වම ඉක්මනින්ම ඈවර වුණේ ඇයි.?

    0
    31

    විස්ස දශකය අවසානය සහ 30 දශකය ඇරැඹුමත් සමඟ ලෝක ආර්ථික අර්බූදයක් ඇරඹිණි. එය ආහාර අර්බූදයක් බවට පරිවර්තනය වන්නේ සැනෙකිනි. එවක යටත් විජිතයක් ව පැවැති ශ්‍රී ලංකා රජය 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ඔස්සේ සර්වජන ඡන්ද බලය ද ලබා තිබුණි. ප්‍රධාන අපනයන භෝග වූ තේ, පොල්, රබර්වල මිල ලෝක වෙළඳපොළ තුළ පහළ වැටුණි. එමෙන් ම අපනයනය කළ මිනිරන්, කෝප්පරා මිල පහත වැටුණි. 1926 වනවිට රුපියල් කෝටි 50.3ක් වූ අපනයන වටිනාකම 1932 දී කෝටි 17 දක්වා පහත වැටුණි. ආනයන වටිනාකම 1926 දී රුපියල් කෝටි 39.5ක් වූ අතර එය 1932 දී කෝටි 19.6 දක්වා පහත වැටුණි. මෙතෙක් ධන වෙළඳ ශේෂයක් ව පැවති (1926 දී 10.8ක්) වෙළඳ ශේෂය 1932 වසරේ දී 2.6ක සෘන ශේෂයක් බවට පෙරැළිණි.

    මේ නිසා වතු කම්කරුවන්ගේ රැකියා අහිමි වීම, ඔවුන්ගේ දෛනික දීමනාව දෙවරක් ම අඩු කිරීම, රාජ්‍ය සේවකයන් අස් කිරීම, යටිතල පහසුකම් සඳහා රජය වෙන් කළ මුදල කපා හැරීම, රජයේ වැඩ සඳහා වෙන් කරනු ලබන අරමුදල් ද රුපියල් ලක්ෂ පනහ දක්වා පහත දැමීම, ආනයන තීරුබදු වැඩි කිරීම, ආදායම් බද්දක් පැනවීම, තේ සහ රබර් සීමා ක්‍රම පටන් ගැනීම, වතුකරයේ අවම වැටුම් අඩු කිරීම සහ ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග රැසක් මේ කාලය තුළ අපට කියවා ගත හැකි ය. මේ වනවිට ඒ.ඊ. ගුණසිංහ මහතා ප්‍රමුඛ ලංකා කම්කරු සංගමය කෙරෙහි ද ජනතාවගේ ප්‍රසාදය එතරම් හොඳ මට්ටමක පැවතුණේ නැත. 1927 වරාය වර්ජනයෙන්, 29 ට්‍රෑම් රියදුරු වර්ජනයෙන් සාර්ථක වූ ඔවුන් මෙහෙය වූ 1929 එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වැඩ වර්ජනය අසාර්ථක වීම සමඟ ලංකා කම්කරු සංගමයේ ‘ප්‍රථම පරාජය’ වාර්තා විය. දෙවන අසාර්ථක වැඩවර්ජනය බවට පත් වන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් වැඩ වර්ජනය යි. ඉන් අනතුරුව ඔවුන් අසාර්ථක වන්නේ 1933 ගෝල් ෆේස් වැඩ වර්ජනය යි.

    මේ අතරතුර ජාත්‍යන්තරය තුළ සිදුවුණු සිදුවීම් කිසිසේත් ම අමතක කළ නොහැකි ය. ලෝක ආර්ථික මෙන් ම ආහාර අර්බූදය හමුවේ ජාත්‍යන්තරය තුළ ද වාමාංශික බලවේගයන්හි පසුබැස්මක් දැකිය හැකි ය. 1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනය පරාජය විය. ඉතාලියේ මුසෝලිනිගේ පැසිස්ට්වාදය එරට තහවුරු විය. චීනයේ කොමියුනිස්ට් පාලනය 1927 දී පරාජයට පත් විය. 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පත් විය. පැසිස්ට්වාදයේ ඉක්මන් ගමන මතු වූ කාලයක් බවට එකල ජාත්‍යන්තරය තුළ ද පත් වී තිබූ අයුරු විද්‍යමාන විය. මේ වනවිට පිඩිත විජිත රටවල නිදහස හ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් වැදී සිටි සියලු විප්ලවීය බලවේග ජාත්‍යන්තර ව එක ම කුඩයක් යටට ගෙන ඒමේ අරමුණින් 1927 දී කොමියුනිස්ට්වරුන් විසින් සංගමයක් පිහිටවූහ. එහි විධායක මණ්ඩලයට ඉන්දියාවෙන් ජවහර්ලාල් නේරු, ඉන්දුනීසියාවේ මොහොමඩ් හටා වැනි කොමියුනිස්ට් නොවන ජාතිකවාදී අදහස් දැරූ නායකයෝ ද ඇතුළත් වූහ. යුගයේ අවශ්‍යතාව අනුව මෙම බලවේගයන්හි පැවති වෙනස්කම්, නොගැලපීම් සියල්ල අමතක කොට කටයුතු කරන්නට සිදු විය.

