MCC බූබූවල්ලාගේ වැරදුණු කුරුමානම

    0
    10

    සම්ප්‍රදායික යටත්විජිතවාදයේ බිඳවැටීමත් සමඟ ලොව බලවත් රටවල් මුහුණදුන් ප්‍රධාන ගැටලුව වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තවදුරටත් තමන්ගේ ග්‍රහණයේ තබාගන්නේ කෙසේද යන්නයි. ලෝකය තුළ නව යටත්විජිතවාදය මතුවන්නේ ඒ ගැටලුවට පිළිතුරක් ලෙසය. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් සිය ආධිපත්‍ය පැතිරවීම සඳහා මේ නව යටත්විජිතවාදය නොයෙක් ආකාරයට භාවිත කරන ආකාරය අද පැහැදිලිව දැකගත හැකිය. ලෝකයේ අනෙකුත් බලවත් රටවලට වඩා සූක්ෂම අයුරින් සිය ආධිපත්‍ය සෙසු රටවලට පැතිරවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව සිටියි.

    2003 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරන ලද සහශ්‍රක අභියෝගතා සමායතනය යනුද සෙසු රටවල් සිය ග්‍රහණයට ගැනීම උදෙසා භාවිත කෙරෙන නව යටත්විජිතවාදී මෙවලමක් බව අමුතුවෙන් කිව යුතු නැත. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ලෙසින් කාටත් අසා පුරුදු සහශ්‍රක අභියෝගතා සමායතන ආරම්භ කිරීමේ අරමුණ ලෙස දක්වා ඇත්තේ ඌන සංවර්ධිත රටවල දිළිඳුකම පිටුදැකීම හා ආර්ථික වෘද්ධිය ඉදිරියේ ඇති සංරෝධක ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් බවය.

    පනතේ කෙසේ සඳහන් වුවත් එහි යටි අරමුණ සංවර්ධනයට උපකාර කිරීමේ මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සිය ග්‍රහණයේ තබාගැනීම බව ගෙවුණු වසර 17ක කාලය තුළ එම්.සී.සී වලේ වැටුණු රටවල් දෙස බැලීමේදී පැහැදිලි වේ. වසර 17ක් තුළ රටවල් 49ක් තුළ සිය අඬුපඬු විහිදීමට එම්.සී.සී බූවල්ලා සමත්ව ඇත. එම්. සී. සී සමඟ ගිවිසුම් ගත වු රටවලට කිසිදු සෙතක් සිදුව නැති බව පසුකාලීනව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්සන් කරන ලද ගිවිසුම්වලට පෙර හා පසු වසර පහක කාලය තුළ ඒ ඒ රටවල් අත්පත් කරගත් වෘද්ධි වේගයන් අධ්‍යනය කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ සියයට එකක හෝ ඊට වැඩි වර්ධනයක් අත්පත් කරගැනීමට හැකිව ඇත්තේ අත්සන් තබා ඇති ගිවිසුම් 65න් 7කට පමණක් බවය. ඝානාව, ගයනාව, ඉන්දුනීසියාව, ලෙසොතෝ, මලාවි, පැරගුවේ සහ සැම්බියාව යන රටවල් පමණක් එසේ වර්ධනයක් පෙන්වා තිබේ.

     

    අමිහිරි අත්දැකීම්

    සියයට දශම පහකට වැඩි වර්ධනයක් වාර්තා කර ගත් රටවල් සලකා බැලුවද ඉහත රටවලට අමතරව එකතු වන්නේ මැඩගස්කරය, මෝල්ඩෝවා, නයිජර් සහ පිලිපීනය පමණි. රටවල් අතරින් සියයට 38කම වෘද්ධි වේගය අත්සන් කිරීමට පෙර පැවැති තත්ත්වයට වඩා සියයට දශම පහකින් පහළ වැටී තිබේ. නයිජර්, යේමනය, මොරීටානියාව, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආර්මේනියාව, මාලි සහ මලාවි යන රටවල් සමඟ ඇති කර ගත් ගිවිසුම් බිඳවැටී හෝ අතරමඟ නතරවී ඇත.

