සියල්ලට ඉහළින් පාර්ලිමේන්තුව පනහ දශකයේ දී උසාවිය දුන් තීන්දුව

    0
    31

    වඩා උත්තරීතර පාර්ලිමේන්තුවද ශ්‍රේෂ්ඨාධිකරණයද යන්න පිළිබඳව විවාද පවතිද්දී අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් සිටියදී පාර්ලිමේන්තු තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනය කළ නොහැකි බවට තීන්දුවක් දුනි. කිසියම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පනත පාර්ලිමේන්තුවට ඒමට පෙර අර්ථ නිරූපණය කළ යුතු බව 1978 ව්‍යවස්ථාවේ සඳහන්ව තිබීම මේ ගැටලුවට ව්‍යවස්ථාවෙන්ම පිළිතුරු දීමකි.

    නමුත් ලංකාවේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාර්ලිමේන්තුව විසින්ම පාවා දීමට ගත් උත්සාහයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළකූ අවස්ථාවක් ඉතිහාසයේ සඳහන් වේ. 1955 අප්‍රේල් 06 දින දෙදහස් පන්සිය සම්බුද්ධ ජයන්ති වැය ශීර්ෂය එවක නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විවාදයට භාජනය විය. කථානායක සර් ඇල්බට් ඇෆ්.පීරිස් මහතා මුලසුන දරා සිටියදී මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා එම වැය ශීර්ෂය ගැන කථා කිරීමට නැගී සිටි විට විවාදයේ කාලය අවසන් වී ඇතැයි ප්‍රකාශ කළ කථානායක ඒ බව ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.රත්නායක මහතාට දැනුම් දුන්නේ පිළිතුරු කථාව කරන‍ ලෙසය. සෝමවීර චන්ද්‍රසිරි මහතා එහිදී මෙම වැය ශීර්ෂය පිළිබඳව මම අනිවාර්යයෙන් කථා කළ යුතු බව දැනුම් දී දිගටම කථාකර ගෙන ගිය අතර අමාත්‍ය ඒ.රත්නායක මහතාද පිළිතුරු කථාව කරන්නට විය.

    කථානායක නියෝගය නොපිළිගත් සෝමවීර චන්ද්‍රසිරි මහතා කථාව නවතා වාඩි නොවුණහොත් ඔහු රැස්වීමෙන් බැහැර කරන බව කථානායකවරයා දැනුම් දුන්නේ මේ අවස්ථාවේදීය. පුළුවන් නම් සභාවෙන් ඉවත් කරන ලෙස අභියෝග කළ සෝමවීර චන්ද්‍රසිරි මහතා ඇමැතිවරයාට වඩා උස් හඬින් තම කථාව කරගෙන ගියේය. සභානායක ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සෝමවීර චන්ද්‍රසිරි මහතා සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ විට එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

    ඒ අනුව මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා සභාවෙන් ඉවත් කිරීමට නියෝග කළ කථානායකවරයා සභාවේ වැඩ තාවකාලිකව නතර කර සභා ගැබින් ඉවත් විය. මෙවිටම නැගී සිටි ගාල්ලේ විජයානන්ද දහනායක මහතා තාවකාලික සභාපතිවරයකු ලෙස දෙහිඕවිට මන්ත්‍රී එඩ්මන් සමරක්කොඩි මහතාගේ නම යෝජනා කළ අතර කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන මහතා එය ස්ථිර කළේය. දෙහිඕවිට මන්ත්‍රී එඩ්මන් සමරක්කොඩි මහතා කථානායක අසුනේ වාඩි වූ අතර සෝමවීර චන්ද්‍රසිරි මහතා තම කථාව දිගටම කරගෙන යද්දී පොලිස් නිලධාරීන් හා වේත්‍රධාරී නිලධාරීහු පැමිණ සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රීවරයා සභා ගැබෙන් ඉවතට රැගෙන ගියහ. ඒ සමඟම කථානායක අසුනේ වාඩි ගත් එඩ්මන් සමරක්කොඩි මහතාද ඉන් ඉවත්ව ගියේය. මෙම සිද්ධිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් ලෙස සැලකූ එජාප ආණ්ඩුව මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව කටයුතු කරන්නට තීරණය කළේය.

    මේ සම්බන්ධයෙන් 1955 ජුනි 24 වනදා ඇටර්නි ජනරාල් ටී.ඇස්. ප්‍රනාන්දු මහතා අප්‍රේල් 06 වනදා දෙහිඕවිට මන්ත්‍රී එඩ්මන් සමරක්කොඩි මහතා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී අවඥාගත ලෙස හැසිරීමේ වරදක් කර ඇතැයි ද එම වරද කිරීමට ගාලු මන්ත්‍රී ඩබ්. දහනායක මහතා විසින් ආධාර හා අනුබල දී ඇතැයි ද කථානායකවරයා වෙත වාර්තා කර සිටි අතර එම වාර්තාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

    1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 23 ‍ඡේදය අනුව දහනායක හා සමරක්කොඩි යන මන්ත්‍රීවරුන් වරදක් කර ඇති බව ඇටර්නි ජනරාල්ගේ නිගමනය විය. සභාපතිවරයා අසුනෙන් ඉවත්ව ගියද මන්ත්‍රී මණ්ඩලයේ රැස්වීම පැවැතෙමින් තිබුණේය යන්න ඔවුනගේ නිගමනය විය. ඒ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනා උසාවි යැවීමට මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තීරණය විය. 1955 ජුලි 06 වනදා ඒ පිළිබඳව යෝජනාව සභානායක වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළේය. යෝජනාව ඉදිරිපත් කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා කළ කථාවේ මෙසේද සඳහන් වූ බව ‘ශ්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’ ග්‍රන්ථයේ සඳහන් වේ.

