විපක්ෂයේ කෙනෙහිළි මැද ඉදිකළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

    0
    43

    චීනයත් ලංකාවත් අතර ඇත්තේ දිගු කාලීන මිත්‍ර සම්බන්ධයකි. දෙරටම බෞද්ධ රටවල් වීම ඊට එක් හේතුවකි. මීට සියවස් ගණනාවකට ඉහතදී හියුං සියැං භික්ෂූන් වහන්සේ මෙරටට වැඩම කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. මෑත ඉතිහාසයේ චීන ජන නායකයකු මෙරටට පැමි‍ණියේ 2014 දීය. ඒ චීන ජනාධිපති ෂී ජින් පින්ය. ඔහු මෙහි පැමිණ ඩොලර් මිලියන 1400ක ආයෝජනයක් කරමින් චීන සමාගමක් ඉදි කරන වරාය නගරයට මුල් ගල තැබූවේය. එපමණක් නොව මෙරට අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ඉදි කිරීමටත් දැවැන්ත ආයෝජන සිදු කළේ චීනයයි.

    අද වන විට චීනය ආසියාකරයේ බලවතා පමණක් නොව ලෝක බලවතුන් අතර ද පෙරමුණට එමින් සිටින බව ද නොරහසකි. මීට වසර 44 කට පෙර එනම් 1976 දී ශ්‍රී ලංකාව ලොව පුරා ජනතාවගේ අවධානයට යොමු වූයේ ලෝක ජන නායකයන් 85කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ “නොබැඳි ජාතීන්ගේ සමුළුව” දෙසටය. ආසියානු රටක පැවති මුල්ම නොබැඳි සමුළුව පැවැත්වුණේ 1976 අගෝස්තු මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

    මේසා විශාල ජන නායකයන් සංඛ්‍යාවකට එකට එක්වී සාකච්ඡා කිරීම සඳහා ඉඩ ලැබුණේ එම සම්මන්ත්‍රණ ශාලාව නිසාය. එය ගොඩ නැගීමට ශ්‍රී ලංකා රජයට උදව් කළේ ද, තිළිණ කළේ ද චින ජනරජය බව අද බොහෝ දෙනාට අමතක වී ඇතුවාට සැක නැත. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ බොහෝ සම්මන්ත්‍රණ හා උත්සව සඳහා ඉඩහසර ලබා දුන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවයි. එය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු පිරිවැය අඩු කර ගැනීමට ශ්‍රමදාන මඟින් සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීම සඳහා එදා පියවර ගත් අයුරුයි මේ.

    1970 නොවැම්බර් 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු ඇරඹුන ද ඊට මුල් ගල් තැබුණේ ඊට වසර පහකට පෙරය. ඒ 1965 මාර්තු 17 වැනිදා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතිනි. අක්කර 35ක් පමණ වූ ඒ පෙදෙස එදා හැඳින්වුණේ ‘කටු කැලේ’ නමිනි. එවක එම භූමියේ තිබුණේ හැව්ලොක් ගොල්ෆ් පිට්ටනියයි. එහෙත් මෙම ශාලාව ඉදි කිරීම සඳහා විශාල අභියෝගයක්ව පැවතුණේ ඊට වැය වන අති විශාල මුදල සොයා ගැනීමේ ප්‍රශ්නයයි.

    ශාලාව ඉදි කිරීම සඳහා එදා රුපියල් මිලියන 19ක මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. මහජන චීන ජනරජය මෙය ඉදි කිරීම සඳහා අනුග්‍රහය දැක්වීමට කැමැත්ත දැක්වූවත් 1965 දී පැවැති ආණ්ඩුව පෙරැළිණි.

    බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට අවශ්‍ය සහායක් නොලැබිණි. ඒ වෙනුවට විවිධ විවේචන එල්ල විය. බණ්ඩාරනායක සමරු ශාලාවට මෙතරම් විශාල භූමි ප්‍රමාණයක් වෙන්කරදීම ලංකාවට ඔරොත්තු නොදෙන බව එජාපයේ අදහස විය.

