ලෝක නත්තල් සැමරීමට කොවිඩ් 19 වැට බඳී

    0
    10
    19 දෙසැම්බර්, 2020

    නත්තල යනු මුළු ලෝකයම සතුටින් උදම් වන අවස්ථාවකි. වසර අවසානයේ ප්‍රීතිමත් නිවාඩුව එළඹෙන අතර උත්සවශ්‍රීයෙන් සැම සිත් ආලෝලනය වීම නත්තලේ උරුමකරුවන් වන යුරෝපයට පමණක් නොව ආසියාතික අපටද පොදුවී තිබේ. ලෝක යුද සමය හැරුණු විට සියවසකටත් වඩා කාලයක් තිස්සේ සෑම වසරකම අවසානයේ ලෝකය නත්තල සැමරූ අතර ලොව පුරා රටරටවල ජනතාව නත්තල් සාප්පු සවාරි, නත්තල් කෑම මේස මෙන්ම නිවාඩු සමයේ විනෝද ගමන් සහ නෑදැ හිතමිතුරු සාද පැවැත්වූහ.

    එහෙත් මෙවර පැතිර යන වයිරසය ලෝකයට පුරුදු නත්තල් සැමරුමට බාධා එල්ල කරමින් තිබේ. එපමණක්ද නොව අන් සෑම වසරකම ලොව පුරා විශාල ජනතාවක් විසින් සමරනු ලබන රාමසාන් උත්සවයට මෙවර කොවිඩ් හේතුවෙන් බාධා එල්ල වූ බව අමතක කළ නොහැකිය. මෙවර රාමසාන් උත්සවය හජ් වන්දනාවකින් තොරව ඉතා සරල ලෙස සැමරීමට ලොව පුරා ඉස්ලාම් භක්තිකයන්ට සිදුවිය.

    පසුගිය සැප්තැම්බර් මාසයේ උතුරු අර්ධගෝලයට ශීත ඍතුව උදාවීමත් සමඟම යුරෝපා රටවල කොවිඩ් පැතිර යෑම වේගවත් වූ අතර යළිත් රටවල් වසා දැමීමටත්, සංචරණ සීමා පැනවීමටත් බොහෝ රටවල් කටයුතු යෙදීය. මේ වන විට කොවිඩ් ආසාදනය වීමෙන් වළකාලන එන්නත් කිහිපයක්ම යුරෝපා රටවල ජනතාවට ලබා දෙමින් පැවතියත් තම රටවලට පනවා ඇති සීමා ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිසිසේත්ම සූදානම් බවක් පෙනෙන්නට නැත.

    ඒ වෙනුවට මෙවර නත්තල නිවෙස් හි සිට සැමරීමට බොහෝ රටවල ජනතාවට සිදුවී ඇත්තේ ලෝකයේ බහුතරයක් ජනතාවට තවමත් කොවිඩ් එන්නත් ලැබීම සම්බන්ධව කිසිදු සුභදායී පුවතක් අසන්නට නොලැබෙන බැවිනි.

    වෙනත් වසරවල නත්තල් සාප්පු සවාරිය යනු විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ සිත් අමන්දානන්දයට පත් කරවන අවස්ථාවකි.

    මෙවර බොහෝ රටවල අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් කඩසාප්පු විවෘත කිරීමට අවසර ලබා දී නැති බැවින් බොහෝ දෙනාට ඔන්ලයින් සාප්පු සවාරි අත්විඳීමේ අවස්ථාව හිමිවී තිබේ. විවෘතව ඇති කඩසාප්පුවලදීද මීටරයේ පරතරය තබා ගනිමින් කටයුතු කළ යුතු අතර, වරකට සය දෙනා බැගින් සාප්පු තුළට ඇතුළු කර ගැනීමටද ලබා දී ඇති උපදෙස් පිළිපැදිය යුතුව තිබේ.