    ඒ වනවිට ලංකාවේ ධනේෂ්වර ක්‍රමය තුළින් මතු වූ ව්‍යාපාරික ප්‍රජාවගේ දූ දරුවන් ද එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල අධ්‍යාපනය යවන්නට කටයුතු කෙරෙනු දැකිය හැකි විය. සාම්ප්‍රදායික රදළ පෙළපත්වල දරුවන්මෙන් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලට නොගිය ද ලන්ඩන් විශ්වවිද්‍යාලය, ඇමෙරිකාවේ විස් කොන්සින් වැනි සාමාන්‍ය නමුත් ජනප්‍රිය විශ්වවිද්‍යාලවෙත යවන්නට එම දෙමාපියෝ සමත් වූහ. එම දරුවන් මූලික අධ්‍යාපනය බොහෝවිට ලැබුවේ පරම විඥානාර්ථ පාසල්වලින් විය. විවිධ සමාජ අසාධාරණයන්ට ලක් වූ කොටස්වල දරුවන් ද මේ අතර වූහ.

    ඇතැමුන් දැඩි සිංහල බෞද්ධ මතවාදය දරන්නෝ වූහ. දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ, එන්.එම්.පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන මේ ශිෂ්‍යයන් අතර කැපී පෙනුණි. ඔවුහු ලන්ඩන් නුවර රැස් වී ලංකාවේ සමාජවාදී පක්ෂයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කළ අතර එබැවින් ම “ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ලන්ඩන් නුවරින් ඇරඹුණි” යැයි ඇතැමෙක් කියති. කෙසේ වෙතත් සිය උසස් අධ්‍යාපන කටයුතු වෙනත් රටක සිට සිදු කරන අතරතුර තමන්ගේ මාතෘභූමියේ ස්වාධීනතාව සහ නිදහස පිණිස ඔවුන් දැරූ මතවාදය සහ ක්‍රියාකාරීවීම සම්බන්ධ ව ඔවුහු බහුතර ලාංකිකයන්ගේ ගෞරවයට අදටත් පාත්‍ර වෙති. මාක්ස්වාදය සහ ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරය ඔවුගේ ප්‍රදීපාගාර විය. ඒ වනවිට ලංකා ජාතික සංගමය රට තුළ අධිරාජ්‍යගැති සහ යටහත් පහත් ලෙස නිදහස ඔවුන් අතින් ම බන්දේසියක තබා දෙනු ඇතැයි සිතූ බැව් පෙනේ. ලංකාවට ඩොමිනියන් නිදහසක් ලබා ගැනීම ඔවුන්ගේ දීර්ඝ කාලීන අරමුණ විය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය ඊට හාත්පසින් ම විරුද්ධ ව්‍යාපාරයක් විය. ඒ නිසා ම ලංකා ජාතික සංගමය සහ ඉන්දීය ජාතික සංගමය අතර පරතරය අහසට පොළොව සේ විය.

    මේ වනවිට එංගලන්තය තුළ ද බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රතික්ෂේප කරමින් ලාංකික සහ ඉන්දියානු සිසුහු බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයට ආකර්ශනය වූහ. මාර්ක්ස්වාදී බුද්ධිමතුන්, මහාචාර්ය හැරල්ඩ්.ජේ.ලැස්කි, ස්කොට් නියරිං වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඇසුර ද ඔවුන්ගේ දැනුම් පරාසයන් පුළුල් කළේ ය. මේ වනවිට ලංකාව තුළ ඒ.ඊ. ගුණසිංහ මහතා තමන්ගේ ස්ථාවරය වෙනස් කරමින් සේව්‍යයන් සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. සර්වජන ඡන්ද බලය එක වර ම ඩොනමෝර් ව්‍යවස්ථාව මඟින් ලබාදීම අනුවණ කමක් ලෙසත් ගුණසිංහ මහතාගේ ස්ථාවරයේ වෙනස්වීමත් ලන්ඩන් සිටි මෙම සිසුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

    ඔවුහු ලංකාවට පැමිණ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකළෝය. ඒ ගෞරවයට ද ඔවුහු පාත්‍ර වෙති. මේ වනවිට ලංකාව තුළ බිහි ව තිබූ තරුණ සංගම් අතරින් ක්‍රියාකාරී ව ඉතිරි වූ සංගම් රැසක් ද පැවතිණි. ටෙරන්ස් ද සිල්වා, රොබින් රත්නම්, එලියන් පරේරා වැනි තරුණ නායකයන් කැපී පෙනුණි. කොල්වින් ආර්.ද සිල්වා බැඳී සිටියේ දකුණු කොළඹ තරුණ සංගමයට ය.

