බිඳ වැටුණු සිහින තනන්නට පාලමක්

    0
    27

    “ඇත්තේ එක ඇබෑර්තුවයි – ඉල්ලුම් පත්තර ඇවිත්ලු

    පන් සීයක් විතර වෙන්ඩ – රස්සාවල්

    තව ටික දවසක් යනකොට – උපාධිකාරයොත් වැටෙයි ගැට කපන්ඩ”

     

    ඉහතින් දක්වා ඇත්තේ මහගමසේකර නම් වූ කවියා විසින් රචනා කරන ලද රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත යන කාව්‍ය සංග්‍රහයේ සඳහන් වුවකි. මෙහි දී පෙන්වා දෙනුයේ වර්ෂ ගණනාවක් පුරාවට නොවිසඳුණු ගැටලුවකි. එනම් අද්‍යතන සමාජයේ උසස් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන්ට අත් ව ඇති ශෝචනීය ඉරණම යි. රැකියා අපේක්ෂාවෙන් පසු වුව ද ඔවුනට සිදු වනුයේ කුමක් හෝ සිදු කරමින් නිස්සාර ජීවිතයක් උරුම කර ගැනීමට යි. එනම් රැකියා වියුක්තිය ඉහළ යෑම මේ හරහා සිදු වන අතර රටට මෙහෙයක් කළ හැකි තරුණ ශ්‍රමය මෙන් ම දැනුම ද සංවර්ධනය කරා ආයෝජනය කළ නොහැකි තත්ත්වයට පත් වීම ය. දේශපාලනීකරණය වූ සමාජ සංස්ථාවක මැතිවරණ සමයන්හි තරුණ තරුණියන්ගේ සිත්වල නොයෙකුත් සිහින මන්දිර ගොඩ නැඟුව ද එය මෙම ගැටලුවට ස්ථිරසාර විසඳුමක් නොවේ.

    කුමාරතුංග මුනිදාස මහතාගේ දැක්ම වනුයේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟී යන්න ය. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ දි මෙම සංකල්පය වැදගත් වනවා සේම නව රැකියා උත්පාදනයට නව නිපැයුම් වැදගත් වේ. කොවිඩ් 19 වසංගතය සමයේ එයට එරෙහි ව බොහෝ නව නිපැයුම් අප රට තුළ බිහි වීම හරහා රටෙහි සම්පත් අගය කිරීමේ අවකාශ සැලසීම මෙන් ම කෘෂිකර්මාන්තය ආදී ක්ෂේත්‍ර සඳහා ද මෙම නිර්මාණ තැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය රටෙහි තරුණ පරපුරට ලබා දුනහොත් අපගේ නිෂ්පාදන රට තුළ ම සකසා ගැනීමේ මඟ විවර වේ. කාලයක් පුරා රටෙහි තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය තෘප්ත කිරීමේ යෝග්‍යමත් ම වැඩ පිළිවෙළ මෙය ම වනු ඇත. මහාචාර්ය රංගික හල්වතුර පවසා සිටින්නා සේ නව නිපැයුම් රැල්ලක් නොව කැරැල්ලක් විය යුතු ය. එයට හේතුව කාලයෙන් කාලයට නව රැලි සමාජ ගතවෙද් දී පරණ රැලි ගසාගෙන යාම හේතුවෙනි.

    ලංකාවේ ඉදි කිරීම්, කර්මාන්ත ආදි ක්ෂේත්‍රවල දී අප රටෙහි පවතින පුහුණු ශ්‍රමික හිඟය හේතුවෙන් විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සිදු වේ. තරඟකාරී අධ්‍යාපන රටාව වෙනස් කරමින් ආර්ථිකයට අවශ්‍ය පරිදි රැකියා උත්පාදනය වන්නා වූ ක්‍රමයකට අවතීර්ණ වීමට අවැසි කාලයයි මේ. විශේෂයෙන් ම විෂය දැනුමට අමතර ව සිසු දරුවන්ගේ හැකියාවන්ට ගැළපෙන වෘත්තීය දැනුම ආරම්භයේ පටන් ලබා දුනහොත් රටෙහි ශ්‍රම වෙ‍ෙළඳපොළට හිඟයක් නොවන අතර ම තරුණ තරුණියන් ට රැකියා ලබා ගැනීම සඳහා වෙහෙස වීමට සිදු නොවනු ඇත.

    චාමිකා ප්‍රියංගනී නාරංගොඩ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here