මැතිවරණ පුරාණය එක පොතකට ගත් ප්‍රගතිශීලී පත්තරකාරයා

    0
    29
    මලල්ගොඩ බන්ධුතිලක මහතා

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ, ගම් සභා හා නගර සභා මැතිවරණ අළලා විවිධ මූලාශ්‍රයන් ඔස්සේ විවිධ සමාජ දේශපාලන පත්පොත් පළවන වත්මන් අවධියෙහි ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය හිසින් පිටු 680කින් යුත් පර්යේෂණ ග්‍රන්ථයක් ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ ලේඛක මලල්ගොඩ බන්ධුතිලක සූරීන් සුවිශේෂව සිහිපත් කරමු.

    මෙයින් වසර 14කට පළමු 2006-10-15 වනදා අපෙන් සමුගත් බන්ධුතිලක සූරීන් 2002 මාර්තු මාසයේදී මුද්‍රණයෙන් පළ කළ ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය ගැන මලල්ගොඩ බන්ධුතිලකයන් ලියූ සටහන වෙත ද යොමු වෙමු.

    ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා විකාශය පිළිබඳව හදාරන්නට පරිශීලනය සඳහා තොරතුරු එක්තැන් වූ ග්‍රන්ථ විරලය. සෑම මැතිවරණයක් අවසානයේදීම වාගේ එහි ප්‍රතිඵල සමඟ ජයග්‍රාහී මැති ඇමැතිවරුන්ගේ වතගොත ද සහිතව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පළකර ඇති ‘ලංකා පාර්ලිමේන්තුව’ නම් ග්‍රන්ථාවලියක් ඇත. එහෙත් 1952 හා 2000 පැවැති මැතිවරණවලින් පසු එබඳු පොත් පළවී නැත. රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ජී. පී. එස්. එච්. ද සිල්වා මහතා විසින් ලියා ඇති A STATISTICAL SURVEY OF ELECTIONS TO THE LEGISLATURES OF SRI LANKA 1911 – 1977 නම් වූ ඉංග්‍රීසි පොත මැතිවරණ ප්‍රතිඵල එක්තැන් කළ මහඟු ග්‍රන්ථයකි.

    එස්. පියසේන මහතා විසින් සම්පාදනය කරන ලදුව 1967 දී ප්‍රකාශයට පත් වූ ලංකා මැතිවරණ ඉතිහාසය නම් ග්‍රන්ථයේ 1931-1960 ජූලි දක්වා මැතිවරණ ප්‍රතිඵල මෙන්ම ආසන බෙදා වෙන් කිරීම ආදී තොරතුරු ඇතුළත් වේ. 1911 දී මන්ත්‍රී කොට්ඨාස හතරකින් ඇරඹි මැතිවරණ ඉතිහාසය 2001 මැතිවරණය දක්වා ගලා ගිය අන්දම ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාතණයÓ නම් මෙම ග්‍රන්ථය ගොනු වී ඇත. මෙම ග්‍රන්ථයෙහි මුල්වරට ඇතුළත් තොරතුරු වර්තමානයෙහි බොහෝ තරුණ විද්වතුන් මූලාශ්‍ර ගැන සඳහන් නොකර පළ කරන අයුරු අපි දැනගත යුතු වෙමු. ඒ මූලාශ්‍ර සොයා බන්ධුතිලක ආර්ථික අපහසුකම් මධ්‍යයේ කළ දැඩි කැපවීම බොහෝ ලේඛකයෝ නොදනිති. ඒ අපේ රටේ හැටිය.

    අද රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන පක්ෂ නායකයෝ මාධ්‍යවේදීන්ගේ නිදහස සහ අයිතීන් ගැන මහා උජාරුවෙන් කතා කරති. 1960 මුල් වකවානුවේදී සිදුවූ සිද්ධියක් බන්ධුතිලකයන්ගේ ජීවිත සටහන තුළින්ම අපි මතු කරමු.