    මේ සම්මන්ත්‍රණ ශාලාවට ඉඩක් වෙන් කරනවාට වඩා එම ස්ථානයේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම වඩාත් කාලෝචිත විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයෙන් පැවසිණි.

    ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ කලින් තිබූ සිරිමාවෝ ආණ්ඩුව එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සැමරීම වෙනුවෙන් ගොඩනැඟිල්ලක් ඉදි කර නැති නමුත් විදේශ රටක්, සිහිවටන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යන බවටත් චෝදනා කර තිබිණි.

    කෙසේ වුවත් 1970 දී යළි ආණ්ඩු බලය ලැබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බැවින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීමේ වැඩ කටයුතු යළි අරඹන්නට ඇයට හැකි විය. ඒ සඳහා මැතිනිය 1970 නොවැම්බර් 24 වැනිදා එහි ඉදිකිරීම් අරඹමින් මංගල පස් පිඩැල්ල කැපුවාය.

    ඒ අවස්ථාවට විදෙස් තානාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම ස්ථානයට පැමිණ සිටියහ. එදින සිට 1973 දක්වාම සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීමේ කටයුතු නොනවත්වා සිදු කෙරිණි.

    මෙය ඉදිකිරීමට වැය වන මුදල අඩු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රම දායකත්වය ලැබිණි. එදා නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා වූයේ පීටර් කෙනමන් මහතාය. එම අමාත්‍යාංශය මඟින් බෙදා ගත් දින වකවානුවලට අනුව මැතිවරණ කොට්ඨාස කිහිපයකින්ම තරුණ තරුණියන් විශාල පිරිසක් ශ්‍රමදාන සඳහා කොළඹට ගෙන්වා ගනු ලැබීය.

    ඔවුන් කළ යුතු වූයේ ශාලාව තැනෙන භුමිය පිරිසිදු කිරීම, ඉදි කිරීම් ස්ථානය සඳහා යාමට අවශ්‍ය ප්‍රවේශ මාර්ග තැනීම, ජල ටැංකි කොන්ක්‍රීට් කිරීමට සහාය දැක්වීම, කානු පද්ධති සකස් කිරීම සහ ගබඩා ඉදි කිරීම වැනි සාමාන්‍ය කටයුතුය. ඉන් දින දෙකක් මහා පරිමාණ ශ්‍රමදාන ව්‍යාපෘතියක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කර ඇත. මෙනිසා සම්මන්ත්‍රණ ශාලා ව්‍යාපෘතියට වැය වන මුදලින් කම්කරු ශ්‍රමය සඳහා වූ වියදම් බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවී තිබේ.

    පාර්ලිමේන්තු මැති ඇමැතිවරුද වරින් වර ශ්‍රමදාන සංවිධානය කර තිබූ අතර, අගමැතිනිය ද නිතරම එම භූමියේ රැ‍ඳෙමින් ශ්‍රම දායකත්වය සැපයූ තරුණ තරුණියන් උද්‍යෝගිමත් කර ඇත. “අපි ගමේ කොල්ලෝ” නමින් අගමැතිනිය ද ශ්‍රමදානයක් සංවිධානය කර තිබිණි.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එදා ආසියානු රටක වැඩ ආරම්භ කළ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිය විය. ඒ සඳහා චීන ජාතික හා ඕ පුටැන්ගේ මූලිකත්වයෙන් ශ්‍රමිකයන් විශාල පිරිසක් ද මෙහි පැමිණි අතර, ඉදිකිරීම් සඳහා අවශ්‍ය උපකරණ ද චීනයෙන් ගෙන්වනු ලැබීය.

    ශ්‍රම දායකත්වයට අමතරව ශ්‍රී ලංකා රජයේ කර්මාන්ත ශාලාවෙන් උපකරණ කිහිපයක් සැපයිනි. චීන නායක මා ඕ සේතුං සහ චෟ එන් ලායි මෙම ඉදිකිරීම්වලට යටිතල පහසුකම් ලබාදීමෙන් විශාල අනුග්‍රහයක් දැක්වීය.