    එම්.සී.සී ගිවිසුම් සම්බන්ධයෙන් අධ්‍යයන විශාල ප්‍රමාණයක් මේ වන විටත් විවිධ රටවල විද්වතුන් විසින් පවත්වා ඇති අතර ඒවාට අනුව පැහැදිලි වනුයේ මෙහි මුඛ්‍ය අරමුණ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර උපකාර කිරීම නොවන බවය. පළමුව ආණ්ඩු ලවා ඉඩම් නීති වෙනස් කරවා අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට ඉඩම් ඩැහැගැනීමට එම්. සී. සීය කයුතු කරන බව කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් මැකිමිචෙල් පවසා තිබේ. එම්. සී. සී ගිවිසුම ඔස්සේ වන්නේ දිළිඳුකම පිටුදැකීම නොව අමෙරිකානු සමාගම්වලට දුප්පත් රටවල් කොල්ලකෑමට පාර කැපීම බව කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය එමා මවුඩ්ස්ලිගේ අදහසය.

    එම්.සී.සී ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනා තුළින් විදේශික සමාගම්වලට අදාළව රටේ ඉඩම් ඩැහැගැනීමට දොරටු විවර කර ඇති බව අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ එම්.සී.සී සංයුක්ත අත්දැකීම්වලින් පැහැදිලි වන ආකාරය ඔස්ට්‍රේලියාවේ ස්පර් සංවිධානය කරන ලද අධ්‍යයනවලින් හෙළිව තිබේ. ලෙසොතෝහි ස්වදේශිකයන්ගේ ඉඩම් කුණුකොල්ලයට විදේශිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර පීරු රාජ්‍යයේ ස්වදේශිකයන්ට ටිටිකාකා විලෙන් ජලය ගැනීමට පවා ගැටලු මතුව තිබුණි. උගන්ඩාව, සියෙරාලියොන් සහ මාලි යන රටවල ගොවීන්ද මෙවැනි දුෂ්කරතාවලට ලක්ව ඇති බව ස්පර් සංවිධානය සොයාගෙන තිබේ.

    හොන්ඩුරාස් රාජ්‍ය වෙත එම්.සී.සී ප්‍රදානය 2010 වසරේ එම්. සී. සී ආයතනයම අත්හිටුවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස ආණ්ඩු පෙරළීම නිසාවෙනි. අදාළ ප්‍රදානයන් අත්හිටුවීමත් සමඟ මාර්ග පිළිසකර කිරීම් අතරමඟ නතරවී තිබේ.

    එවැනි අමිහිරි අත්දැකීම් විඳීමට ඒ රටවලට සිදුව ඇත්තේ නිසි අධ්‍යනයකින් තොරව මුදලට කෑදරකමෙන් එම්. සී. සී ගිවිසුම්වලට එකඟ වීමට යාම නිසාය. එම්.සී.සී බූවල්ලා 2004 වසරේදී සිය අඬුවක් ශ්‍රී ලංකාවටද දිගුකළේය. එම්.සී.සී ආයතනය අරඹා වසරක් ගෙවෙන්නටත් පෙර 2004 වසරේදී එම්. සී. සී පණ ලැබීමට සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව නම් කරන ලදී.

    මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය 2004දී ඒ බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා එව්වේය. නැවත වරක් 2005 වසරේ දෙසැම්බර් මස 08 සහ 2006 දෙසැම්බර් මස 07 වැනි දිනවල එම්. සී. සී ආයතනය නැවත වරක් මේ සම්බන්ධයෙන් සිහිකැඳවීම් කර තිබේ. එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා මේ යෝජනාව කෙරෙහි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් තාවකාලිකව සිය අඬු හකුලා ගැනීමට එම්. සී. සී ය තීරණය කළේය. ඒ රාජපක්ෂ මහතා මඟින් සිය අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම පලක් නොවන බව වැටහීමත් සමඟය.

    සිය අරමුණු ඉටුකර ගැනීමට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නොවන වටහා ගත් එම්.සී.සී ආයතනය ලෝකයේ සෙසු රටවල් කෙරෙහි අවධානය යොමු කළද කිසිවිටෙක බලාපොරොත්තු අතහැරියේ නැත. ඒ සඳහා නැවත වරක් සුදුසු පරිසයක් ශ්‍රී ලංකාව තුළ මතු වන්නේ 2015 වසරේදීය. ඒ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟය. මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කොට යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමේ කාර්යය පසුපස අධිරාජ්‍යවාදී බලවේග ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. ඒ කරුණු හරිහැටි ගළපා ගතහොත් එම්.සී.සී යෝජනාවලට රාජපක්ෂ මහතා දැක්වූ අකමැත්ත ධුරය අහිමි කරවීමට තරම් ප්‍රබල වූ ආකාරය වටහා ගත හැක.