    මලල්ගොඩ 1960 වන විට සේවය ක‍ෙළ් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහිය. 1933 පෙබරවාරි 19දා දකුණු සිරිලක අහංගම දික්කුඹුරේදී ජන්ම දායාදය ලැබූ මලල්ගොඩ බන්ධුතිලක බහ තේරෙන වියේ පටන්ම වම් ඉවුරේම ගමන් ගත්තේය. 1960 රැකියාවට කොළඹ පැමිණි බන්ධු සල්පිටි කෝරළේ කැස්බෑවේ නිවසක නවාතැන් ගත්තේය. ඔහු ඉතා ඉක්මනින් ලංකා සමසමාජ පක්ෂයේ දිස්ත්‍රික් සභා ලේකම්වරයා විය. 1960 මාර්තු මැතිවරණයෙන් පසු බලයට පත් එ. ජා. පක්ෂයේ ජනසම්මතවාදී ආණ්ඩුවේ නියෝගයක් මත බන්ධුගේ වැඩ තහනම් කෙරිණි. ජූලි මහ මැතිවරණයට පදනම ගොඩනැඟුණි. පුළුල් නිවැරැදි දේශපාලන දැක්මක් ඇතිව සිටි බන්ධු ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ මෝටර් රථයෙන් ශ්‍රී ලංකාව පුරා යමින් ක්‍රියාකාරී දේශපාලනයෙහි නියුක්ත වූයේය. ඒ යන අතරමඟ ඇන්. ඇම්. සමඟ පිළිසඳරෙහි යෙදුණේය. එහි අග්‍ර ප්‍රතිඵලය නම් පිටු 430 කින් සමන්විත ඇන්. ඇම්. චරිතාපදානය 1990 දී එළිදැක්වීමය. ඒ වන විට ඇන්. ඇම්. එතෙර ගොස්ය.

    මේ සුවිශේෂී විශිෂ්ට මිනිසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරි ලෙස දිගු කලක් සේවය කළේය. ආරිය රූබසිංහ යුගයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක විය. ඒ. බී. සී. ද සිල්වා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවෙහි සභාපති ධුරය හෙබවූ අවධියේ එහි නියෝජ්‍ය සභාපති ධුරය හෙබවූ අතර ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද නියෝජනය කළේය.

    චරිතාපදාන ලියන්නට සුවිශේෂ පරිචයක් දැක්වූ මලල් – අගමැති බණ්ඩාරනායක – සිරිමාවෝ බණ්ඩාරනායක – ටී. බී. ඉලංගරත්න – රතු සෙන්පති විවියන් – පුලතිසි පුතු ආදී චරිතයන් ලීවේ පරිපූර්ණ අධ්‍යයනයන් ලබමිනි. 2002 දී ලියූ මැතිවරණ ඉතිහාසය අද ඉහළ විද්වතුන්ගේ අත්පොතක් ලෙස භාවිතයට ගනී.

    1960 මාර්තු මාසයේ පටන් මිය යන තෙක්ම මලල්ගොඩගේ ජීවිතයේ දහදහසක් සිද්ධි අළලා මෙබඳු කෙටි ලිපියකින් විස්තර කළ නොහැකිය. වමේ දේශපාලනය නිසා ප්‍රජාතන්ත්‍රවාදයත් සමඟ ජනසම්මතවාදය තවරා ගත් නරුම දේශපාලනය නිසා මලල්ගේ රැකියා අහිමි කිරීම් සිර භාරයේ රඳවා ගැනීම් අළලා මහා පොතක් ලිවිය යුතු වේ. චරිතාපදාන අටක්, ළමා පොත් හතක්, විවිධ තොරතුරු සහිත පොත් 16 ක් ලියූ මලල්ගොඩගේ අවසාන පොත ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපතිවරණය හා 13 වැනි පාර්ලිමේන්තුවයි.

    ‘සරසවි සඳරැස’ පුවත්පතෙන් ඇරඹු පුවත්පත් කලා ජීවිතය දිනමිණ, දිනකර, දිනරැස, සතිය සමසමාජය ගුවන් විදුලිය ආදී මාධ්‍යයන් ඔස්සේ දුර ගමනක් ගොස් දේශපාලන මානසික පීඩාවන් නිසා මලල් පොදු පෙරමුණු රජය සමයේම රැකියාවෙන් ඉල්ලා අස් වූයේය.

     

     බන්දු හොරණ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here