    1973 වසර වන විට සම්මන්ත්‍රණ ශාලාවේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කර තිබිණි. ඒ නියමිත කාලයට මාස තුනකටත් කලිනි. ඒ වන විට අසුන් 1500කින් සමන්විත ශාලාව ඇතුළුව දහසකට වැඩි පිරිසකට එකවර ආහාර ගත හැකි භෝජනාගාරයකින් ද විසල් උද්‍යානයකින් ද මෙම භූමිය සමන්විත විය.

    1973 වසරේ දිනෙක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සාදා නිම කිරීමට උර දුන් චීන ජනතාවට කෘතගුණ දක්වනු සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ද සහභාගිත්වයෙන් කොළඹ නව රඟහලේදී “පහනෙන් පහන” නමින් සංස්කෘතික උළෙලක් අත්‍යාලංකාරයෙන් පැවැත්විණි.

    1973 දී සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ උළෙල පැවැත්විණි. ඒ සඳහා ඇරයුම් ලැබ සිටියේ මහජන චීන ජනරජයේ රාජ්‍ය නායක චෟ එන් ලායි මහතා ඇතුළු චින මහජන කොංග්‍රසයේ නියෝජිතයන් පිරිසකි. චින මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සහකාර අධ්‍යක්ෂ හසු හී හෑන්ග් චෙන් මහතා ඇතුළු දේශපාලන මණ්ඩලයේ නායකයන් 24 දෙනාද, එරට රාජ්‍ය ඉදිකිරීම් කොමිසමේ ප්‍රධානියා ද මෙම උළෙලට සහභාගි වූහ.

    මේ සඳහා කැපවීමෙන් වැඩ කළ සෑම සේවකයකුටම සිහිවටනයක් ලෙස සම්මන්ත්‍රණ ශාලාවේ ආකෘතියක් සහිත පදක්කමක් පිරිනමනු ලැබීය. 70 දසකයට අනුව මේ අති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමාවට පත් කිරීමේදී කලින් ඇස්තමේන්තු ගත මුදලට වඩා රුපියල් මිලියන 5ක් ඉතිරි කරගත හැකිවූ බව ද වාර්තාගතය.

    ඉදිකිරීම් නිම කිරීමට යෝජිත කාලයට වඩා මාස තුනකට කලින් මේ ව්‍යාපෘතිය නිම කිරීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක් බව එදා පුවත්පත්වල පුවත් පළවිය. මෙවැනි හේතූන් මත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීමට විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ චෝදනා නිෂ්ප්‍රභ විය.

    අද වන විට සම්මන්ත්‍රණ ශාලාව ගොඩනැඟිලි සංකීර්ණයකි. එය සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවකින්ද, එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පරිහරණය කළ භාණ්ඩ ඇතුළත් කෞතුකාගාරයකින් ද අන්තර්ජාතික කටයුතු පිළිබඳ අධ්‍යයන ආයතනයකින් ද සමන්විතය.

    1976 දී ලෝක නායකයන් රැසක් එකම තැනකට රැස්වී සාකච්ඡා කිරීමට තෝරා ගැනුණේ ද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවයි. ඒ නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවටය. එදා මුළු කොළඹ නගරයම අත්‍යාලංකාරයෙන් සරසා තිබිණි.

    එම සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි රාජ්‍ය නායකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට සම්මන්ත්‍රණ ශාලාව දක්වා රැගෙන යාම සඳහා රාජ්‍ය නායකයකු විසින් මෝටර් රථ 85ක් ශ්‍රී ලංකාවට තිළිණ කර තිබිණි.

    මෙය ඉදිකිරීම සඳහා අනුග්‍රහය දැක්වූ ශ්‍රම දායකයන්ගේ නම්, ලිපින හා වැඩ කළ දින සඳහන් “රන් පොත” නම් පුස්තකයක් අදත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයට තබා තිබේ.

    මිනිසුන් 61970කගේ සහභාගිත්වයෙන් ඉදි කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව එමඟින් විශාල මුදලක් ඉතිරිකර ගත් බවත් ශ්‍රමදාන මඟින් මෙවැනි දැවැන්ත කාර්යයක් නිමා කිරීම පුදුම සහගත බවත් එදා Daily News පත්‍රය වාර්තා කර තිබිණි.

     

     බන්ධුල ගුණරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here