    ‘මෙයට සම්බන්ධ වූ ගරු මන්ත්‍රීවරුන්ට සුප්‍රිම් උසාවිය ඉදිරියට ගිය හැකිය. ඔවුන්ට රැස්වීම අවසන් වූ බව හෝ රැස්වීමක් නොතිබුණ බව හෝ ප්‍රකාශ කොට එම නිසා ඕනෑම කෙනකුට ඕනෑම කෙනකු කථානායක පදවියට පත් කළ හැකි යයි තර්ක කළ හැකිය. ඔවුන්ගේ තර්කය සුප්‍රිම් උසාවිය පිළිගතහොත් ඔවුන් නිදහස් වනු ඇත. අනිත් අතට ඔවුන්ට සුප්‍රිම් උසාවියේදී සමාව ඉල්ලිය හැකිය. රැස්වීම අවසන් නොවූ බව නොදැන සිටි බව උසාවිය හමුවේ කියා ඔවුන් නොදැන කළ වරදට සමාව යැද තමනට අනුකම්පාව දක්වන ලෙස කියා සිටිය හැකිය. නැතහොත් පුහු මානයෙන් කථානායක අසුනේ සිටියදීත් එම අසුනට ඕනෑම කෙනකු යෝජනා ස්ථිරත්වයෙන් පත් කිරීමට බලයක් තමන් සතුව පවත්නා බව ප්‍රකාශ කළ හැකිය. තමන් සරණ යන දේශපාලන න්‍යායන් අනුව තමන් බලහත්කාරයෙන් සෑම වැඩක්ම කරන පිරිසක් බව කියා සිටිය හැකිය.

    නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අයත් භූමිභාගය තුළදී අගෞරවකාරී අන්දමින් හැසිරීම මන්ත්‍රී මණ්ඩලයේ සභාවාරය පැවැත්වෙද්දී එහි කටයුතු වලට බාධා පැමිණීමට ඉඩ ඇති බව විශ්වාස කිරීමට හේතු ඇතිව හෝ අනුදැනුම මන්ත්‍රී මණ්ඩලය තුළ කලබලයක් ඇතිකිරීම පිළිබඳව එඩ්මන් සමරක්කොඩි මහතාටත් එයට අනුබල දුන්නේ යැයි ඩබ්. දහනායක මහතාටත් චෝදනා නගමින් එච්.ඇන්.ජී. ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා ඉදිරියේ පැමිණිල්ල ගොනු විය.

    එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙවැනි නඩුවක් ලංකාවේ පමණක් නොව ස්වෛරී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් පාලනය කෙරෙන රටක ඇතිවූ පළමු අවස්ථාව බවද තමන්ගේ බලය අධිකරණ මණ්ඩලයකට පවරා දීමට සූදානම් වූ එකම පාර්ලිමේන්තුව ලංකා පාර්ලිමේන්තුව බවත්, අනෙකුත් සියලුම පාර්ලිමේන්තු සිය විනයානුකූල බලයට අධිකරණයන්ගෙන් අවහිරයක් නොවන ලෙස ප්‍රවේශමෙන් රැක බලා ගන්නා බවත් පාර්ලිමේන්තුව ඇතුළත සාමය රැක ගැනීමේ කාර්ය ශ්‍රේෂ්ඨාධිකරණයට භාර කළ අවස්ථාවක් මීට පෙර කිසි තැනක අසන්නට ලැබී නැතැයිද ප්‍රකාශ කර සිටියේය.

    පාර්ලිමේන්තු යෝජනා ස්ථිරත්වයෙන් තමනට පවරාදුන් වරප්‍රසාද පනත යටතේ සුප්‍රිම් උසාවියට නැති අධිකරණ බලයක් පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කළ එච්.එන්.ජී. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා මෙම නඩුව විසඳීම උසාවියට භාර කටයුත්තක් නොවන බවට තීන්දු කළේය.

    මේ අනුව පාර්ලිමේන්තුවට වඩා එහි වරප්‍රසාද ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර ඇති බව පැහැදිලිව පෙනේ. මෙම පාර්ලිමේන්තු ක්‍රියාදාමය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තම වරප්‍රසාද කඩකර ගැනීමට ක්‍රියා කර ඇති බව එච්.ඇන්.ජී. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමාගේ නඩු තීන්දුවෙන් පැහැදිලි වේ. පාර්ලිමේන්තුව විසින්ම තම පාර්ලිමේන්තුව පාවා දීමට කළ ප්‍රයත්නය දෙස බලන විට පාර්ලිමේන්තුවටත් වඩා එහි වරප්‍රසාද ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය උනන්දු වී ඇති බව පෙනේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද බලය උපයෝගී කර ගනිමින් එදා ආණ්ඩුව තමන්ගේම පාර්ලිමේන්තු වරප්‍රසාද පාවා දීමට ගත් උත්සාහය මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වළකාලන ලදී.

     

     

     

     බණ්ඩාරගම සමරසේන මුදලිගේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here