    කෙසේ හෝ සිය යෝජනා ක්‍රියාවට නැංවීම සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති බව වටහා ගන්නා එම්. සී. සී ආයතනය හැරෙන තැපෑලෙන් නැවත වරක් සිය අඬු ශ්‍රී ලංකාව දෙසට දිගු කරන්නට පටන් ගත්තේය. ඒ අනුව 2015 වසරේ දෙසැම්බර් මස 16 වැනි දින එම්.සී.සී පර්යන්ත වැඩසටහනකට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව දැනුම් දෙන ලදී. සල්ලි ලැබෙනවා නම් ඕනෑම මරාලයකට කර ගැසීමට සූදානමින් සිටි යහපාලන ආණ්ඩුව යෝජනාව එන්නටත් පෙර ඊට කැමැත්ත පල කළේය. ඒ අනුව එම්.සී.සී ආයතනය සමඟ ගනුදෙනු කිරීමට එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ගජ මිතුරකු වන චරිත රත්වත්ත පත් කෙරිණි. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් 2016 වසරේ ජූලි මස 05 වැනිදා ඉදිරිපත් කොට තිබේ. 2017 වසරේදී එම්. සී.සී කටයුතු සම්බන්ධීකරණය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් අග්‍රාමාත්‍ය කාර්යාලය තුළම ස්ථාපිත කරන ලදී.

    එම්.සී.සී පර්යන්ත වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් සඳහා ප්‍රවේශය, බදු ප්‍රතිපත්ති අස්ථාවරත්වය, ප්‍රවාහන ක්ෂේත්‍රය, ජලය, අධ්‍යාපනය සහ හැකියාවන්, විදුලි බලය, කම්කරු රෙගුලාසි, ප්‍රාග්ධන මූල්‍යන ප්‍රවේශය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. 2017 පෙබරවාරි මස 28 වැනි දින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇමැති මණ්ඩලයට වාර්තා කර ඇත්තේ එම්. සී. සී ආයතනය සිය උපදේශන කණ්ඩායමක් මඟින් කරන ලද අධ්‍යනයක් තුළින් ප්‍රතිපත්ති අස්ථාවරත්වය, ඉඩම් ලබාගැනීම සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවය. මෙරට ඉඩම් සහ ප්‍රවාහනය ක්ෂේත්‍රවලට අතපෙවීමට එම්. සී. සීය මාන බලමින් සිටි බව ඒ අනුව පැහැදිලිය.

     

    ගිවිසුම තාවකාලිකව නවතියි

    යහපාලන ආණ්ඩුව ඊට එකඟතාව පළ කිරීමත් සමඟ මෙම වැඩසටහන ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක් පිරිනැමීමට එම්. සී .සී ආයතනය කටයුතු කළේය. ඒ සඳහා වන ගිවිසුම් 2018 වසරේ ජූනි මස 18 වැනි දින භාණ්ඩාගාර ලේකම්වරයා එම්. සී. සී ආයතනය සමඟ අත්සන් තබා ඇත. එම්.සී.සී ආයතනය ප්‍රවාහන සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රවල සංවරධන ව්‍යාපෘතිවලට අරමුදල් ලබාදීමට එකඟ වී ඇති බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත්තේ 2018 වසරේ ජූනි මස 21වැනිදාය. ඉඩම් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 67.3ක් හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය ඩොලර් මිලියන 350ක් වශයෙන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් කිරීමට එම්. සී. සී ය සූදානම් බව එමඟින් ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ. ඒ ව්‍යාපෘති ඇගයීම් හා අධීක්ෂණයට වැය කෙරෙන ඩොලර් මිලියන 12.7ක්ද ඇතුළුවය.

    යහපාලන ආණ්ඩුවේ අරමුණ වී තිබුණේ 2018 වසර අග වන විට එම්.සී.සී ගිවිසුම අත්සන් තැබීමය. ඒ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක් 2018 වසරේ ඔක්තෝබර් මුල් සතියේදී වොෂින්ටන් නුවරදී පවත්වා ඇත. යහපාලන සහ එම්. සී. සී දීගයට කණකොකා හැඬෙන්නේ 2018 ඔක්තෝබර් මස 26 වැනිදින සිදුවූ පෙරළියත් සමඟය. මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත්වීමත් සමඟ එම්. සී. සී ආයතනයට සිදුවූයේ අතට ගත් දේ කටට දමාගැනීමට නොහැකි වූ ආකාරයේ වැඩකි. රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත්වීම ඒ වන විටත් අවසන් අදියරේ පැවැති එම්.සී.සී ගිවිසුම කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය.

