කඩිමුඩිය මැදින් පෙරළා ගමට

    0
    33

    ජීවිතය සොයන්නට, හරි හම්බ කරන්නට උපාධිය ගත් විගස පෙරළා ගම රට බලා නොගියෙමි. කොළඹින්ම පොඩි ඇනෙක්ස් එකක් සොයාගත්තේ අතට හම්බවුණු මාසික සොච්චම් පඩිය මතයි. කිරි කිරි හඬින් වැසුණු දොර සහ ජනෙල් පියන් දෙක තවමත් ජීවිතේ ස්ථීරසාරභාවය පිළිබඳව කිසිදු සටහනක් හෝ තබා නොමැත. උදෑසන පොල් පැටෙව්වාක් මෙන් කිරිබත්ගොඩ අඟුලාන බසයට ගොඩවෙන මා කෙසේ හෝ තනි කකුලෙන් අසීරුවෙන් ඉහළ ඇති අත්වාරුවේ එල්ලී ගන්නේ තවම පාසල් යමින් සිටින මල්ලිලා දෙන්නා වෙනුවට මටත් ගෙදරට බරක් වීමට නොහැකි නිසයි. අතරමඟ හමුවන ජැන්ඩියට හැඳගත් කුණු බැනුමින් බැනගන්නා මහත්වරුන් සහ ඇඟට හේත්තුවන මහත්වරුන් නිතර දෙවේලේ මුණ ගැසීම සුලබ කරුණකි. අලුත් පාලම, දෙමටගොඩ පසුවන විට තදබදය දෙගුණ තෙගුණ වන අතර, බොරැල්ලෙන් බැසගත් පසු මා වටා කැරකෙන දූවිලි පුරවාගත් වාහන මෙන්ම නිරන්තර බෙරිහන් දෙන කලර් ලයිට්, පේමන්ට් වෙළඳුන්ගේ කන් කරච්චල් ආදී මෙකී නොකී සියල්ල සම සිතින් විඳ ගනිමින් කන්තෝරුවට ඇතුළු වන මා සවස බෝඩින් කාමරයට පැමිණෙන විටත් මේ ක්‍රියාදාමය මෙලෙසම පවතී.

    වෙනදාට වඩා ප්‍රමාද වී ඇහැරීමත් වතුර පයිප්පයේ වතුර කපා තිබීමත් නිසා අද නම් වෙනදා අරගලයට බොහෝ ප්‍රමාද වී ඇත. කඩිමුඩියේ සැරසී ගත් මා එහෙන් මෙහෙන් හිස පීරාගන්නට අඩක් බිඳීගිය කැඩපතට කිට්ටුවීමත් සමඟ කොහේදෝ සිට හමා ආ සැඩ සුළං පහරෙන් කැඩපත බිම දමා කැබලි බවට පත් කර දැමුවේය. එසැණින් දුරකතනය නාද වූයේ වෙනදා හිත නිවන ගී තනුවක් වැනි අම්මාගෙන් ලද ඇමතුමකිනි. මේ සමඟම සියල්ල පසෙක තබා මා පෙරළා ගමට පැමිණියෙමි.

    මා නිවසට පැමිණෙන විටත් සුදු කොඩි, ගොක් කොළ ආදියෙන් මඟ දෙපස සරසා තිබුණි. ගෙදරට ඇතුළු වන තැන කඩුල්ලේ පසෙක එච්.එම්.රංබණ්ඩා උපාසක මහතාට නිවන්සුව යනුවෙන් බැනරයක් තිබුණි. දින කිහිපයක්ම මළගෙදර වැඩකටයුතු වලට ලඝු වී සිටි මා ආදාහනයෙන් පසුව සිතට සහ ගතට විවේකයක් ලබා ගතිමි.

    පිලිකන්නේ නවතා තිබුණු බයිසිකලය මිදුල දිගේ තල්ලු කරගෙන ආ මම කඩුල්ල බයිසිකලේට නැඟගත්තේ ය. හෙමෙන් හෙමෙන් බයිසිකලය පාගමින් ඉදිරියට ඇදුනු මගේ වත සිසිල් සුළං පහර වෙළා ගත්තේ අපූරු සුවයක් ගෙන දෙමිනි. මා මුලින්ම ඇදී ගියේ සෑම දවසකම ම සිත වශී කළ “මහ වැව” දෙසටයි. මා එහි යන විට දැඩි පෑවිල්ල නිසා වැව සිඳී ගොස් ඉරිතලා තිබුණි.

     

    මඩ යට පණ ගැහෙන මාළුන් අල්ලන්නට කරක් ගෙඩියක් රැගෙන ඉතිරි වී තිබූ දිය කඩිත්තක් දෙසට ඇදෙන පිල්ලියා උන්දා දකින විට මනඃකල්පිත චිත්‍රයක සේයාවක් සිතේ කොණක ඇඳ තිබුණේය. වෙනදා සෝභමානවත්ව පෙනුන “නිදංගල” අද වඩා සුදු පැහැයෙන් දිස් වූයේ වැවේ කුඩා මාළුන් හා පණුවන් ගිල දැමීමට පැමිණි කොක්කුන් ලැග සිටීම නිසා විය යුතුය. වැව් බැම්මට බරව නෙළුම් යායකින් වැසී ගොස් තිබූ අතර, නෙළුම් මල් සුවඳ පීඩාකාරීව ගෙවීගිය කාලයම පසෙකට හෙලා ම සිත සුවපත් කළේය. බයිසිකලයේ නැගගත් මා නෙළුම් මලේ මිහිරි සුවඳ විඳගනිමින් වැව් බැම්මට පහළින් තිබු ගොයම් කපා ඉතිරි වී තිබූ ඉපනැලි පිරි කෙත්යාය දෙස බලමින් ඉදිරියට ඇදී ගියේ මියගිය සීයාට නිවන්සුව කුමට ද ජීවත්ව සිටියදී ලැබූ මේ සුවයම සැපතක් නොවේ ද යන්න සිහිගන්වමිනි.

     

     නිශානි සවින්දිකා රාජපක්ෂ.

    ජනසන්නිවේදන අධ්‍යයනාංශය.

    කැලණිය විශ්වවිද්‍යාලය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here