    තරුණ සංගම්වලට ජාතික දේශපාලනයේ කවුළු විවර කෙරුණේ සූරියමල් ව්‍යාපාරය ආරම්භයත් සමඟය. පළමුවැනි ලෝක යුද්ධය අවසන්වීම සමඟ එය සැමරීම පිණිස සෑම වසරක ම නොවැම්බර් මස 11වැනි දින පොපිමල් ලොව පුරා විකිණුනු අතර ඉන් ලැබෙන ආදායම යුද්ධයට මැදි වූ ජීවතුන් අතර සිටින භටයන්ගේ සුබසාධනයට යැවීමේ ‘පොපි මල් ව්‍යාපාරය’ට විරුද්ධව ‘සූරිය මල් ව්‍යාපාරය’ ලංකාවේ ඇරඹුණි. ක්‍රිස්තියානි පාසල් සූරිය මල් වර්ජනය කරද්දී, අධිරාජ්‍ය ගැති ආයතන ප්‍රධානීන් සූරියමල් වර්ජනය කරද්දී, ව්‍යාපාරිකයින් සූරියමල් වර්ජනය කරද්දී එය ජීවමාන ව පවත්වා ගනිමින් ජනප්‍රියත්වයට පත්වුව ද ඊට එරෙහිව නැඟුණු තර්ජන සහ හතුරුකම්වල දේශපාලන ස්වරූපය දුටු ඔවුහු එය නතර කිරීමට තීරණය කළහ. 1933 දී නැවත සූරියමල් ව්‍යාපාරය සියතට ගත් එවක ආනන්ද බාලිකාවේ විදුහල්පතිනිය වූ ඩොරීන් වික්‍රමසිංහ මහත්මිය ඉදිරියට ගෙන ගියා ය.

    මේ සඳහා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, විල්මට් ඒ.පෙරේරා වැනි ජාතිකවාදී නායකයන්ගේ සහාය ද ලබා ගැනීමට ඇය සමත් වූවා ය. ටෙරන්ස් ඈන් ද සිල්වා 1937 දී සූරියමල් ව්‍යාපාරය පිළිබඳ නිකුත් කළ නිවේදනයක් ඩබ්.ජයවර්ධන මහතාගේ ‘ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය’ කෘතියෙහි උපුටා දක්වා ඇත්තේ මෙසේ ය.

    “සූරිය මලක් පළඳින්නා අධිරාජ්‍යවාදයටත් යුද්ධයටත් විද්ධත්වය දක්වන්නෙකු පමණක් නොව නිරාහාරව දුකින් නග්නව නූගත්කමින් හා රෝග භීතියෙන් පෙළෙමින් සිටින ලාංකික අසරණ සහෝදර සහෝදරියන්ට අනුකම්පා කරන්නෙක් ද වන්නේ ය. නිදහස, ආත්ම ගෞරවය ආරක්ෂ කරන ඔබ විසින් නොවැම්බර් 11වැනි දා සූරිය මලක් පළඳන්න අමතක නොකරන්න.” මේ අනුව සූරියමල් ව්‍යාපාරය යනු මෙරට වාමාංශික ව්‍යාපාරයේ ඇරඹුමෙහි සංධිස්ථානයක් බැව් පෙනේ.