    කෙටි කාලයකින් පසුව නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමත් සමඟ එම්.සී.සී ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව තීන්දු කළේය. යහපාලන ආණ්ඩුව ඊට කොතරම් අනුකූලතාවක් දැක්වූයේද යන්න එම්.සී.සී ආයතනය අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවකින් පැහැදිලිවේ. එහි සටහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගැමති ධුරයට පත්කිරීමත් සමඟ ප්‍රජාතාන්ත්‍රිකව ස්ථාපනය වූ රජය සාකච්ඡා සම්මුතීන්වලදී එකඟතාව පළ කළ කොන්දේසි මත එම්.සී.සී වැඩසටහන ඉදිරියට ගෙනයාමට ඇති කැපවීම ප්‍රකාශිතව දන්වා ඇති බවය.

    යහපාලන ආණ්ඩුව මෙසේ දැඩි උනන්දුවකින් එම්. සී. සී ගිවිසුම අත්සන් තැබීමේ කටයුත්තේ යෙදී සිටියදී ඊට එරෙහිව විශාල මතයක් රට තුළ ගොඩනැගෙනමින් පැවැතුණේය. ගිවිසුම අත්සන් තැබීමට 2019 වසරේ ඔක්තෝබර් මස 29 වැනි දින ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිය. එහෙත් රට තුළ පැන නැගී තිබූ විරෝධය සහ උඩුදුම්බර කාෂ්‍යප හිමියන් නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ කළ උපවාසය හමුවේ ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවිය. 2019 ජනාධිපතිවරණය එළැඹෙන්නේ මේ අතරතුරේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නායකන් සියලුදෙනාගේ ප්‍රතිපත්තිය වී තිබුණේ එම්.සී.සී ගිවිසුම රටට අවශ්‍ය නොවන බවය.

    ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයක කාලයක් තුළ එම්. සී. සී ගිවිසුම සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තේය. ඒ අනුව එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීමට පැවැති රජය ගෙන තිබූ තීරණය අත්හිටුවා අදාළ ගිවිසුම, ව්‍යාපෘති හා වෙනත් කරුණු සමාලෝචනය කිරීමට මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කෙරිණි. දෙසැම්බර් මස 18 වැනි දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව එම කමිටුව 2020 ජනවාරි මස 01දින පත්කරන ලදී.

     

    කමිටු වාර්තාව

    කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රවාහන අර්ථශාස්ත්‍රඥ ඩී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු ඊට එක්ව සිටියහ. මේ වසරේ මැදභාගයේදී එළිදක්වන ලද එම කමිටුවේ වාර්තාවෙන් නිර්දේශ කොට තිබුණේ එම්.සී.සී ගිවිසුම අත්සන් නොකළ යුතු බවය.

    කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව කොවිඩ් වසංගතය නිසා ගිවිසුම සම්බන්ධයෙන් වන කතාබහද යටතපත්විය. එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේ මේ අතරය. ඒ මෙරටට ලබාදීමට නියමිතව තිබූ රුපියල් බිලියන 89ක ප්‍රදාන අත්හිටුවීමට එම්.සී.සී ආයතනය තීන්දු කිරීමත් සමඟය. අමෙකානු තානාපති කාර්යාලය නිවේදනය කොට ඇත්තේ එම මුදල ඔවුන්ගේ අරමුණු හා සසැඳෙන වෙනත් රටකට ලබාදීමට එම්. සී. සී අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කළ බවය. වාර්තා වන ආකාරයට ඔවුන් දැනටමත් ඒ සඳහා සියෙරා ලියොන් තෝරා ගෙන ඇත.

    වසර 16ක පමණ උත්සාහයකින් පසු නැවත වරක් අඬුපඬු හකුලා ගැනීමට එම්. සී. සී බූවල්ලා තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. වත්මන් රජය බලයට පත්නොවන්නට මේ වන විටත් එම්.සී.සී ගිවිසුම අත්සන් තබන්නට ඉඩතිබුණි. අමෙරිකාවේ බලපෑමට හෝ තමන්ට කොන්දක් නොමැති වීම නිසා හෝ ගිවිසුම අත්සන් තැබුණේ නම් එහි අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නට වනුයේ අත්සන් තැබූ යහපාලකයන්ට නොව සමස්ථ ජනතාවටය. එසේ වී නම් එම්.සී.සී අත්සන් තබා දුක්විඳින රටවල් දෙස බැලීමේදී අපට අහිමි වූ ඩොලර් බිලියන 89 සොච්චමක් බව නම් කිවයුතුමය.

    (එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පත්කළ කම්ටුවේ අවසන් වාර්තාව ඇසුරෙනි.)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here