    මේ වන විට ලොව පුරා තැපැල් සේවයද කොවිඩ් හේතුවෙන් බිඳ වැටී ඇති බැවින් නත්තල් සුභ පැතුම් පත් සහ තෑගි පාර්සල් ලැබීමේ අඩුවක් දැක ගත හැකි වන බවට කල් තබා අනතුරු අඟවා තිබේ. එමගින් තමන්ගේ වාර්ෂික නත්තල් සුභපැතුම නොලැබුණු බවට සිත් රිදවීම් ඇති කර නොගත යුතු යැයිද, එයට හේතුව තමන්ගේ ආදරණීයයන්ට තමන් අමතක වීම නොව කොවිඩ් හේතුවෙන් තැපැල් සේවය බිඳවැටීම බවද තම පවුල්වල සාමාජිකයන්ට, හිතමිතුරන්ට සිහිපත් කළ යුතුය.

    දැනට වාර්තා වන අන්දමට බ්‍රිතාන්‍යයේ සෑම අවන්හලක්ම, මත්පැන් අලෙවිසැල් සහ පොදු ස්ථාන රාත්‍රී දහය වන විට වසා දැමීමට නියමිත බැවින් මෙවර නත්තල බෙහෙවින් ඇල්මැරුණු ස්වභාවයක් ගැනීමට නියමිතය.

    නිදහස අගය කරන බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් රාත්‍රී නත්තල් සැමරුම් සඳහා මහත් රුචිකත්වයක් දක්වන අතර, රාත්‍රී සාද ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක්ද වී තිබේ. එන්නත ලබා දීමත් සමඟ සංචරණ සීමා ලිහිල් විය හැකි බවට අනුමාන පළවුවද බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ තවත් මාස හයක පමණ කාලයක් මේ අන්දමින් කටයුතු කිරීමට එරට ජනතාවට සිදුවනු ඇති බවයි.

    එමෙන්ම නිවෙස්වල සංවිධානය කරන නත්තල් සාදවලටද වැට බැඳෙනු ඇත්තේ නියමිත සංඛ්‍යාවට වඩා ආරාධිතයන් සහභාගී කරවා ගැනීම තවමත් තහනම් කර ඇති බැවිනි. කෙසේ වුවද රාත්‍රිය පුරා පැවැත්වෙන රාත්‍රී නත්තල් සාද නම් මෙවර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව බොහෝ යුරෝපා රටවලින් ලැබෙන පුවත්වල සඳහන්ය. එබැවින්ම මෙවර නත්තල බොහෝ දෙනාගේ සතුට බොඳ කරවන නත්තලක් වීම වළක්වාලිය නොහැකි වී තිබේ.

    යුරෝපා රටවල බොහෝ දෙනා නිවෙස්වලටම වී ගතකිරීමෙන් කාන්සාවට පත්ව ඇති බවටද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා මහද්වීපය බාරව කටයුතු කරන වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසා ඇත්තේ වංසගතය හේතුවෙන් මෙවර නත්තල ‘වෙනස්’ එකක් වනු ඇති නමුත් නිවෙස් හි සිට සැමරීමෙන් එය ප්‍රීතිමත් නත්තලක් නොවනු ඇතැයි පැවසිය නොහැකි බවයි.

    බ්‍රිතාන්‍ය තුළ තත්ත්වය මෙසේ වන විට ඉතාලි රජය එරට ජනතාවට දැනුම් දී ඇත්තේ මෙවර රටපුරා මධ්‍යම රාත්‍රී දේවමෙහෙයන් නොපැවැත්වෙන බවය. එමෙන්ම වෙනත් නත්තල් රාත්‍රීන්හි ජනතාව රාත්‍රියේ නගරවලට එක්රැස්ව පවත්වන විනෝද සාද සඳහාද මෙවර ඉඩ නොලැබෙනු ඇති බව ඉතාලි අගමැතිවරයා පවසා තිබේ.

    පසුගිය මාර්තු මාසයේදී තම රටේ කොවිඩ් දරුණු ලෙස පැතිර යන අවස්ථාවේදී සහය විරහිතව කම්පාවට පත්ව හඬා වැටුණු අගමැතිවරයා මෙවර තම ජනතාවට දැඩි නීති දමමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන බවක් පෙනේ.

