පරපුරක් වනසන ගහන කුඩු වෙන්න

    0
    37

    මත්ද්‍රව්‍ය එසේත් නැතිනම් කටවහරින් කියනු ලබන කුඩු වර්තමාන සමාජයට මහත් පිළිලයක් වී ඇත. අතීතයේ කොටු වැටුණු තිරයක් ඔස්සේ අපට දකින්නට අසන්නට ලැබුණු මෙම කුඩු වර්තමානයේ ශරීරයේ කොටසක් මෙන් අපට සමීප වී තිබීම අවාසනාවකට කරුණකි. නොයෙක් මත්ද්‍රව්‍ය අතරින් බොහෝ අයෙක් ලොල්බවක් දක්වන්නේ ගැහැනු පිරිමි පවා භේදයකින් තොරවය. හානිකර බව සහ ඇබ්බැහි වීම එකිනෙකට නොදෙවෙනි වන මෙම මත්රකුසා අධික මත් බවක් හිස මත පටවන මාරයෙකි. භාවිතය ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණ ද වැටලීම්වලින් නම් අද සමාජයේ අඩුවක් නොමැත. එතරම්ම ඇබ්බැහිවීම සහ මුදල් ඉපයීම මනුෂ්‍යත්වය පරයා පෙරමුණ ගෙන ඇත. මන්දයත් දහදිය වගුරවා ශ්‍රමය වැය කර රැකියාවක් කරනවා විනා බොහෝ දෙනෙක් පා යුගල සොලවමින් සැප යහනාවල හිඳ මුදල් ඉපයීමට පුරුදු වී සිටීමත්, තම පාරිභෝගික ප්‍රජාව දිනෙන් දින වැඩි කරගැනීමට තරම් පහත් අරමුණක් ඇති නිසාය.

    විනෝදයට, හුදකලාවට හෝ මොනයම් වූ කරුණක් නිසා කුඩු මත්තේ ලැගගෙන සිටින බොහෝමයක් මෙහි ඉතිහාසය නොදන්නාවා විය හැකියි. මාතෘභූමිය තුළ මත්ද්‍රව්‍ය ඛේදවාචකය අද ඊයේ මුල් බැසගත් දෙයක් නොවේ. 1505දී පර දේසක්කාරයින්ගෙන් ලැබුණු දායදයක් ලෙස මෙය ලංකා භූමිය වෙළාගත්තේය. මුලින්ම පෘතුගීසීන් විසින් හඳුන්වා දුන් අබිං 1829දී ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් සංවර්ධනය කිරීමෙහිලා දේශීය ගොවියා දිරිමත් කළේය. රජයේ බදු මංජුසාව පෝෂණය කරමින් දියුණු වුණු අබිං වෙළඳාම සමාජය තුල ප්‍රශ්නයක් වූ නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා පනත සහ 1929දී ගංජා සහ විෂ මත්ද්‍රව්‍යවලට අන්තරායකාරී මත්ද්‍රව්‍ය ඒකාබද්ධ පනත පනවන ලදී. තහනම් මධ්‍යයේ වුව ද කළුකඩකාරයින්ගේ සුරතින් මෙය දිනෙන් දින ව්‍යාප්ත වී ඇත.

    මෑතක් වනතුරුම අබිං සහ ගංජා ප්‍රමුඛ පෙළේ පසු වුව ද දශක ගණනාවක් දියුණුව කරා යනවා කියන මුතු ඇටය වර්තමානයේ හෙරොයින් නමැති ඉතා ප්‍රබල සහ භයානක මත්ද්‍රව්‍යයෙන් දියුණු වී ඇත්තේ 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵලයක් වශයෙනි.

    සමාජය අරක්ගත් බහුතරයක් තුළ නිරතුරු අවබෝධයක් ඇති බොහෝදෙනෙක් අත්හැරීමට අකැමැති සහ අත්හැරීමට නොහැකි යැයි සමාජ මතයක් ඇති මෙම මත්කුඩු රෝග රැසකට ආවඩන බිල්ලකි. මත්කුඩු භාවිතා කළ කාල පරිච්ඡේදය අනුව පුද්ගලයා වෙත වන බලපෑම වෙනස් වන අතර බොහෝදෙනාට අපේක්ෂා රෝහලේ ඇඳක් වෙන්කර ගැනීමට ද සිදුවනු නො අනුමානය. පිළිකා, මොළයේ සෛල විනාශ වීම, මතකය දුරස්වීම, අක්මා දිය වීම, හෘද හා පෙණහලු ආශ්‍රිත රෝග, ඒඩ්ස්, සෙංගමාලය බී සහ සී, ලිංගික අප්‍රාණික බව යන රෝග රැසක තිඹිරිගෙය වන මෙම කුඩු ලාංකිකයින් අධික ප්‍රමාණයක් බිලිගෙන ඇති අතර, ජාවාරම්කාරයින්ගේ ප්‍රබලතම ඉලක්කය වී ඇත්තේ තාරුණ්‍යයයි. එතරම්ම මෙම සමාජය පිරිහී තිබීම සිතන්නට කරුණකි. වර්තමානයේ වැටලීම් නොමැති යැයි දවසක් කීමට නොමැති තරම් වනවා වාගේම හොර රහසේ වෙන ජාවාරම් කළු සල්ලි පිටුපස සැඟවෙයි.

    ධනවාදී ආර්ථික ක්‍රමය හමුවේ පයට පෑගෙන දුහුවිල්ලක් වැනි දුප්පත් මිනිසා පමණක් නීතියේ දැල ඉදිරියේ දණ ගසන, කුඩු ගෙන්වන දැවැන්ත තෝර මෝරු කිසිදා නීතියේ දැලට හසුනොවන අපූරු ප්‍රජාතන්ත්‍රවාදී රටක අපට ජීවත් වීමට සිදුවීම සැබවින්ම අවාසනාවකි. තෝර මෝර මුදල් පසුම්බි පුරවන ගතානුගතික මානසික තත්ත්වයට තිත තබා, මනුෂ්‍යත්වයට ඉඩදිය යුතු යුගයක් නිර්මාණය කිරීමේ වගකීම සමාජය සතුය.

     

     ඩී. එම්. සී. නිලූෂී දිසානායක

    සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයන පීඨය

    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

    ත්‍රිකුණාමල මණ්ඩපය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here