    ඊළඟ වැදගත් සංධිස්ථානය ලෙස 1933 ඇති වූ වැල්ලවත්ත රෙදි මෝලේ වැඩවර්ජනය හඳුන්වා දීම නිරවද්‍ය ය. ඒ වනවිට එහි සේවකයින් 1400ක් පමණ සේවයේ නියුතු වූහ. මතුව තිබෙන ආර්ථික අවපාතය සහ ඒ වනවිට ජපන් රෙදි පිළි වෙළඳපොළ ආක්‍රමණය කරමින් පවතින නිසා සේවකයින්ගේ වැටුප් අඩු කිරීමට සිදු වන බැව් සේවකයන් වෙත දන්වන ලදී. ඒ වනවිට කම්කරු නායකයා වූ ඒ.ඊ.ගුණසිංහ කම්කරු සටන වෙනුවෙන් මැදිහත් නොවීම නිසා තරුණ සංගම්වල සහාය ලබා ගැනීමට කම්කරුවන්ට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි 23වැනි දින වැල්ලවත්ත කම්කරු සංගමය පිහිටුවනු ලැබිණි. එහි සභාපති වූයේ කොල්වින් ආර්.ද සිල්වා මහතා ය. වර්නන් ගුණසේකර, ජේ.ඩබ්.සේනානායක, පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්.පෙරේරා, එස්.ඒ.වික්‍රමසිංහ, රොබට් ගුණවර්ධන, ක්‍රිෂාන්ත ද සිල්වා සෙසු නිලධාරීන් ලෙස පත් වූ අතර වැඩ වර්ජන සංවිධානය, මහජන රැස්වීම්වල කතා කිරීම, අරමුදල් එකතු කිරීම සහ සහනාධාර බෙදා දීම ආදිය ඔවුන් විසින් සිදු කරන ලදී. ඒ අයුරින් වර්ජනය ක්‍රියාත්මක විය. මේ සඳහා පත් කරන ලද කොමිසමේ නිර්දේශ අනුව ද කම්කරුවන්ට සාධාරණය ඉටු නොවුණු නමුත් ඒ.ඊ.ගුණසිංහ මහතා එම කොමිසමට ප්‍රශංසා කළේ ය. ඩබ්.ජයවර්ධන මහතාගේ කෘතියෙහි මේ පිළිබඳ මහාචාර්ය කේ.එම් ද සිල්වා සහ මහාචාර්ය හාවර්ඩ් හිඟින් සඳහන් කළ උපුටනයක මෙසේ සඳහන් වේ.

    “ආර්ථික උද්ධමනය උග්‍ර වී තිබුණ අවධියේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළින් ඔවුහු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට ඉතා ලං ව සිටියහ. මින් ලොකුම පාඩුව සිදු වූයේ ඒ.ඊ. ගුණසිංහට හා ඔහුගේ කම්කරු පක්ෂයට ය. යෞවන උද්යෝගයන්, දෘෂ්ටිවාදී මත හරඹයන් තුළින් නාගරික වැඩ කරන ජන කොටස් එක්සිත් කර එක්සත් කරන්නට ඔවුහු සමත් වූහ.”

    පිට පිට ම ඇති වූ උග්‍ර නියඟය මැලේරියා රෝගය ලංකාව තුළ ව්‍යාප්ත වීමට රුකුල් දුන්නේ ය. එවක ජනගහනය ලෙස සැලකූ ලක්ෂ 55න් ලක්ෂ 15ක් පමණ මැලේරියා රෝගයට ගොදුරු විය. මියගිය සංඛ්‍යාව ලක්ෂය ද ඉක්මවී ය. සූරියමල් ව්‍යාපාරය මැලේරියා වසංගතයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දුන්හ. ඔවුන් වෙත ගියහ. තරුණ සංගම්වල මේ දායකත්වය ජනතා ප්‍රසාදය ඔවුන් වෙත නිරායාසයෙන් ලබා ගැනීමක් විය. සිය අධ්‍යාපනයේ සහ අත්දැකීම්වල සාරය මුසු කරගනිමින් තරුණ සංගම් ජාතික දේශපාලනයේ නිවැරදි ගමන් මාර්ගයකට අවතීර්ණ වනු දක්නට හැකි විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය වන 1935 දී බිහි වූ සමසමාජ පක්ෂය බිහිවීමේ පසුබිම මේ අයුරින් සැකසිණි.

    එහෙත් එසේ බලවත් විකල්පයක් ලෙස නැගී ආ වාමාංශික ව්‍යාපාරය ට රට ට වැඩදායී ලෙස පෙරට යාමට හෝ ආණ්ඩු බලයක් ලබා ගැනීමට නොහැකි වීම වෙනම සලකා බැලිය යුතුය. එයට ප්‍රධාන හේතුව බවට පත් වූයේ වමේ ව්‍යාපාරය තම ශක්තිය ගැන නිසි තක්සේරුවකට නොඑළඹීමත් ජනතා ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත නොවීමත් යන කරුණු නිසා මෙරට සමසමාජ ව්‍යාපාරය මුල් කර ගත් වාමංශික ව්‍යාපාරයට නිසි ඉදිරියක් ඇති නොවූ අතර එහි ප්‍රතිඵලය වූයේ රටට විශාල කාර්යක් ඉටු කළ හැකි වාමාංශික ව්‍යාපාරය හැත්තෑව දශකය අග භාගය වන විට විශාල කඩා වැටීමකට ලක් වීමය.

     

     

     

      ගයාන් පීරිස්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here