    ඔහු රූපවාහිනියෙන් ජනතාව අමතමින් ඉල්ලා ඇත්තේ තම නිවෙස්වලට අමුත්තන්ට ආරාධනා කිරීමෙන්ද වළකින ලෙසිනි. නත්තල් දිනයේ මෙන්ම ඊට පසුදාද ජනතාවට තමන් වෙසෙන නගරවලින් බැහැර යෑමට අවසර නොලැබෙනු ඇත.

    ප්‍රංශය මෙයට තරමක් විරුද්ධ ලෙස කටයුතු කරමින් මෙතෙක් පැවති දැඩි සංචරණ සීමා දෙසැම්බර් මස 15වැනිදා සිට තරමක් ලිහිල් කරනු ලැබුවේ ජනතාවට නත්තලේ අසිරිය විඳ ගැනීමට ඉඩ ලබා දෙමිනි. සාප්පු මෙන්ම සිනමා ශාලාද විවෘත කර ඇත්තේ ජනතාවට විනෝදාස්වාදය ලබා ගැනීමට ඉඩ සලසමිනි. එහෙත් ආපනශාලා, මත්පැන් අලෙවිසැල් මෙන්ම රාත්‍රී සමාජ ශාලාද තවදුරටත් වසා දැමීමට ප්‍රංශ බලධාරීන් නියෝග ලබා දී තිබේ. නත්තල් දේව මෙහෙයන් පැවත්වීමට අවසර ලබා දී ඇතද ඒ සඳහා සහභාගී විය හැකි අවම බැතිමතුන් සංඛ්‍යාව 30ක් ලෙස දක්වා තිබේ. නත්තල් සමයේ ලොව පුරා ක්‍රීඩකයන් ප්‍රංශයට කැන්දන ස්කී හිම ක්‍රීඩා නම් මෙවර නොපැවැත්වෙන බව ප්‍රංශ රජය දැනටමත් තහවුරු කර තිබේ.

    ඇන්ජෙලා මර්කල් යටතේ ඉතා සුඛනම්‍ය ගමනක සාර්ථකව නියැළෙමින් සිටින ජර්මනිය කොවිඩ් සටනේදීද සාර්ථක ප්‍රතිඵල අත් කරගත් බව සඳහන් කළ යුතුය. එහිදී ආර්ථිකය මෙන්ම තම රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධවද සමබරව සලකා බැලූ ජර්මනිය දැනටමත් පවසා ඇත්තේ ජනවාරි මස 3වැනිදා දක්වා තම රට කිසියම් අන්දමක වසා දැමීමක පවත්වා ගන්නා බවයි. එහිදී සංචරණ සීමාද පවත්වා ගැනීමට ජර්මන් රජය දැඩි අවධානයක් යොමු කර තිබේ.

    නත්තල් සමයේ නිවෙස් තුළ ඒකරාශී විය හැකි සංඛ්‍යාව 10කි. වයස 14ට අඩු දරුවන් මෙහිදී සැලකිල්ලට නොගැනේ. නත්තල් පොළ සහ නත්තල් ගිනිකෙළි අහෝසි කර තිබේ.

    ප්‍රාන්ත 50කින් යුක්ත ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට එම එක් එක් ප්‍රාන්ත නීති අනුව කොවිඩ් නීති ක්‍රියාත්මක කරමින් තිබෙන අතර නත්තල් සමයේදීද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් ලෙස නීති ක්‍රියාත්මක වෙමින් තිබේ.

    ප්‍රාන්ත අතර සංචරණ සීමා පනවා නොමැති වුවද, කනෙක්ටිකට්, කැලිෆෝර්නියා, හවායි, ඇලස්කා ඇතුළු ප්‍රාන්ත 22ක් තම ප්‍රාන්තයට පැමිණෙන ජනතාවට දින 14ක නිරෝධායන කාලයක් නියම කර තිබේ. මේ අතර නිව් ජර්සි ප්‍රාන්තය තම වැසියන්ට පවසා ඇත්තේ කිසිසේත්ම අනවශ්‍ය ගමන් බිමන්වල නිරත නොවන ලෙසයි. 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here