කොස් කොළයෙන් මවන රටා

    0
    41

    කලාව කියන්නේ වෙනස් දෙයක්. දිනෙන් දින වෙනස් වෙනවා වගේම අලුත් වන දෙයක්. ඒ වෙනසත් එක්ක ඔට්ටු වෙන්න දැනුම දක්ෂතාවය විතරක් තිබිලා මදි. ජීවිතයට මනා වූ සැලැස්මකුත් තියෙන්න ඕනි. ඉතිං ‘යොවුන් ජනතා’ කියන්නේ එවන් ගුණාංග වලින් පරිපූර්ණ වූ චරිත දිරිමත් කරවන අපූරු තෝතැන්නක්. අද ඔබට අපි හඳුන්වා දෙන්නේ සියුම් වූ නිර්මාණ කාර්යයක් හා සම්බන්ධ වෙලා ඉන්න තරුණියක්. මොහොතක් නතරවෙලා කියවන්න, කෙතරම් දක්ෂතාවයන්ගෙන් යුක්ත තරුණ පිරිසක් අපත් සමඟ ඉන්නවද කියලා.

    නදීකා සඳමාලි සේනානායක කියන්නේ කලාව තුළ නව පිටුවක් පෙරළපු විශේෂ චරිතයක්. අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි නදීකා ව හැමෝම දන්නේ නදී සේනානායක කියලා. අඹගහ වැව විද්‍යාලෝක මහා විද්‍යාලයෙනුත්, මැදවච්චිය මධ්‍ය විද්‍යාලයෙනුත්, බුලංකුලම මහා විද්‍යාලයෙනුත් අකුරු කරපු නදී මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා විශේෂවේදී උපාධියේ අවසන් වසර සිසුවියක්. නදී පුංචි කාලේ ඉඳන්ම ගහකොළට ආදරය කරමින් ගස්වල කොළ වලින් විවිධ නිර්මාණ සිදු කළ බව පැවසුවා. පසුව අධ්‍යාපන කටයුතු සමඟ ටික කාලයකට ඇයගෙන් නිර්මාණ සිදුකිරීම ගිලිහුණත් ,පැවති හුරුවත් සමඟම සමාජ පර්යේෂණ කටයුත්තකට හා පැවරුමකට අදාළව නැවතත් ගස්වල කොළ උපයෝගී කරගත් නිර්මාණ සිදු කරන්න පෙළඹුනු බව ඇය මතක්කලා.

    නදීගේ කැටයම් නිර්මාණ අතර විශේෂ වෙන්නේ කොස්කොළ ආශ්‍රිතව සිදු කරනු ලබන නිර්මාණ. කොස්කොළවලට අමතරව කෙසෙල් කොළ, බඩඉරිඟු කොළ, තල්කොළ, පොල්කොළ, මානා, ඉලුක් හා ගෙඩිවල පට්ටා ආදියත් යොදාගනිමින් විවිධ නිර්මාණ සිදුකරන බව දැනගන්නට ලැබුණා. ඉවසීමෙන් යුතුව ඉතා සියුම්ව සිදු කරන නදීගේ නිර්මාණ එකකින් එකකට වෙනස් වෙනවා. අවුරුද්දේ යම් කාලසීමාවන් වලදී හැදෙන කොළවල ස්වභාවය වෙනස්වීමත්, ඒ අනුව එම කොළ පදම් කරන ආකාරයත් ඒ වෙනසට හේතුව බව නදී මතක්කළා. ඒ වගේම නදීට සාමාන්‍යයෙන් එක් නිර්මාණයක් සඳහා සති 04 කාලයක් ගතවන බවත් යම් විශාල සියුම් නිර්මාණයක් සඳහා මාස 3,4 කාලයක් ගතවන බවත් දැනගන්නට ලැබුණා.

    ලංකාව තුළ දැනට නිර්මාණය වන කැටයම් කලාව අතර නදීගේ කලාව විශේෂ වෙනවා. එයට හේතුව විදියට නදී කිව්වේ චිත්‍රයක් ඇඳලා ආයෙමත් වැරදි නිවැරදි කරනවා වගේ කොළයක් මත කරන නිර්මාණයන්හි වැරදීම් නැවත එම කොළයේම නිවැරදි කරන්න බැරිවීමයි. ඒ වගේම නදීගේ මේ දක්වා වූ ගමන තුළ ඇය මුහුණ දුන් ලොකුම අභියෝගය වුණේ ලංකාව තුළ කොස් කොළයට වෙළඳපොළක් නිර්මාණය කිරීම. ඉතිං නදී මේ වන විට ඒ අභියෝගය ටිකෙන් ටික ජයගෙන තමන්ගේ කලාව තවත් අයට කියලා දෙන තරමටම දියුණු කරගෙන තියෙනවා. නමුත් තමා යටතේ නිර්මාණ කරන පිරිසට වැඩ කරන්න නිශ්චිත ස්ථානයක් නොමැතිවීමත්, අවශ්‍ය තාක්ෂණය නොමැති වීමත් ලැබෙන ඇනවුම් ඉක්මනින් ලබානොදීමට හේතුවන බවත් මතක් කළා.

     NADIKA SANDAMALI

    වෙනස් දෙයක් අලුත් විදියට කරනකොට ජීවිතේට එකතුවෙන මතකයනුත් ගොඩක් සුන්දරයි. ඉතිං නදීගේ ඒ සුන්දර මතක අතර ඇය මුලින්ම මිනිස් රූපයක් කොස් කොළයක් තුළ නිර්මාණය කළ අවස්ථාවෙදි ඒ රූපයෙහි අයිතිකරුගෙන් නොසෑහෙන්න බැනුම් අහපු එකනම් හරිම සුන්දර මතකයක් බව පැවසුවා. නමුත් පසුවට විවිධ ක්ෂේත්‍රයන් තුළ සිටින පුද්ගලයන්ගේ සේයාරූ නිර්මාණය කිරීමෙන් අනතුරුව ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවන බවත්, ඇය විසින් කැටයම්  කළ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ රුව එතුමා විසින් අනුරාධපුරයට පැමිණ රැගෙනයාම ඇයගේ නිර්මාණ වෙත ලැබුණු ඉහළම වටිනාකම වන බව ඉතාමත් සතුටින් නදී මතක් කළා.

    කැටයම් කලාවට අමතරව කවි ගීත නිර්මාණයට, ත්‍රිමාණ චිත්‍ර, පැන්සල් චිත්‍ර හා ත්‍රිමාණ නිර්මාණයන්ට නදී උපන් හපන්කම් පෙන්වන බව දැනගන්නට ලැබුණා. ඉතිං අවසාන වශයෙන් කවි හා නිසදැස් පොත් කිහිපයක්ම නුදුරේදි එළිදක්වන්න සූදානමින් ඉන්න නදීගෙ සියලු කටයුතු වලට ‘යොවුන් ජනතා’අපෙන් සුභාශිංසන.

     

     කවි විජේසූරිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here