවිසීමය. ඒ අනූව 1994 මහ මැතිවරණයත් සමග ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට ප්‍රවිශ්ඨ වූයේය. ඒ සඳහා වන විෂය මූල පරිසරය මහමැතිවරණයත් සමග ගොඩනැගුණු අතර කවර දුෂ්කර තත්වයක් යටතේ වුවද පක්‍ෂය නව උපක්‍රම අනුගමනය කරමින් ලාංකේය දේශපාලන ප්‍රවාහයට කඩා වැදීමේ තීරණය ගන්නා ලදි.

    1994 මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණට ඉදිරිපත් වීමේදී තිබු බාධකය වූයේ පක්‍ෂයේ නිල අයිතිය පිළිබඳ ගැටළුවය. නමුත් විදෙස්ගතව සිටිමින් සෝමවංශ අමරසිංහ විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි ලියමින් පක්‍ෂයේ නිල අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කළේය. 1994 වන විටත් පක්‍ෂයට එරෙහිව දේශපාලනමය තහනමක් තවදුරටත් පැවතුනත් පැවති නීතිය යටතේ නිල තහනමක් බල නොපැවැත්වුණි. පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඒ වන විට පිළිගෙන සිටි සෝමවංශ අමරසිංහ විදෙස්ගතව සිටීම නිසා පක්‍ෂයෙන් තරග කිරීමේදී නාමයෝජනා වලට අත්සන් තැබීමේ ගැටලුවක් පැනනැගුණි.

    එබැවින් පක්‍ෂය යටතේ තරග කිරීම සඳහා පැවති ව්‍යාකූලත්වය මුළුමනින්ම පහව ගොස් නොතිබුණු තත්වයක් තුළ ආරිය බුලේගොඩ මහතාගේ නායකත්වයෙන් පැවති ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයන් විසින් නිල වශයෙන් මහ මැතිවරණය තරග කිරීම සඳහා යොදාගන්නා ලදි. ඒ අනූව 1994 මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පෙරමුණක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අතර ආරිය බුලේගොඩ මහතාගේ ප්‍රගතිශීලි පෙරමුණ හා එක්ව “ජාතිය ගලවාගැනීමේ පෙරමුණ” ගොඩනගන ලදි. ප්‍රගතිශීලි පෙරමුණේ ලාංඡනය වූ හංසයා වෙනුවට “මල් බඳුන” ලාංඡනය තෝරා ගන්නා ලදි. ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ නාමයෝජනා සකස් කර ගනිමින් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ ජනතා විමුක්ති පෙරමුණ තරග වැදුණු අතර මැතිවරණය නිම වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් දිනා ගනිමිනි. එය ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලද පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විය.

    මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළේය. අනතුරුව අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තෙවන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ දිනය ප්‍රකාශයට පත්කරන ලද අතර අනතුරුව ජනාධිපතිවරණය 1994 නොවැම්බර් මස 09 වැනි දින පවත්වන ලදි.

    ජනතා විමුක්ති පෙරමුණ විසින්ද මෙම ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර ඒ අනූව ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ හරහා නිහාල් ගලප්පත්ති මහතා විසින් නාම යෝජනා භාර දුන්නේය. කෙසේ වුවද, මැතිවරණයට තරග කිරීම පිළිබඳව පක්‍ෂය මුහුණ දුන් අභියෝගය වූයේ ශක්තිමත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීමත්, මහ මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රමාණය හෝ ලබා ගැනීමට හැකි වේද යන දෙගිඩියාව තුළින් ජනිත අභියෝගයන්ය.

    ප්‍රායෝගික ගැටලු වලට අමතරව එළඹෙන සියලු මැතිවරණ වලට තරග කිරීම හෝ නොකිරීම පිළිබඳව පුළුල් දේශපාලන දැක්මක් නොමැතිවීමේ අර්බුදය විසින් මැතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ දිශාවට කරුණු පෙළ ගැසුණු නමුත් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා පිළිබඳව මාධ්‍යයන් මගින් දුබලකම වැඩියෙන් ප්‍රදර්ශනය වීම නිසා එය මගහරවා ගැනීමේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් පිළිබඳ පෙළඹවීමක් පාක්‍ෂික බලවේගයන් තුළින්ම පැන නැගී තිබුණි. එකී පෙළඹවීම විසින්, එම අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා වූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ලෙස “විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම” පිළිබඳවූ පොරොන්දුවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ඉදිරිපත් කර එයට වාචිකව එකඟකරවා ගන්නා ලදි.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජයග්‍රහණය පිළිබඳව පැවති අවතක්සේරුවත්, මහ මැතිවරණයේදී ලද සරල ජයග්‍රහණයත්, ගාමිණී දිසානායක නව එක්සත් ජාතික පාක්‍ෂික නායකයාගේ ජනපතිවරණ මෙහෙයුමත් ආදී කරුණු කාරණාවන්හි තිබු ප්‍රතිවිරෝධයත් සැලකිල්ලට ගනිමින් අර්බුදය මඟහරවා ගැනීමට යම් දේශපාලන අවස්ථාවක් මතුකර ගැනීමේ හැකියාව ලැබුණි. මේ නිසා සියලු තත්වයන් සලකා උපක්‍රමිකව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයා අවසාන මොහොතේ ජනාධිපතිවරණයෙන් ඉවත් විය. නමුත් මැතිවරණ නීතිය අනූව මැතිවරණ ඡන්ද පත්‍රිකාවේ අපේක්‍ෂකයාගේ නම සටහන්ව තිබුණි. අපේක්‍ෂකයාගේ ඉවත් වීම තුළින් ජනතා විමුක්ති පෙරමුණට විශාල මනාප ගණනක් අහිමිවීමේ අපකීර්තියෙන් නිදහස් විය හැකි විය. තෙවන ජනාධිපතිවරණය අනූව ජයගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති තනතුරේ දිවුරුම් දුන්නාය.

    ජනතා විමුක්ති පෙරමුණ 1994 න් පසු යුගය තුළ ප්‍රසිද්ධ දේශපාලනයට කඩා වැදී ජයග්‍රාහීව තම ගමන ආරම්භ කරන ලද්දේ මෙරට ජරාජීර්ණ දේශපාලනයට එරෙහි සාධාරණ විකල්පයක් පිළිබඳ සුවහසක් පොදුජන අපේක්‍ෂාවන්ට පණ දෙමිනි. එසේ වුවද පසුගිය 2000 වසරෙන් පසු කාලවකවානුව තුළ කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ පරිද්දෙන් පංති සහයෝගීතාවය තුළ ගිලී වේගවත් බිඳ වැටීමකට ලක්විය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දී ඇත්තේ නිල දේශපාලන පක්‍ෂයක් ලෙස පවත්නා ක්‍රමයට අනුගත වීමේ, යටත් වීමේ ප්‍රතිවිපාකයන්ටය. පක්‍ෂයේ බිඳවැටීම පිළිබඳ අධ්‍යයනය තුළින් ඒ පිළිබඳව මනාව තහවුරු වේ.

     

    එම්. තාරික්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here